2024 මැයි 18 වන සෙනසුරාදා

රටට කොර කරන වෘත්තීය සමිති සටන්

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

දැනට මාස තුන හතරකට පෙර ආරම්භ වී තිබූ වෘත්තිය සමිති බලපෑම් මේ වනවිට උච්ඡස්ථානයට පත්ව තිබේ. කෑම පැයේ උද්ඝෝෂණ, පිකට් කිරීම්, සංකේත වැඩවර්ජන ආදිය තවදුරටත් මුහුකුරා ගොස් අද වනවිට අඛණ්ඩ වැඩවර්ජන බවට පත්වෙමින් පවතී. මේවා සියල්ල රජයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වුවද ඒවායින් බැට කන්නේ පොදු මහජනතාවයි. විශේෂයෙන් මහජනතාවට විශාල ලෙස බලපෑම් ඇතිකරන සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලි බල ආදී අංශවල සිදුවන වෘත්තිය ක්‍රියාමාර්ග නිසා ජනතාවට සිදුවන හිරිහැරය සුළු පටු නොවේ.

වෘත්තිය සමිති වර්ජන ක්‍රියාමාර්ගවලට යන්නේ සාකච්ඡා මගින් ගැටලු විසඳීමට අපොහොසත් වීම නිසාය. පසුගියදා ඇතිවූ දුම්රිය සේවක වැඩවර්ජනය වැනි ක්ෂණිකව සිදුවූ වර්ජන හැරුණුවිට අනිත් සෑම වර්ජනයක්ම පාහේ හදිසියේ ඇතිවූ ඒවා නොවේ. සේවකයන් විවිධ අංශ සමඟ සාකච්ඡා කරන අතර ඒවා අසාර්ථක වීම නිසා වර්ජනවලට අවතීර්ණ වූ බව පැවසේ.

බොහෝ වෘත්තිය ප්‍රශ්න මුල් අවස්ථාවේදී විසඳිය හැකි වුවත් බෝලය ඒ මේ අතට පාස් කරමින් කල් මැරීම නිසා ගැටලු නොවිසඳී පවතී. මෙයට එක් හේතුවක් වනුයේ විවිධ ආයතන, අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක් නොමැති වීමය. ඇතැම් ඇමැතිවරු වෙනත් ඇමැතිවරයකුට හෝ ජනාධිපති කාර්යාලයට වරද පටවා තමන් නිදොස් වීමට උත්සාහ ගනිති. ගැටලුවට පියවර ගත යුතු අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු අතර අන්තර් සම්බන්ධයක් නැත.

ඇතැම් විසඳුම් පිළිබඳ දෙතුන් පැත්ත කඹ අදිමින් සිටී. විශේෂයෙන් වැටුප් සහ දීමනා පිළිබඳ ඉල්ලීම්වලදී විෂයය බාර ඇමැතිට පමණක් එය විසඳිය නොහැක. ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේද අදහස් අවශ්‍ය වන්නේ මුදල් වෙන් කරන්නේ ඒ අය නිසාය. ඇතැම් අවස්ථාවල එවැනි ඉල්ලීම් මාස ගණනක් තිස්සේ එම අංශවල නොවිසඳී පවතී. විෂය බාර ඇමැති කොතෙක් උත්සාහ ගත්තද, සේවකයන් සමඟ සාකච්ඡා කළ ද අවසානයක් දැකිය නොහැකිය. මුදල්වලට සම්බන්ධ ආයතන කැත්තට පොල්ල මෙන් සිටිනවා විනා සේවකයන් සමඟ සාකච්ඡාවලට යොමුවන්නේ නැත. මුදල් ඉල්ලන තරමට වෙන් කිරීම අපහසු බව සත්‍යයකි. එහෙත් ඒ බව සේවකයන්ට අවබෝධ කර දීමට උනන්දු වන සැටියක් නොපෙනේ. සේවක ගැටලු ඔඩු දිවීමට එක් හේතුවක් එයයි.

අනිත් ප්‍රශ්නය වන්නේ රජය එක්තරා කොටසක් පමණක් තෝරාගෙන ඒ අයට පමණක් සැලකීමට යාමය. තෝරාගත් වෘත්තිකයන් කොටසකට පමණක් යහමින් බෙදා සෙසු අයට හැන්දක්වත් නොබෙදීම මෙයට හේතුවයි. දැනට සෞඛ්‍ය සේවකයන් අතර ඇතිව ඇති අර්බුදය මෙයට හොඳ උදාහරණයකි. වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000 දීමනාවක් ලබා දී සෙසු සේවකයන් පිළිබඳව නොසලකා හැරීම නිසා අද වනවිට මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයම අර්බුදයකට ලක්ව සිටී. මෙය රජය කල් වේලා ඇතිව ගත යුතුව තිබූ තීරණයකි. දොස්තරවරුන්ගේ දීමනා වැඩි කරන අවස්ථාවේදී සෙසු සේවකයන් සඳහා යම්තම් හෝ යුතුකමක් ඉෂ්ට කළා නම් අද උද්ගතව ඇති කනගාටුදායක තත්ත්වය ඇතිවන්නේ නැත.

අනික් අතට සේවකයන්ද කල්පනා කළ යුත්තේ උපරිම සුදුසුකම් ඇති උසස් සේවාවලට දෙන ප්‍රතිලාභ ඒ ආකාරයෙන්ම ඉල්ලීම කොතරම් දුරට ප්‍රඥාගෝචර ද යන්නය. දෙපාර්ශ්වයම යම් නම්‍යතාවක් දැක්විය යුතුය. තවද ඇතැම් ඉල්ලීම් අද ඊයේ නිර්මාණය වූවා නොව වසර ගණන් පැරණි නොවිසඳුණු ඒවාය. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ඇතැම් ඉල්ලීම් වසර 7-8 පැරුණි ඒවාය. ඒ ඒ අවස්ථාවල තිබූ රජයන් ඒවාට විසඳුම් දුන්නා නම් අද වනතුරු ඔඩු දුවන්නේ නැත. ඔවුන් බලා ඉන්නේ ඊළඟ රජයෙන් විසඳුම් ලබා ගැනීමටය.

කෙසේ වුවද මැතිවරණ සමයක් ළං වනවිට සේවක ඉල්ලීම් වැඩි වශයෙන් කරළියට නගී. එයට හේතුව ළඟ එන මැතිවරණ නිසා දේශපාලනඥයන් තම ඉල්ලීම් ලබාදෙනු ඇතැයි ඔවුන් විශ්වාස කිරීමය. අපේ රටේ මෙයට පෙර තිබූ ආණ්ඩු සමවලදීද අවසාන මොහොතේ ස්වකීය ඉල්ලීම් දිනා ගැනීමට සේවකයන් සමත් වූ අවස්ථා ගණනාවක් තිබේ. මෙවරද එය ආදර්ශයට ගැනීමට සේවකයන් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. ඉදිරි මැතිවරණවලදී තම පක්ෂය පරාජයට පත්වේ යැයි සිතන පාලකයන් පත්වන ආණ්ඩුවලට බර පැටවීම උදෙසා යන යකා කොරහත් බිඳගෙන යාමේ සම්ප්‍රදාය අනුගමනය කළ අන්දම පසුගිය අතීතය දෙස බැලූ විට අපට පැහැදිලිය. එහෙත් ඒ සඳහා වැය වන්නේ ආණ්ඩුවල මුදල් නොවන මහජන මුදල් බව සැලකීමට ඔවුන් කටයුතු නොකිරීම ජාතික අවාසනාවකි.

අනික් අතට තම ඊළඟ ජයග්‍රහණය සඳහා රාජ්‍ය සේවකයන් පාවිච්චි කිරීම ඉතා පහත් ක්‍රියාවක් බව පැවසිය යුතුය. තමන් ඉල්ලන දේවල් ගෙඩි පිටින්ම ලබාදීමට රජයට හැකිද යන්න සේවකයන්ද තේරුම් ගත යුතුය. ඒ සඳහා වැය කරන්නේ මහජන මුදල් බවටද එයින් පොදු මහජනතාව අසීරු බවට පත්වන්නේ යැයිද ඔවුන් තේරුම් ගත යුතුය. ඒ නිසා ෂයිලොක් මෙන් මස් රාත්තලම නොඉල්ලා යම් අසාධාරණයකට නැඹුරු විය යුතු වේ.

තවත් කරුණක් වන්නේ සේවක ඉල්ලීම් දේශපාලනීකරණය වීමය. සේවකයන් ස්වාධීන ලෙස තම ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන විට ඇතැම් දේශපාලනඥයෝ ඒ තුළට රිංගා තම පටු දේශපාලන අපේක්ෂා සාර්ථක කර ගැනීමට උත්සාහ ගනිති. යම් ලෙසකින් සේවකයන් ඉල්ලීම් දිනාගත් විට එය තම මැදිහත් වීම නිසා සිදුවූවා යැයි පෙන්වා ලකුණු දමා ගැනීමට බලති. බොහෝ විට වෘත්තිය සමිති නායකයන් වැඩිදෙනා ඇතැම් සමාජවාදී සහ විප්ලවවාදී දේශපාලන සංවිධානවල සාමාජිකයෝය. ඒ නිසා ඔවුන් ආණ්ඩුව අමාරුවේ දැමීමට ඉටු කළ නොහැකි ඉල්ලීම් ඉදිරිපත් කරමින් කටයුතු කරන බවට කෙරෙන චෝදනා ද සාධාරණීකරණය කළ හැකි තත්ත්වයක පවතී.

කෙසේ වුවද වැඩවර්ජනය යනු සේවකයන්ට ඇති අන්තිම තුරුම්පුවය. එයට පෙර කම්කරු නීති පොතේ ඇති සියලු පියවර ගැනීමට සේවකයෝ බැඳී සිටිති. ඒ නිසා සේවකයන් වර්ජනවලට යා යුත්තේ අනිත් සියලුම ක්‍රියාමාර්ග අසාර්ථක වූ පසුවය. පාලකයන්ගේද වගකීම වනුයේ සේවකයන් වැඩවර්ජනවලට නොපොළඹවා අතරමගදී විසඳුම් කරා යාමය. වැඩවර්ජනවලින් බැට කන්නේ ඔවුන් නොව දුප්පත් ජනතාව නිසාමය. අද පවතින වැඩවර්ජන රුල්ල ගැන පෙනෙන විට අපට කිව හැක්කේ දහසක් කම්කටොලුවලින් පෙළෙන ජනතාව තවදුරටත් අමාරුවේ වැටී සිටින බවය.

2023 වසරේ ජූනි 30 දින වනවිට රාජ්‍ය සේවකයන් 11,91,651ක් රටේ සේවයේ යෙදී සිටි අතර, එම වසරේ ජනවාරි 01 දාට සිටි සේවක සංඛ්‍යාව 11,41,188 කි. මෙයින් පෙනී යන්නේ මාස 6ක කාලය තුළ 50,000 පමණ වැඩි වී තිබෙන බවය. දැනටද ඇතැම් පුරප්පාඩුවලට බඳවා ගනිමින් සිටින නිසා 2024 මැද වනවිට මෙම ප්‍රමාණය තවත් 50,000ක් පමණ වැඩි වෙනවා ඇත. 

වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000ක මාසික ජීවනාධාරයක් ගෙවන අතර, එය අප්‍රේල් සිට 10,000 දක්වා ඉහළ නංවා ඇත. විශ්‍රාමිකයන්ටද රුපියල් 2500ක් වැඩිපුර එකතු කර ඇත. පසුගියදා ජනාධිපතිවරයා පැවසුවේ මෙම වැඩි කළ මුදල ප්‍රමාණවත් නොවන බව තමා පිළිගන්නා අතර ලබන වසරේ සිට තවත් වැටුප් හා දීමනා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවය.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරිවරුන් පසුගිය 6 හා 7 දිනවල අසනීප නිවාඩු වාර්තා කළ අතර 15 වැනිදා සිට 18දා දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක් කිරීමට පෙළඹී සිටී.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න හා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම් ජගත් චන්ද්‍රලාල් පවසන්නේ තමන්ගේ දෙදින අසනීප නිවාඩු ගැනීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අසාර්ථක වූ නිසා මේ වන විට වැඩවර්ජනයක නිරත වීමට සිදුවූ බවය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය තම වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස ඉල්ලා 02දා සිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇත. මෙතෙක් කල් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන ගියද 15දා සිට එයින්ද වැළකී සිටී. අධ්‍යාපන ඇමැති හා බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලදී ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වූ බව වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක සමන් කාරියවසම් කියයි.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවලට වසර 8කට පසු විසඳුම් ලබාදීමට තමා පියවර ගත් බවය.

''අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. එයින් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට වැටුප් වැඩි කිරීමට තීරණය වුණා. අධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප සියයට 108 කින් වැඩි වූ අතර අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප වැඩි වුණේ සියයට 92 කින් පමණයි. මේ සියයට 15 වැටුප් පරතරය අවම කර දෙන ලෙස 2016 වසරේදීත් ඉල්ලුවා. එහෙත් වසර 8ක් තිස්සේ මේ ප්‍රශ්නය විසඳීමට කිසිදු රජයක් කටයුතු කළේ නැහැ. දැන් මේ පිළිබඳ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කර විසඳුමක් දීමට කටයුතු කරනවා.''

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ වර්ජන කරන්නේ ඉල්ලීම් ඉටු කිරීමට පියවර ගනිමින් සිටියදී බවයි. ඔහු වර්ජකයන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන්ගේ නාමයෙන් වැඩට එන ලෙසටයි.
රජයේ විධායක නිලධාරීහු අප්‍රේල් 10දා සිට සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලින් ඉවත් සිටිති. ඔවුහු දේශපාලනඥයන් සහභාගි වන සියලු රුස්වීම් වර්ජනය කරති. පසුගිය 10දා ආරම්භ වූ අස්වැසුම පුහුණු වැඩසටහනට නිලධාරින් 1000ක් සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම වැඩමුළුව අතහැර දැමීමට සිදුවූ බව වාර්තා විය.

තම විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තිය ගැටලුවලට අවසන් විසඳුමක් ඉල්ලා ජනාධිපතිතුමා හමුවීමට යන බව එම කමිටුවේ සභාපති එච්.ඒ.එල්. උදයසිරි පවසයි.

''මෙයට පෙර අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා හමුවීමට උත්සාහ කළා. එහෙත් එයට ඉඩ ලැබුණේ නැහැ. ඒ වෙනුවට ජනාධිපති ලේකම්ගේ සම්බන්ධීකරණ නිලධාරියකු හමුවුණත් ලැබුණු ප්‍රතිඵලයක් නැහැ. එයට විරෝධය දැක්වීම සඳහා මේ වනවිට රාජ්‍ය ව්‍යාපෘති රාජකාරිවලට සම්බන්ධ වීමෙන් වැළකී සිටිනවා. ඉදිරියේදී අපේ ගැටලු විසඳුණේ නැතිනම් දීපව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වෙනවා. එය දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් විය හැකියි. අපි ඒ තත්ත්වයට පත් කරන්න එපාය කියලා පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.''

විවිධ වැඩවර්ජන හා වෘත්තිය ක්‍රියාමාර්ග නිසා 2009 වසරේ සිට මේ දක්වා මිනිස් දින 213986ක් රටට අහිමි වූ බව කම්කරු හා විදේශ රුකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පසුගිය 9දා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

''ආයෝජකයන් රටට ඒමට මැලි වන්නේ මේ නිසයි. වසර 50කට වැඩි කාලයක් රටට විදේශ විනිමය ගෙනා 'නෙරිටාකෝ' සමාගම මේ වනවිට වසා දැමීමේ තර්ජනයකට ලක්වෙලා තියෙනවා. දේශපාලන අවශ්‍යතා මත වෘත්තිය සමිති ඇරඹීම මෙයට හේතුවයි. වෘත්තිය සමිති තනා වැඩ කඩාකප්පල් කරන දේශපාලනඥයන්ද ඉන්නවා. ඉදිරියේදී මේ සියල්ල මර්දනය කිරීමට අණ පනත් ගේන්න බලාපොරොත්තු වෙනවා.''

I යසවර්ධන රුද්රිගූ