මැතිවරණයක් ආසන්න වන විට ඇමැතිකම් පිළිබඳ වදවීම දේශපාලනඥයන්ගේ සිරිතකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබන හැමදෙනාගේම සිහිනය අමාත්‍ය ධූරයක් බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත් නිරන්තර මැතිවරණ අවසානයේදී අමාත්‍යවරුන් පත්කිරීමේ විද්‍යාත්මක බව, අමාත්‍ය ධූර ප්‍රමාණය ආදිය පිළිබඳව කොතෙකුත් ප්‍රශ්න මතු වේ. බොහෝවිට විශාල අමාත්‍ය මණ්ඩලයක් නඩත්තු කිරීමට ආණ්ඩු තීරණය කරන්නේ සැබෑ අවශ්‍යතාව සලකා නොවේ. සිය බල දේශපාලන අවශ්‍යතා සලකාය.
මෙවන් පසුබිමක් තුළ පසුගිය මාර්තු මාසයේදී වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මෙරට අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය සකස් විය යුතු ආකාරය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක් එළිදැක්වීය. ඒ අනුව කියැවුණේ මෙරටට අමාත්‍ය ධූර 15 ක් ප්‍රමාණවත් බවකි.
“A Blueprint for a Rational Government in Sri Lanka” නැමැති මෙම වාර්තාව මගින් වඩා තාර්කිකමය පදනමක් මත පිහිටා ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සැලැස්මක් මෙහිදී ඉදිරිපත් කොට තිබේ. ඒ අනුව ස්ථාපිත විය යුතු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන සහ ඒවාට අදාළ නීති, රාජකාරි සහ කාර්යයන් පිළිබඳ මෙහි සවිස්තරාත්මක වාර්තාවක් වේ.
ඔවුන් මෙම ලේඛනය සම්පාදනය කිරීම සිදුකොට ඇත්තේ 2010 අප්‍රේල් සිට 2022 ජූලි කාලසීමාව අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍ර පදනම් කරගෙන පමණි. පෙනී යන ආකාරයට පසුගිය දශකයට අධික කාලය තුළ අමාත්‍යාංශ ස්ථාපිත කිරීම්, එහි ආයතන බලතල සහ කාර්යයන් බෙදා දැක්වීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කොට තිබේ.
මෙහිදී කැබිනට් අමාත්‍යාංශ 15ක් නම්කොට ඇත්තේ මෙයාකාරයෙනි.
1. ආරක්‍ෂක අමාත්‍යාංශය
2. මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය - මුදල් ජාතික සැලසුම්කරණය
3. කෘෂිකර්ම අමාත්‍යාංශය - සාම්ප්‍රදායික හා නවීන කෘෂිකර්මය/ වාරිමාර්ග (පශු සම්පත් ධීවර හා ජලජ සම්පත්)
4. ආර්ථික කටයුතු අමාත්‍යාංශය - කර්මාන්ත/ වෙළෙඳ/ ව්‍යාපාර සහ SMEs/ වැවිලි කර්මාන්ත/ සංචාරක
5. අධ්‍යාපන හා පර් යේෂණ අමාත්‍යාංශය - ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන/ උසස් අධ්‍යාපන/ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන/ විද්‍යා හා
පර් යේෂණ
6. පරිසර අමාත්‍යාංශය - දේශගුණික විපර්යාස සහ ආපදා කළමනාකරණය/ වන විද්‍යාව සහ වනජීවී/ පරිසර සංරක්ෂණය සහ දූෂණය අවම කිරීම
7. පවුල් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය - සමාජ සේවා/ ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු/ නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපනය කිරීම
8. විදේශ කටයුතු අමාත්‍යාංශය - විදේශ කටයුතු
9. සෞඛ්‍ය අමාත්‍යාංශය - සෞඛ්‍ය සේවා/ දේශීය වෛද්‍ය
10. ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය - රාජ්‍ය පරිපාලනය/ නීතිය හා සාමය/ පළාත් පාලන සහ පළාත් සභා/ ඉඩම්
11. අධිකරණ අමාත්‍යාංශය - අධිකරණ පද්ධතිය/ පුනරුත්ථාපනය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
12. කම්කරු අමාත්‍යාංශය - කම්කරු සුබසාධන හා නියාමන අමාත්‍යාංශය/ විදේශ රුකියා
13. වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍යාංශය - වරාය සහ නාවික/ ගුවන්
14. මහජන උපයෝගිතා අමාත්‍යාංශය - ප්‍රවාහන/ සන්නිවේදන/ බලශක්ති/ ජල සැපයුම/ නාගරික සංවර්ධනය/ නිවාස හා ඉදිකිරීම්
15. සමාජ හා සංස්කෘතික අමාත්‍යාංශය - සංස්කෘතික කටයුතු/ බුද්ධශාසන හා ආගමික කටයුතු/ ක්‍රීඩා හා යෞවන කටයුතු/ ජනමාධ්‍ය
මෙම අමාත්‍යාංශවල බලතල සහ කාර්යයන්, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන ක්‍රියාත්මක කළ යුතු නීති රීති අණපනත් වෙන් වෙන්ව ලැයිස්තුගත කොට දැක්වීමට Verite Research ආයතනය කටයුතු කොට තිබේ. මෙම වාර්තාව වඩාත් තාක්ෂණික සහ පැහැදිලි වාර්තාවකි. www.veriteresearch.org හරහා මෙම වාර්තාව ඔබටද පරිශීලනය කිරීමේ හැකියාවක් පවතියි.
කෙසේ වෙතත් මීට ඉහත අවස්ථාවලදී ද මෙවන් පර්යේෂණ ආයතන විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේදී මූලිකවම තිබිය යුතු පරිපාලනමය හා කළමනාකරණමය ඒකාග්‍රතාවය හා ඵලදායිතාවය අවම වීමට අතාර්කික අමාත්‍ය මණ්ඩල සංයුතිය හේතු වන බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මෙරට ආණ්ඩු මෙම පෙන්වාදීම් කණකට නොගන්නා බව ඉතා පැහැදිලිය.
පසුගිය දශකයකට අධික කාලය තුළදී අමාත්‍යවරුන් සියයක් පමණ සිටි ජාතික ආණ්ඩු පැවති බව අප සිහිපත් කළ යුතුය. එසේම විද්‍යාත්මකව අමාත්‍යාංශ සංයුතිය සකසන බව පවසා පසුව දේශපාලන අවශ්‍යතා මත එය අවුල් කරගත් ආණ්ඩු ද විය. මෙහි ප්‍රතිඵලය වූයේ අමාත්‍ය මණ්ඩල නඩත්තු කිරීමට අධික පිරිවැයක් දැරීම සහ අමාත්‍යාංශ අතර නිසි සන්නිවේදනයක් නොවීම හේතුවෙන් රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය දුර්වල වීමයි.
ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩල සංයුතිය සැකසීමේදී, එහි අතාර්කිකභාවයට බලපාන ප්‍රධාන හේතු 2 ක් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මීට කලකට පෙර පෙන්වා දී තිබුණි. එක් කරුණක් වූයේ බොහෝ සමාන විෂය කේන්ද්‍රයන් පවා බෙදා වෙන්කර තැබීමයි. දෙවැනි කාරණය වන්නේ බොහෝදුරට නොගැලපෙන විෂය ක්‍ෂේත්‍ර අමාත්‍යාංශවලට එකතු කිරීම මත ඇතිවන අවුල් සහගත තත්ත්වයයි.
මෙය කිසිසේත්ම බැහැර කළ නොහැකි තත්ත්වයකි. පසුගිය සමයේ කිසිසේත්ම නොගැලපෙන අමාත්‍යාංශ, කඩා ඉහිරුවන ලද අමාත්‍යාංශ රට තුළ පැවැති බව අපි දුටුවෙමු. ඒ හේතුවෙන් නිර්මාණය වූ අභ්‍යන්තර අර්බුද ප්‍රමාණය ද සුළු පටු නොවේ. සැබැවින්ම මෙතෙක් මෙරට අමාත්‍ය ධූර පිරිනැමීම සිදුවූයේ බල දේශපාලන පදනම් ආරක්ෂා කරගැනීමේ අරමුණ සහිතවය.
කෙසේ වෙතත් අමාත්‍ය ධූරයක් යනු හුදෙක් දේශපාලන තානාන්තරයක් නොව මිලියන සංඛ්‍යාත ජනතාවක් වෙසෙන රාජ්‍යයේ තීරණාත්මකම ආයතනය වන ආණ්ඩුවේ ප්‍රධාන භූමිකාවකි. අමාත්‍ය ධූරයක් වටා නිර්මාණය වී ඇති බලතල, වගකීම්, කාර්යයන් සුළු පටු නොවේ. ඒත් මෙතුවක් ඉතිහාසය තුළ එම වගකීම් අමාත්‍යවරුන් විසින් නිසි අයුරින් ඉටු කළේද යන්න ගැටලුවකි. එම ප්‍රශ්නය නගන්නට අමුතු සාධක අවශ්‍ය නොවන අතර වර්තමාන රාජ්‍යයේ ආර්ථික දේශපාලන තත්ත්වයම ප්‍රමාණවත්ය.
I චමිඳු නිසල් ද සිල්වා