2024 මැයි 18 වන සෙනසුරාදා

ලොවේ ලොකුම තේ අපනයනකරු දැන් ලංකාවේ

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 213

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයෝජන සමාගමක් ලෝකයේ ප්‍රධාන පෙළේ තේ නිෂ්පාදන සමාගමකට අයත්ව තිබූ තේ වතු ගණනාවක් මිලදී ගැනීමට සමත්ව තිබේ.

මේ සරුසාර ගනුදෙනුව සිදුවූයේ ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සහ එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තයේ ප්‍රමුඛ තේ සමාගමක් වන ලිප්ටන් ටී ඇන්ඩ් ඉන්ෆියුෂන් සමාගම අතරය. ඒ අනුව බ්‍රවුන්ස් සතු තේ වතු ජාලයට අප්‍රිකාවේ ලිප්ටන් සතු තේ වතු හෙක්ටෙයාර් 43770ක් අලුතෙන් එක්වනු ඇත.

මේ මිලදී ගැනීමත් සමඟ, ශ්‍රී ලංකාව පදනම් කරගත් ගොවිපොළ ද සමගින්, බ්‍රවුන්ස් විසින් තේ කිලෝග්‍රෑම් මිලියන 87ක් නිෂ්පාදනය කරනු ඇත. එමගින් ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් ලොව ප්‍රමුඛතම තේ අපනයනකරු බවට පත්වනු ඇති බව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ ලිප්ටන් ටී ඇන්ඩ් ඉන්ෆියුෂන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

“සැමට තිරසාර, වගකිව යුතු සහ සමෘද්ධිමත් අනාගතයක් ඇති කිරීම සඳහා LIPTON Teas and Infusions සහ දේශීය හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා" යනුවෙන් Browns Investments හි විධායක සභාපති කමන්ත අමරසේකර මේ සන්ධානය ගැන ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව නව ප්‍රමිතියකට තේ නිෂ්පාදනය කිරීම සඳහා බ්‍රවුන්ස් සමාගම Lipton Teas and Infusions සමඟ හවුල් වනු ඇත. ලොව පුරා Browns විසින් අලෙවි කරන සියලුම තේ ගුණාත්මක, සමාජීය සහ පාරිසරික ආරක්ෂාව ආවරණය වන පරිදි නව ප්‍රමිතීන්ට අනුව වගා කර අස්වනු නෙළීම ගිවිසුමට ඇතුළත්ය. කෙන්යාවේ සහ ශ්‍රී ලංකාවේ වතුවල තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට වගකීම් සහිත ගොවිතැන් ක්‍රම අනුගමනය කිරීමට සමාගම් දෙක සැලසුම් කර තිබේ.

එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තයේ ප්‍රමුඛ තේ සහ ශාකසාර බීම නිෂ්පාදකයකු වන ලිප්ටන් ටී ඇන්ඩ් ඉන්ෆියුෂන් සමාගම ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ඉදිරිපත් කළ හවුල්කාරිත්වයේ කොන්දේසිවලට එකඟ වී ඇති අතර එමගින් රුවන්ඩාවේ, කෙන්යාවේ සහ ටැන්සානියාවේ තමන් සතු තේ වතු ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත පැවරීමට එකඟ වී තිබේ. බ්‍රවුන්ස් ආයෝජන ඒකකය වන UAE පදනම් කරගත් B Commodities ME FZE හරහා මෙම මිලදී ගැනීම සිදු කෙරේ.
එම අප්‍රිකානු සමාගම්වල පාලනය මිලදී ගැනීම සඳහා Ekaterra Holdco UK Limited සහ Netherlands පදනම් කරගත් Ekaterra Group Holdings BV සහ Ekaterra Group Holdings 2 BV සමඟ විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමකට (SPA) තමන්  එළැඹී ඇති බව බ්‍රවුන්ස් නිවේදනය කර ඇත. SPA අනුව මිල ගණන් ගණනය කරනු ඇති බව එහි සඳහන් වේ. Ekaterra යනු යුනිලිවර් හි කලින් පැවැති තේ අංශය වන අතර එය CVC Capital Partners වෙත විකුණා ඇත.

‌මෙම ගනුදෙනුව තුළින් රුවන්ඩාව පදනම් කරගත් Lipton Teas and Infusions Rwanda Limited හි කොටස් සියයට 100 ක් සහ ටැන්සානියාව පදනම් කරගත් Lipton Teas and Infusions Tanzania Limited හි කොටස් සියයට 100 ක් මිලදී ගනු ඇත. එයට කෙන්යාව පදනම් කරගත් Lipton Teas and Infusions Kenya Plc කොටස්වලින් සියයට 98.56ක් සහ Limura Tea Plc හි කොටස් සියයට 51.99ක් ද ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත එක්වනු ඇත.

මේ ගනුදෙනුවට අයත් Lipton Kenya Estates සමාගම සෑදී ඇත්තේ Bomet, Kericho සහ Kiambu යන ප්‍රාන්ත දෙක හරහා පැතිර ගිය වතු 11කින් සහ කර්මාන්ත ශාලා අටකිනි. ගිවිසුම මගින් මේ සියලු වත්කම් බ්‍රවුන්ස් වෙත හිමිවනු ඇත.
Lipton Teas and Infusions සහ Browns එකතුව කෙන්යානු සිලිං බිලියනයක් ‌වෙන්කර ප්‍රාදේශීය සහ අසල්වැසි ප්‍රජාවන්හි අවශ්‍යතා සපුරාලීම සඳහා කැප වූ ප්‍රජා සුබසාධන භාරයක් ද නිර්මාණය කරනු ඇත. ඒ මගින් ප්‍රධාන තේ වතු පිහිටා ඇති Kericho සහ Bomet හි ප්‍රජාවන්ට ප්‍රධාන කෙන්යානු මෙහෙයුම් සමාගමේ කොටස්වලින් සියයට 15 ක් ලබා දෙන්නට කටයුතු යොදා තිබේ.

ඒ අනුව 2025 වන විට නව ප්‍රමිතීන් සපුරාලීම සඳහා මෙන්ම කෙන්යාවේ අතිරේක පුහුණු රුකියා අවස්ථා නිර්මාණය කිරීම, නිපුණතා සංවර්ධනය සහ දේශගුණික විපර්යාස අවම කිරීම වැනි ප්‍රගතීන් සඳහා බ්‍රවුන්ස් කෙන්යාවේ සහ ශ්‍රී ලංකාවේ වතුවල ඉදිරියේදී ආයෝජනය කරනු ඇත.

I සුගත් පී. කුලතුංග ආරච්චි