මැතිවරණ උණුසුම ආසන්නයේ ඡන්ද පොරොන්දු ප්‍රකාශයට පත්වෙමින් තිබේ. ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ඉක්මනින් පැවැත්වෙනු ඇත. මෙම ඡන්දවලදී ජයග්‍රහණය තකා විශාල පොරොන්දු ප්‍රමාණයක් විසුරුවා හැරෙනු ඇත. දේශපාලන පක්ෂ පමණක් නොව අපේක්ෂකයන් ද ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කරමින් සිටින බව වාර්තා වේ. මෙම ප්‍රකාශනවල ප්‍රතිපත්තිවලට වඩා පොරොන්දු බහුලය. මැතිවරණ වේදිකාවේ දෙන පොරොන්දු ඉෂ්ඨ කිරීම පහසු කාර්යයක් නොවේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් නැත. මහ බැංකුව පවා දැනට කරගෙන යන ආර්ථික ක්‍රමවේද පවතින රාමුවෙන් වෙනස් කිරීම බරපතළ අවදානමකට හේතු විය හැකි බව ඔවුන්ගේ 2023 වසර සඳහා වන විවරණිකාවෙන් දක්වා තිබේ.
පර් යේෂණ වාර්තා දක්වන පරිදි දකුණු ආසියානු රටවල ප්‍රජාතන්ත්‍රවාදය පොරොන්දුවලින් බහුලය. බලයට පැමිණීම සඳහා දේශපාලනඥයෝ නොයෙක් පොරොන්දු ඡන්ද දායකයන් හමුවේ තබති. ඉන්දියානු මහ මැතිවරණය මෙම දිනවල පැවැත්වේ. බලයේ සිටින භාරතීය ජනතා පක්ෂය කෝටි ගණනක් ජන කොටසකට සහන ප්‍රකාශයට පත් කර ඇති අතර කාන්තාවන් ලක්ෂපතිනියන් බවට පත් කරන ණය යෝජනා ක්‍රමයක් ද හඳුන්වා දී තිබේ. බංග්ලාදේශයේ මැතිවරණය ද මෙයට නොදෙවැනි විය. ශ්‍රී ලංකාවේ මැතිවරණ පොරොන්දු ද විස්මිත පුරාවෘත්තවලින් ගහණය. හඳෙන් හෝ හාල් ගෙනැත් දෙන බවට පොරොන්දු වූ අතර පේසාල ප්‍රදේශයේ ඛනිජ තෙල් ළිං කැන බොරතෙල් ප්‍රදර්ශනය කෙරිණි. දුප්පත් ජනතාවට රුපියල් දෙදහස් පන්සියයක් ඇතුළු ස්ථිර තැන්පතුවක්, රජයේ සේවක වැටුප් වැඩි කිරීම, පාන් තුනයි පනහට සැපයීම, දූෂිතයන්ට දඬුවම්, ලක්ෂ ගණනින් අලුත් රුකියා අවස්ථා සහ ස්වාධීන ප්‍රතිපත්ති යනාදී වශයෙන් විවිධ පැතිවලට විහිදී ඇත.
► ආණ්ඩු බලය වෙනුවෙන් ආර්ථිකය අවදානමකට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසර දෙක තුළ සංකෝචනය වූ අතර එහි පීඩනය පොදු ජනතාවට ඉහිලිය නොහැකි තත්ත්වයට පවතී. ආර්ථිකය ස්ථාවර කරන පියවර සඳහා හඳුන්වා දුන් තීරණ අනුව පවා ප්‍රමාණවත් සහනයක් ලැබුණේ නැත. අධික බදු, විදුලිය හා ඛනිජ තෙල් පිරිවැය හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් දැරිය නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ජනතාව දුප්පත් වී ඇති අතර සහන වහා සැපයිය යුතු බව යෝජනා කර තිබුණි. සහන සැපයිය යුතු පිළිගත් ක්‍රමවේදවලට වන අතර දේශපාලනඥයන්ට හෝ බලය ඉල්ලන පක්ෂවලට රිසි පරිදි නොවේ. දැනට පවතින පසුබිම අනුව ජාතික අයවැය පියවා ගත නොහැකි සහ දෙස් විදෙස් ණය කළමනාකරණය කරගත නොහැකි අවස්ථාවක දෙන පොරොන්දු රටට ඉහිලිය හැකි ඒවා විය යුතුය.
ඉදිරි ඡන්ද ඉලක්ක කරගෙන මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පොරොන්දු විසුරුවා හරින වකවානුව තුළ දුර්වල ආර්ථික පදනමක් මෙරට පවතින බව අමතක කළ යුතු නැත. ඡන්දයට ඉදිරිපත් වන දේශපාලනඥයන් ප්‍රකාශ කරන පරිදි රට අභාග්‍යයෙන් ගලවා ගැනීම අරමුණු කරගෙන බලය ඉල්ලන අතර එහිදී ඉටු කළ නොහැකි පොරොන්දු ඡන්ද දායකයන් හමුවේ තැබීම බරපතළ තත්ත්වයක් ලෙස වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය සමාජයක් රටට වැදගත්ය.
ආකර්ෂණීය වචන සහිතව නිකුත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන ඡන්ද ප්‍රචාරණය අරමුණු කරගෙන බෙදාහැරීම සඳහා සකස් කරන නමුත් ඒවායේ ප්‍රතිපත්ති අන්තර්ගතව නැත. ඉටු කළ ද නොකළ ද එහි ගැටලුවක් නැති ආකාරයට සකස් කරන අවිශ්වාසනීය පොරොන්දුවලින් ගහණය. ඉටු කළ නොහැකි පොරොන්දුවලින් රටට සහ විශේෂයෙන් ජාතික ආර්ථිකයට සිදුවන හානිය බලය ඉල්ලන දේශපාලනඥයන් තකන්නේ නැත.
► සහන හා පෞද්ගලීකරණය
දුප්පත් ජනතාවට සහන දෙන ක්‍රම ගැන වගකිව යුතු අංශවලින් දැනටමත් ප්‍රකාශ නිකුත් වේ. වැට් බද්ද යම් ප්‍රමාණයකින් අඩු කරන්නට යෝජනා කර ඇත. එයින් විශාල ආදායමක් රටට අහිමි වේ. ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ගෙවන ලද අතිරේක පොලිය නැවතත් හඳුන්වාදෙන පසුබිම සොයා බලමින් සිටී. මේ සඳහා රුපියල් මිලියන අටදහසක් අවශ්‍ය බව කලින් අනතුරු අඟවා තිබුණි. විදුලිය හා ඉන්ධන ගාස්තු අඩු කරන බව කියැවේ. තවත් වටයකින් දුප්පත් ජනතාවට ආධාර බෙදන බව ද අනාවරණය වන අනෙක් කරුණකි. පසුගිය දිනවල සහල් කිලෝ දහය බැගින් ආධාර ලබන පවුල්වලට බෙදා දුන් අතර දැනට ජාත්‍යන්තර සහාය මත සපයන අස්වැසුම ආධාර ක්‍රමය තවත් පුළුල් කරන්නට ඡන්දය ප්‍රකාශයට පත් වූ වහා කටයුතු සිදුවනු ඇතැයි සැලකේ.
උතුරු නැගෙනහිර ජනතාවගේ අවශ්‍යතා සොයා බලන්නටත්, වතු සේවකයන්ට වැටුප් වැඩි කරන අතර සුබසාධනය තර කරන්නටත් යෝජනා වී ඇත. ගොවිතැන කෙරෙහි ද වෙනම අවධානයක් දක්වන්නට ඉඩ තිබේ. මෙම සියලු කටයුතු සඳහා ජාතික අයවැය ඔස්සේ ප්‍රතිපාදන ලබාගැනීමට සිදුවේ. රජයේ ආදායම අපේක්ෂා කරන ලද පරිදි නොලැබුණු අතර 2025 වසරේ සිට වත්කම් අනුව අලුත් බද්දක් හඳුන්වා දෙන්නට ද යෝජිත පසුබිමක් තුළ මෙම සහන බෙදා දෙන්නට ද මුදල් සොයා ගන්නේ කෙසේද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණු අතර දැනට රජය කරගෙන යන පෞද්ගලීකරණ සැලසුම නතර කර ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවට තීරණ ගත හැකි පරිදි එයින් ඉවත් වන ලෙස ආණ්ඩුවට දන්වා තිබුණි. මෙම නිවේදනය පරිදි ආණ්ඩුව සැලසුම් කර ඇති අලාභ හා අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසාය තවදුරටත් පවත්වාගෙන යන්නට සිදුවන අතර මෙය වක්‍ර ඡන්ද පොරොන්දුවකි. මෙරට ශ්‍රම බලකායෙන් සියයට දෙකක් හා මැතිවරණයක දී ඉතා තීරණාත්මක පිරිසකට පෞද්ගලීකරණය නතර කරන බවට දෙන අනියම් අදහසකි.
► විශ්වාසය බිඳ වැටුණු සමාජයක පොරොන්දු
මෙරට දේශපාලන ක්‍රමය ජනතාවට එපා වී තිබේ. දේශපාලනඥයන් කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇත. දෙසිය විසිපස් දෙනාම ප්‍රතික්ෂේප කරන තැනට පත්ව ඇති බව රහසක් නොවේ. මෙවැනි පසුබිමක් තුළ ප්‍රතිපත්ති සම්පාදකයන් වශයෙන් ජනතාවගේ විශ්වාසය දිනාගෙන ක්‍රමය නිවැරදි මගට ගන්නා වගකීමක් නායකයන්ට ඇත. කළ හැකි දේ ප්‍රකාශ කරන අතර ඒවා කරන ආකාරය වඩාත් විශ්වාසයක් ජනිත වන ආකාරයට පැහැදිලි කළ යුතු වේ. අනෙක් අතට පුරවැසියන් වශයෙන් මෙරට ඡන්ද දායකයන්ට ද සැලකිය යුතු වගකීමක් තිබේ. මැතිවරණ දිනන්නට පොරොන්දු දෙන දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීම අවශ්‍යය. ජනතාවට සහන දෙන බව කියන ප්‍රායෝගික වැඩපිළිවෙළ විමසා බැලිය යුතු වේ. ජනමාධ්‍යවලට මෙහිදී වගකීමක් ඇති අතර මතවාදී ප්‍රශ්න කිරීම් හා ස්වාධීන විමර්ශනවලින් ඡන්ද පොරොන්දුවල අභ්‍යන්තරය හෙළි කළ යුතු වේ.
නැගෙනහිර සහ ගිනිකොණ දිග ආසියාවේ සිදුවන වේගවත් සංවර්ධනය හා සමාන තත්ත්වයක් රටට අත්පත් කරගත යුතුය. ආසියානු සංවර්ධන බැංකුව පෙන්වන පරිදි පකිස්ථානය හා ශ්‍රී ලංකාව කලාපයේ සංවර්ධන වේගය අතින් පහළම තැනක පසුවනු ඇත. ඉදිරි වසර දහය තුළ සියයට පහකට අඩු වර්ධනයක් ශ්‍රී ලංකාවේ පවතින්නට ඉඩ ඇති බව මූල්‍ය අරමුදල දක්වා තිබේ. වසර 2032 වන තෙක් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ණය අනුපාතය සියයට අනූ පහ ඉක්මවන බව විශේෂඥයන් පෙන්වා දී ඇත. සම්ප්‍රදායික ආකාරයට ඉටු කළ නොහැකි පොරොන්දු දෙන දේශපාලනඥයන්ට ආර්ථිකයේ හැබෑවටම කළ හැකි දේ ගැන අවබෝධයක් ඇති කරගත යුතු අතර බලය වෙනුවෙන් නොව රට තුළ පරිවර්තනයක් ඇති කරන අයුරින් ක්‍රියා කළ යුතුව තිබේ.
සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලයෙන් කාලයට සිදු කරන නැති සම්පත් වෙන්දේසි කිරීමක් බව ප්‍රකාශ කළේය. නැති සම්පත් ජනතාවට බෙදා දෙන මෙවැනි මෙවැනි වැඩපිළිවෙළකින් රට තුළ සංවර්ධනය ගැන, සමාජ ක්‍රමය ගැන විශ්වාසයක් ඇති කළ හැකිද?
► ආර්ථිකය දියුණු කරන ප්‍රශස්ත වැඩපිළිවෙළක්
මෙරට ඉඩම් වලින් 80% කට ආසන්න ප්‍රමාණයක් රජයේ අයිතිය යටතේ පවතී. අයිතිය, බදු දීම හා පරිහරණය සම්බන්ධයෙන් පැහැදිලි හා විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් අවශ්‍යය. සමස්ත ශ්‍රම බලකායෙන් 30% ක් කෘෂි කර්මාන්තයෙහි නිරත අතර එයින් සපයන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% කි. ඵලදායිතාව වර්ධනයට නම් ඉඩම් පරිහරණය මෙන්ම නිෂ්පාදන මිශ්‍රිතය පිළිබඳව සොයා බැලීම වැදගත් වේ. නමුත් දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන ඉඩම් ගැන හෝ ඒවායේ ඵලදායිතාව ගැන කතා නොකරන අතර නව සහනාධාර ක්‍රම ගැන ලොකු අකුරින් සඳහන් කරනු ඇත. පොහොර සහනාධාරය සහ සහතික මිල ගැන ප්‍රතිපත්ති ප්‍රකාශනවල දිග වාක්‍ය ලියැවෙනු ඇත. තේ, රබර් හා පොල් ඉඩම්වල පහත වැටෙමින් පවතින ලාභදායීත්වය ද සැලකිල්ලට නොගන්නා අතර ඒවාට ද සහන දෙන බව දක්වනු ඇත.
අපනයන නිෂ්පාදන සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% ක ආදායමක් භාණ්ඩ හා සේවා අපනයනය තුළින් උපයා ගනිමින් සිටී. සිංගප්පූරුව සියයට 170 ක් හා මැලේසියාව, තායිලන්තය හා වියට්නාමය යන රටවල එම ප්‍රතිශත 70% ත් 75% ත් අතර මට්ටමකය. මේ ගැන සාකච්ඡා කරන දේශපාලන පක්ෂය කුමක්ද? දක්ෂ තරුණ පිරිස විදේශ රුකියා සඳහා ලාංකිකයන් යවන ඉලක්ක ප්‍රසිද්ධියේ දක්වන දේශපාලනඥයන් මෙම තරුණයන් නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගත හැකි දෙස් විදෙස් ආයෝජන ගැන හුවා දක්වන්නේ නැත.
රටේ ඉඩම් විකිණූ ආකාරය ගැන කරුණු හෙළි කරන දේශපාලනඥයන් පමණක් නොව රටේ සම්පත් ආරක්ෂා කරන බවට දිවුරා කියන දේශපාලනඥයන්ද ඉදිරියේදී මුණගැසිය හැකිය. නමුත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2 ක් සේ දැනට පවතින විදේශීය ඍජු ආයෝජන යටත් පිරිසෙන් 5% දක්වා නංවන අතර දැනට දියුණු කර ඇති මාර්ග, වරාය, ගුවන් තොටුපොළ, තොරතුරු තාක්ෂණය යන යටිතල පහසුකම්වලින් ප්‍රයෝජන ගැනීම ජනප්‍රියභාවය තකා පොරොන්දු දෙන ක්‍රමයට වඩා දුෂ්කරය.
I සාරා කන්දෙගොඩ