වාහන ආනයනය කිරීමට අවසර දීම පිළිබඳ මේ දිනවල යළිත් කතාබහක් උද්ගත වී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 105 දෙනකු තමන්ට තීරු බදු සහිත වාහන ගෙන්වීමට අවසර ඉල්ලමින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ලිපියක් ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසාය. ඔවුන් පවසා ඇත්තේ තමන් දැනට භාවිත කරන වාහන අවුරුදු 10ක් පමණ පැරණි වන අතර, තමන්ගේ රාජකාරි කටයුතු සඳහා මෙන්ම ළඟ එන මැතිවරණවලදී ඒවා භාවිත කිරීමට අපහසු බවය. මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ මේ වනවිට එම ඉල්ලීම පිළිබඳ සලකා බලමින් සිටින බවකි.
විපක්ෂය පවසන්නේ තමන් මෙලෙස වාහන ඉල්ලුම් කිරීමට තීරණයක් ගෙන නොමැති අතර පොදු අවසරයකින් තොරව එවැනි ඉල්ලීමක් කළ මන්ත්‍රීවරුන් පිළිබඳ සොයා බලා නිසි පියවර ගන්නා බවය. කෙසේ වුවද මෙහිදී පෙනී යන්නේ මන්ත්‍රීවරුන් 224 ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වාහන ඉල්ලා ඇති බවය. කෙසේ වුවද නුදුරේදී පවත්වන ජනාධිපතිවරණයෙන් පසු කුමකින් කුමක් වේදැයි සිතා ගන්නටවත් බැරි තත්ත්වයක සිටින නිසා එයට පෙර මෙම වරප්‍රසාදය ලබාගැනීමට වැඩි දෙනා උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ.
රජයේ සේවකයන්ට වාහන බලපත්‍ර දෙන්නේ ඔවුන්ගේ තරාතිරම හා රාජකාරි ස්වභාවය සලකා බලාය. වාහනයේ එන්ජින් ධාරිතාව ඒ අනුව තීරණය වේ. එහෙත් මන්ත්‍රීවරුන් සඳහා එවැනි තේරීමක් නැත. සුඛෝපභෝගී ඉස්තරම් වාහන ලබාදෙන අතර ඒවා ඇතැම්විට කිලෝමීටරයට ඉන්ධන ලීටර් 4-5 දැවෙන විවිධ අගෝපාංගයන්ගෙන් සමන්විත වෙයි. මේ නිසා රාජ්‍ය සේවකයන්ට වාහන බලපත්‍ර දෙනවාට වඩා විශාල වැය බරක් දරන්නට රජයට සිදුවෙයි. මුලදී රටේ ආර්ථිකය බිඳවැටී ඇති බව පවසමින් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් ප්‍රමාද කළද අද වනවිට ආර්ථිකය යම් පමණකට යහපත් බව පැවසෙන නිසා වාහන බලපත්‍ර ලබාගැනීමේ වරප්‍රසාදය දේශපාලනඥයන්ට ලැබීමට ඇති ඉඩ බොහෝ වැඩිය.
ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ රාජ්‍ය සේවකයන්ට මුලින් වාහන බලපත්‍ර නිකුත් කර අනතුරුව මැති ඇමැතිවරුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම විය හැකිය. එහි මුල් පියවරක් වශයෙන් පසුගියදා විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරීන් හා අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහන සහිත ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව 60 දක්වා අඩු කිරීමත් සමඟ එම කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම සහනය ලබා දෙනු ඇත. පසුගිය 11දා පැවැති අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී මේ තීරණය ගෙන ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න විසින් මේ පිළිබඳව චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති බව සැලකේ.
කෙසේ වුවද ළඟ එන මැතිවරණයට පෙර රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට තීරු බදු සහන වාහන බලපත්‍ර වරප්‍රසාදය ලැබෙනු ඇතැයිද ආනයන තහනම නොතකා ඒ අයට වාහන ආනයනය කිරීමට අවසර ලැබෙනු ඇතැයිද දැනගන්නට තිබේ. එසේ වුවද සාමාන්‍ය ජනතාව සඳහා යතුරුපැදි හෝ කුඩා වාහනයක්වත් ආනයනය කිරීමට අවසර ලැබේදැයි යන්න සැක සහිතය. මේ නිසා රට තුළ භාවිත කරන වාහනවල මිල අසීමිත ලෙස ඉහළ නැග ඇති බවක් පෙනෙන්නට ඇත. තිබෙන වාහනද අලෙවි වීම අඩු නිසා වාහන සේල් හිමියෝ අනතුරකට ලක්ව සිටිති. ව්‍යාපාර වැසී ගොස් සේවකයන් මහ මගට වැටී ඇත. ඒ අතර හොර පාරෙන් ගෙන්වන වාහන වැඩි වී තිබේ. පසුගියදා සුඛෝපභෝගී වාහන සිය ගණනක් අනීතිකව ආනයනය කර ඇති බව අනාවරණය විය. මෙම දූෂණ නැති කිරීමට නම් කුඩා වාහන හෝ ආනයනය කිරීමට ඉඩ ලබාදීම වැදගත් වේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල:
''බදු සහන සහිතව වාහන ආනයනය කිරීමේ වරප්‍රසාදය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් හා එයට සමාන්තර ශ්‍රේණිවල නිලධාරීන් දීර්ඝ කාලයක සිට භුක්ති විඳි එකක්. 2020 වසරේ වාහන ආනයනය තහනම් කළ පසු ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වුණා. ඒ ඒ තනතුරු අනුව එන්ජින් ධාරිතාව සලකා වසර පහකට වරක් තීරු බදු රහිතව වාහන ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කළා. අපේ නිලධාරීන්ට ලැබෙන වැටුප සහ සෙසු වරප්‍රසාද වෙනත් රටවල සමාන නිලධාරින්ට ලැබෙන වැටුප සහ දීමනාවලට වඩා අඩුයි. එම තත්ත්වයට යම්තම් හෝ සහනයක් සැලසීම සඳහා පමණයි මෙම වරප්‍රසාදය දී තිබුණේ.
දැන් වාහන ආනයනය කරන්න ඉඩ නැති නිසා තමන්ට ලැබෙන වාහන පර්මිට් ඉතාම අඩු මුදලකට පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අලෙවි කරන්නට ඇතැම් නිලධාරින්ට සිදුව තිබෙනවා. ලක්ෂ 25 වටිනා පර්මිට් එක ලක්ෂ 2කට ආදී වශයෙන්. මේ තත්ත්වය ඉතාම කනගාටුදායකයි. මෙයින්ද වාසි ලැබෙන්නේ ව්‍යාපාරිකයන්ටයි. විශ්‍රාම ගිය නිලධාරින් කොටසකට බලපත්‍රයක් දෙන්න යන්නේ ඔවුන් අවුරුදු 5කට පෙර විශ්‍රාම ගිය නිසා මෙම වාසිය ලැබුණේ නැති හින්දයි. ඔවුන් ලබන විශ්‍රාම වැටුපේ මූර්ත අගය අඩුවෙලා. ඒ නිසා ඔවුන් දුෂ්කරතාවයකට පත්වෙලයි ඉන්නේ.
අපිට හා සමාන්තර සේවා නිලධාරින්ට 2016 වසරේ සිට දුන් රුපියල් 50,000 වූ ඉන්ධන දීමනාව ඉහළ දමන ලෙස දීර්ඝ කාලයක සිට ඉල්ලුවත් වැඩක් වෙලා නැහැ. වැඩි කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කළත් එය ලැබෙන්නේ නැහැ. මට නම් කියන්න තියෙන්නේ වාහනයක් පාවිච්චි කිරීමට අයිතිය ඇති නිලධාරින්ට තමන්ගේ වාහනයක් පාවිච්චි කිරීමට අවස්ථාව දීලා එයට සාධාරණ ඉන්ධන හා නඩත්තු දීමනාවක් දීම වඩාත් සුදුසු බවයි. එවිට රජයට විදේශ සංචිත වැය කරන්න සිදුවන්නේ නැහැ. එහෙම කරනවා නම් නිලධාරින් වාහන බලපත්‍ර අයැදුම් කරන්නේ නැහැ. රජයටත් පහසුයි ඒ නිලධාරින්ටත් පහසුයි. විදේශ විනිමය වැය වන්නේද නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර දීම ගැන අපි කතා කරන්නේ නැහැ. එය එම මන්ත්‍රීවරුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පනතකින් දී ඇති බලයක්.
ශ්‍රී ලංකාවේ වාහන ආනයන කටයුතු මේ වසරේ හතරවැනි කාර්තුව පමණ වනවිට ආරම්භ කළ හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරත්නත්‍රි පවසයි. ආනයනකරුවන් එතෙක් ඉවසා සිටිය යුතුය යන්න ඔහුගේ අවවාදයයි.
මෙයට හොඳම පිළියම් වන්නේ රටේ විදේශ සංචිත ඉහළ යනතුරු ප්‍රමාද කිරීම වන අතර තව මාස 3-4 කින් එම තත්ත්වය නිවැරදි වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය. ''මේ සඳහා ලබන වසර වනතුරු බලා සිටිය යුතු නැහැ. මේ වසරේ හතරවැනි කාර්තුව වනවිට විදුලි සහ දෙමුහුන් වාහන ආනයනය කිරීමට අපට අවස්ථාව ලැබෙයි. මෙය සෙමෙන් පටන්ගෙන ක්‍රමයෙන් වර්ධනය කරගත යුතු අතර හදිසි විය යුතු නැහැ.* ඔහු කියයි.
ඔහු මෙසේ පැවසුවේ පසුගිය සතියේ පැවති ලංකා මෝටර් වාහන වෙළෙඳුන්ගේ සාකච්ඡාවකදීය. ඔහු අවධාරණය කළේ මුලින්ම කෙටි කාලයකින් බලපත්‍රලාභීන්ට අවස්ථාව දිය යුතු අතර, හදිසියේ සියල්ල විවෘත කළහොත් රුපියල යළි සියයට 10-15 පමණ අවප්‍රමාණ වනු ඇති බවය. වසර අවසන් වීමට ප්‍රථම රටේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6 දක්වා වර්ධනය වනු ඇතැයි ඔහු අනාවැකි පළ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය ඒ වනවිට ලැබී තිබෙනවා ඇත. එයද වර්ධනයට පිටිවහලක් වෙයි.
සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් ආයතනයේ සභාපති චාරක පෙරේරා:
වර්ෂ 2020 මාර්තු මාසයේ සිට තමා වාහන ආනයනය නැවැත්තුවේ. දැනට අවුරුදු 4 කටත් වැඩියි. මේ වනවිට සම්පූර්ණ වාහන ආනයනයට අවසර දෙන්නේ නැහැ. එකලස් කළ වාහනවල සියයට 20-25 පමණ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කොටස් යොදා නිෂ්පාදනය කළ යුතු අතර සෙසු කොටස් පිටරටින් ගෙන්විය හැකියි. මෙම නීති නිසා වාහන ආනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් විශාල අමාරුවක වැටිලා. බොහෝ සේල් පොළවල් වැසී ගිහින්. සේවකයන් දහස් ගණනකට රුකියාව නැතිවෙලා. හැමදාම මේ විදිහට තියාගන්න බැහැ. වාහන ආනයනය පිළිබඳ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කර සැලසුමක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලුවා. ප්‍රතිචාරයක් නැහැ.
අපි කල්පනා කරන්නේ රටේ ආර්ථිකයද ආරක්ෂා කරගෙන මෙම ව්‍යාපාරය කළ යුතු බවයි. දැනට රටේ භාවිත කරන වාහනවලින් සියයට 50ක් පමණ අවුරුදු 15කට වඩා පැරුණි වාහනයි. මේවා නඩත්තු කිරීම හරි අමාරුයි. වියදම වැඩියි. අතරමග බිඳවැටීම් අධිකයි. දුර ප්‍රදේශවල වාහන ඇත්තේම නැහැ. එවැනි අයට තම එදිනෙදා කටයුතුවලට කුඩා වාහනයක් හෝ අවශ්‍යයි. අවම වශයෙන් මෝටර් බයිසිකලයක්වත්. ඒ නිසා මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි.
අපි මේ තත්ත්වය යම් පමණකට හෝ සමනය කිරීම සඳහා රජයට යෝජනා ඉදිරිපත් කළා. වාහනවලට දැනට අයකරන ආනයන බද්දට වැඩිය සියයට 140ක තවත් බද්දක් අයකරන ලෙස යෝජනා කළා. එම බද්ද කාර්තුවකට සියයට 20 බැගින් අඩු කළ යුතුයි. එවිට කාර්තු 8ක් යන විට බද්ද පැරණි ගාණටම එනවා. මෙහෙම කළාම රජයට විශාල ආදායමක් ලැබෙන අතර වාහන ආනයනයද අඩු වෙනවා. මුල් කාර්තුවේ වැඩිපුර ගෙනාවොත් ඊළඟට ගන්න අය පාඩුයි. එය ස්වයංක්‍රීයව වෙන නිසා ආනයන පාලනය වෙනවා.
එසේම අද වනවිට පරණ වාහනවල මිල ඉතාම අසාධාරණ ලෙස ඉහළ ගිහින් තියෙනවා. දැන් ස්කූටරය රුපියල් ලක්ෂ 8ක් තරමට මිල නැගලා. වාහන ගෙන්වීම යළි පටන්ගත් විට රට තුළ තියෙන පාවිච්චි කළ වාහන මිල පහළ යනවා. එය ජනතාවට සහනයක්. පරණ වාහනයක් හෝ සාධාරණ මිලකට ගත හැකි වෙනවා.
I යසවර්ධන රුද්රිගූ