අපේ රටේ නව නිර්මාණකරුවෝ ඕනෑ තරම් සිටිති. එහෙත් ඒ හද්දා පිටිසර ගම්වලින් උපදින නව නිර්මාණවලට මෙරට සමාජයේ ඉඩක් සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අමාරු බව අමුතුවෙන් කිව යුතු නැත. වෙන රටක නම් නව නිර්මාණකරුවන් මල් පාවඩ දමා පිළිගත්තද අපේ රටේ නව නිර්මාණකරුවකුට පේටන්ට් බලපත්‍රය ගන්න නම් කාට හෝ අතමිට මොළවන්නම වෙන තරම් දුක්ඛිතය. ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුණේ මෙන් කවරාකාර බාධක හමුවේ වුවද මේ පින්බිමේ නව නිර්මාණ බිහිවීම දිනෙන් දින වැඩිවනවා මිස අඩුවක් නැත.
මේ කියන්නට යන්නේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම සෝලම ග්‍රාමයෙන් උපන් එවැනි නව නිර්මාණකරුවකු ගැනය.
වායුගෝලයේ රුඳී ඇති ජල වාෂ්පවලින් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට අනුරාධපුර, තඹුත්තේගම, සෝලම තරුණයෙක් පසුගියදා සමත් වූයේය. 24 හැවිරිදි ඔහු නමින් ඩබ්ලිව්.එම්. හර්ෂක ප්‍රභාත් ධර්මපාලය. තඹුත්තේගම සෝලම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ හර්ෂක උසස් පෙළ අධ්‍යාපනය සඳහා තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය.
කුඩා සෝලා පැනලයක් භාවිතයෙන් නිමවා ඇති මෙම නව නිපැයුම් යන්ත්‍රයෙන් පැය හතර හමාරකදී සෙල්සියස් අංශක 34 කදී ජලය ලීටරයක් පමණ නිපදවන බව ඔහු කියයි. හිරු එළියෙන් ක්‍රියා කරන මෙහි හිරු එළිය නොමැති ස්ථානවලදී සහ රාත්‍රී කාලයේදීද සෝලා පැනලය වෙනුවට විදුලිය ලබා දීමෙන් ජලය නිපදවිය හැකිවීම විශේෂත්වයකි. කිලෝග්‍රෑම් එකහමාරක බරකින් යුත් මේ යන්ත්‍රය කොටස් තුනකට වෙන් කළ හැකි ලෙස සකසා ඕනෑම ස්ථානයකට පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයට නිමවා තිබීම තවත් විශේෂත්වයක් බව හර්ෂක කියයි.
මේ නව නිපැයුම විශේෂයෙන්ම කාන්තාර, කැලෑවල ආරක්ෂක මෙහෙයුම්වලදී, මුහුදු ගමන් ආදී ජලය හිඟ අවස්ථාවලදී මහත් ප්‍රයෝජනයක් වනු ඇත. අප්‍රිකානු රටවල් ඇතුළු ලෝකයේ සමහර රටවල මෙම ක්‍රමවේදය මේ වන විටත් ක්‍රියාත්මක අතර මෙම නිර්මාණය කිරීමට හර්ෂකට වසර එකහමාරක් පමණ ගත වී ඇති අතර ඔහු පැවසූයේ මෙම නිර්මාණයට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ඔහු උත්සාහ කරන බවයි. නුවරඑළිය, හැටන් ආදී ජල වාෂ්ප වැඩි පරිසරයක සේම ජල වාෂ්ප අඩු පරිසරයකදී හර්ෂකගේ මෙම උත්සාහයේ අගය තව තවත් වැඩි කරවයි. ඔහුගේ මීළඟ අරමුණ ලෙස ඔහු පවසනුයේ කසළ ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමය. තව තවත් නව නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා යැයි අපි ඔහුට සුබ පතමු.
I සසංක චලන ගිම්හාන