2024 මැයි 18 වන සෙනසුරාදා

තම ඉඩම සහ භවබෝග සඟ සතුකළ අපූරු දානපතියා

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 82

මිනිසුන් බිම් අඟලක් තමන් සතු කරගන්නට එකිනෙකා මරා ගන්නා යුගයක පවුලේ ඉඩම් බෙදාගැනීමට අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් වසර ගණන් නඩු කියමින්, එකිනෙකා විරසක වී සතුරන් මෙන් ඈත් වී  සිටින වත්මන් සමාජයේ තමන් සතු වූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා  විශාල ඉඩමක් සහ එම ඉඩමේ ආදායම් ලබාගත හැකි කෘෂි භවභෝග සියල්ල සමගින් සඟ සතුකොට සම්බුද්ධ ශාසනයේ මතු දියුණුව සඳහා  මහා සංඝරත්නයට පූජා කළ  අපූරු  දානපතියකු තෙල්දෙණිය, ගිඩ්ඩව, වරදිවෙල  පුටුහපුව ගම්මානයෙන්  අපට හමුවිය.

ඔහු තමන් සතු අක්කරයයි පර්චස් එකක ඉඩම, වැල්ලම්පිටිය කොටුවිල ශ්‍රී සුමේධාරාම විහාරාධිපති ශාස්ත්‍රපති, මඩුගල්ලේ ධම්මිස්සර හිමියන්ට සහ  උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට අයිති වන පරිදි  අංක 15326 දරන ඔප්පුවෙන් පූජා කරනු ලැබුවේ  පසුගිය  මැයි මස  10 වැනි දිනදීය.

මෙම විශේෂ පින්කමට අමරපුර මහා නිකායේ අඹගස්පිටි පර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝනායක බලබෝවේ විමලකිත්ති  නාහිමියන් ප්‍රමුඛ, හීනපැල්ලේ අරියධම්ම, (ඔරුගොඩ සාංචි විහාරය විහාරාධිපති), අලපලාදෙණිය රතනසිරි යන හිමිවරුන්ද කොටුවිල සුමේධාරාම විහාරස්ථානයේ විහාරවාසී හිමිවරුන්ද එම විහාරස්ථ දායක සභාවේ නිලධාරිහුද සහභාගි වූහ.

තමන් සතු ඉඩම් සහ වටිනා දේපළ වස්තුව සම්බුද්ධ ශාසනයේ මතු දියුණුව පිණිස නිර්ලෝභිව සඟ සතුකොට පූජා කළ ඒ.ජී. යසතිලක ලයනල් ධර්මසේන මහතා කලක් නාවික ඉංජිනේරුවකු ලෙස විදේශ නැව් රුසක සේවය කර විදෙස් රටවල් රුසක සංචාරය කළ අයෙකි. තමන් සතු සියලු ඉඩකඩම් සහ වෙනත් දේපළ පරිත්‍යාග කළ මේ උතුම් මිනිසා මිනිස් සමාජයට ආදර්ශමත් අයකු බව, මෙම සුවිශේෂී පින්කමට සහභාගි වූ වරාගොඩ ශ්‍රී විමලාරම විහාරාධිපති බලබෝවේ විමලකිත්ති අධිකරණ සංඝනායක හිමියෝ අනුශාසනාවක් කරමින් පැවසූහ. මෙහිදී කෙටි අනුශාසනවක් කළ කොටුවිල ශ්‍රී සුමේධාරාමාධිපති ශාස්ත්‍රපති, මඩුගල්ලේ ධම්මිස්සර හිමියෝ, ලයනල් ධර්මසේන මහතා විසින් සංඝ සතුකොට පූජා කරන ලද තෙල්දෙණියේ වරදිවෙල හීපිටිය වත්ත නැමති ඉඩමේ  භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ආරණ්‍යයක්  ආරම්භ කිරීමට ඉදිරියේදී  කටයුතු කරන බවද පැවසූහ.

ඡායාරූප -  ඉඩම සංඝ සතුකොට පූජා කළ ධර්මසේන මහතා විසින් තම ඉඩමේ ඔප්පුව වැල්ලම්පිටිය කොටුවිල ශ්‍රී සුමේධාරාම විහාරාධිපති මඩුගල්ලේ ධම්මිස්සර හිමියන්ට බාරදුන් අවස්ථාව.) 

I  ජේ.ඒ.එල්. ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල