2024 මැයි 18 වන සෙනසුරාදා

වාණිජ බැංකු ඩොලර් ’’කළු කඩ’’ වෙන්න හේතු!

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

විනිමය අනුපාතිකයක් යනු එක් මුදල් ඒකකයක අගය තවත් මුදල් ඒකකයක අගය හා සැසඳීමකි. මේ වනවිට අවප්‍රමාණය වී ඇති ඇමෙරිකානු ඩොලර් වාණිජ බැංකු විසින් මිලදී ගැනීමේදී නියම කරන මිල සහ විකිණීමේදී අයකරන මිල අතර පරතරය විශාල වීම නිසා වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගන්නන් විශාල අපහසුතාවකට පත්ව ඇතැයි වාර්තා වෙයි. 

ගැනුම් හා විකුණුම් අනුපාතිකය යනු බැංකුවක්, මගින් විදේශ මුදල් හුවමාරු කිරීමට අවශ්‍ය පුද්ගලයකුට හෝ බැංකුවෙන් ඩොලර් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට පිරිනමනු ලබන විනිමය අනුපාතිකයයි. විකිණුම් අනුපාතිකය සෑමවිටම ගැනුම් අනුපාතිකයට වඩා වැඩි වන්නේ විදේශ විනිමය වෙළෙඳුන් විකුණුම් සහ මිලදී ගැනීමේ අනුපාතවල වෙනස ප්‍රයෝජනයට ගන්නා බැවිනි. එහෙත් මේ වන විට මෙම අනුපාත දෙකෙහි රුපියල් 7ක 8ක පමණ පරතරයක් පවතී.

වාණිජ බැංකු ඩොලර් මිලදී ගැනීමේදී සහ විකිණීමේදී විශාල පරතරයක් පවත්වාගෙන යමින් අධික ලාබයක් අත්පත් කර ගැනීමට කටයුතු කරන්නේ මන්දැයි ''දේශය'' විමසා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාගෙනි.

මෙවැන්නක් සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයා ඇති මූලික නිර්දේශවලට අනුකූලව යැයි මහාචාර්යවරයා සඳහන් කරයි. ''මෙම ප්‍රතිපත්තිය ආරම්භ වුණේ මීට වසරකට පමණ ඉහත සිටයි. ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල අතර විශාල පරාසයක් ඇති කරන්නට මහ බැංකුව කටයුතු කළේ රටින් විදේශයනට ගලා යන ඩොලර් ප්‍රමාණය අවම කිරීම සඳහායි. කිසියම් පුද්ගලයකු හෝ ව්‍යාපාරිකයකු හෝ වෙනත් පුද්ගලයකු හෝ ඩොලර් මිලදී ගත්විට ඒවා රටින් බැහැරට යනවා. පසුගිය සමයේ රටේ විශාල ඩොලර් හිඟයක් ඇතිවුණා. මහ බැංකුව එම තීරණය ගත්තේ රටේ ඇති ඩොලර් රටින් බැහැරවීම වළක්වාලීම සඳහායි. ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල අතර පරාසය අවම වුණොත් ඇතැම් පුද්ගලයන් අනවශ්‍ය ආකාරයට ඩොලර් මිලදී ගැනීමට පෙළඹිය හැකියි. එමෙන්ම අනාගත අපේක්ෂාවන් සඳහා ඩොලර් එක්රුස් කර තමන් සන්තකයේ තබා ගැනීමටද කටයුතු කරන්න පුළුවන්. එවැනි අවස්ථාවක රටට ගලා එන ඩොලර් ප්‍රමාණයෙන් කොටසක් එක තැනක රුඳීම හේතුවෙන් රටේ විවිධ අවශ්‍යතා සඳහා සංසරණය වීමට ඇති ඩොලර් ප්‍රමාණය අවම වෙනවා. රටක ඇති ඩොලර් බැංකු පද්ධතිය ඔස්සේ හුවමාරු වෙනවා නම් තමයි රටේ ආර්ථිකයට යහපතක් සිදුවන්නේ. රටේ ඇති ඩොලර් අනවශ්‍ය ලෙස රටින් බැහැර වීම වළක්වාලීම සඳහායි මහ බැංකුව මෙවැනි පරතරයක් තබාගෙන ඩොලර් ගනුදෙනු සිදු කිරීමට වාණිජ බැංකුවලට අවස්ථාව ලබා දී තිබෙන්නේ.

ආර්ථිකය යම් ආකාරයකට සුබවාදී දිසාවකට ගමන් කරනවා නම්, ප්‍රමාණවත් ලෙස ඩොලර් රටට ගලා එනවා නම්, පුද්ගලයන්ට අවශ්‍ය තරම් ඩොලර් මිලදී ගෙන ඒවායින් භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාවක් පවතී නම් ගැනුම් හා විකුණුම් මිලෙහි විශාල පරතරයක් නොමැතිව 5% ක් වැනි පරතරයක් ඇතිව ගනුදෙනු කිරීමට වාණිජ බැංකුවට හැකියාව ලැබෙනවා. තවමත් ලංකාවේ ආර්ථිකය එවැනි වර්ධනයක් කරා ගමන් කර නැහැ.'' යනුවෙන් සඳහන් කළේය.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු 24ක් තිබේ. අප කළ විමසුම අනුව පසුගිය මැයි 13 දා මෙම බැංකු මගින් ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල සඳහන් කර තිබුණේ මේ අයුරිනි. සම්පත් බැංකුවේ ගැනුම් මිල රු.294. 50 වූ අතර විකුණුම් මිල රුපියල් 303.50 කි. ලංකා බැංකුවේ ගැනුම් රු. 295. 50 කි. විකුණුම් මිල රු. 303.50 කි. මහජන බැංකුවේ ගැනුම් මිල රු. 295 කි. විකුණුම් මිල රුපියල් 304 කි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගැනුම් මිල රු. 295ක් වූ අතර විකුණුම් මිල රුපියල් 303 කි. හැටන් නැෂනල් බැංකුවේ ගැනුම් මිල රු. 284ක් වූ අතර විකුණුම් මිල රුපියල් 302 කි. කොමර්ෂල් බැංකුවේ ගැනුම් මිල රු. 292.73 කි. විකුණුම් මිල රුපියල් 303 කි. අමානා බැංකුවේ ගැනුම් මිල රු. 296.50 ක් වූ අතර විකුණුම් මිල රුපියල් 302 කි. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතය ලෙස එදින සටහන් වූයේ ගැනුම් මිල රුපියල් 294.15 සහ විකුණුම් මිල රුපියල් 303.78ක් වශයෙනි. ඇතැම් වාණිජ බැංකු මෙලෙස ඩොලර් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ගෙන් බැංකු 2% ක කොමිස් මුදලක්ද අය කරනු ලබන බව වාර්තා විය.

මෙලෙස විවිධ වාණිජ බැංකු විවිධ මිල ගණන් පවත්වාගෙන යන්නේ මන්දැයි අප මහාචාර්ය අතුකෝරළගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ එය බැංකුවට ලැබෙන ඩොලර් සංචිත ප්‍රමාණය සහ බැංකුවෙන් ගලා යන ඩොලර් සංචිත ප්‍රමාණය අනුව තීරණය වන්නක් බවයි. කිසියම් බැංකුවක් සතුව ඇත්තේ සුළු ඩොලර් ප්‍රමාණයක් නම් ඔවුන් තමන් සතු ඩොලර් ප්‍රමාණය කළමනාකරණය කරගත යුතුය. ඒ අනුව මහ බැංකුව විසින් ලබා දී ඇති මූලික නිර්දේශවලට අනුගතව වාණිජ බැංකුවලට ඩොලරයේ මිල යම් ආකාරයකට තීරණය කළ හැකි බවද, බැංකු අතර ඩොලරය සඳහා විවිධ මිල ගණන් පවතින්නේ එම තත්ත්වය හේතුවෙන් බවද ඔහු සඳහන් කළේය.  

ඩොලර් විකිණීමෙන් වාණිජ බැංකු අසාධාරණ ලෙස අධික ලාබ ලබන බවට ඩොලර් මිලදී ගන්නා ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කළේ එයින්  ආනයනයකරුවන්ට යම් බලපෑමක් සිදුවන අතර ඔවුන්ට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවයි. එහෙත් ඉන් අසාධාරණයක් සිදුවනවාද යන්න විශ්ලේෂණය කළ යුත්තේ ඉන් සමාජයට වන බලපෑම කෙබඳුදැයි විමසා බැලීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය. පරතරය විශාල ලෙස අවම වී පුද්ගලයන් විශාල ලෙස ඩොලර් මිලදී ගැනීමට කටයුතු කළහොත් බැංකු මගින් පවත්වාගෙන යන පරතරයට වඩා විශාල අසාධාරණයක් සමස්ත සමාජයට සිදුවන්නේ යැයි ඔහු පෙන්වා දෙයි. බැංකුවලට ප්‍රමාණවත් ඩොලර් සංචිත නොමැති වන අතර භාණ්ඩ ආනයනය කිරීම අභියෝගයක් වන බවද සඳහන් කළ මහාචාර්යවරයා රජය මේ වන විට තහනම් කර තිබූ ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා අවසර දී තිබුණද මෙවැනි ක්‍රියා මගින් අනවශ්‍ය ලෙස ඒවා ආනයනය සීමා කර ඇතැයි ද සඳහන් කළේය.

තමන්ගෙන් ඩොලර් මිලදී ගැනීමේදී වාණිජ බැංකු අසාධාරණ ලෙස අධික ලාබ ලබන බවට බැංකුවලට මුදල් එවන විදේශීය ශ්‍රමිකයෝද චෝදනා කරති. ඔවුන්ගේ ප්‍රකාශ සාධාරණ නමුදු වත්මන් තත්ත්වය වෙනස්ය. වසර කිහිපයකට ඉහත ඩොලරයක් රුපියල් 200 වැනි අගයක පැවතියේය. පසුගිය කාලයේ එය රුපියල් 370ක් 380ක් වැනි ඉහළ අගයකට ගිය අතර විදේශ ශ්‍රමිකයන්ට එම කාලයේ ඔවුන්ගේ ඩොලරයට වැඩි මිලක් ලැබිණි. විදේශ ශ්‍රමිකයන් වර්තමානයේ ද ඩොලරයේ අගය සංසන්දනය කරන්නේ 370 අගයටය. එබැවින් ඔවුනට අඩු මිලක් ලැබෙන බව හැඟෙන්නේ යැයිද කලින් ඩොලරයට රුපියල් 200ක් ලැබුණද එම මුදලේ විශාල වටිනාකමක් තිබූ අතර මේ වන විට ඩොලරයට රුපියල් 290ක් ලැබුණත් රුපියල් 200ක්ව පැවැති සමයේ මිලදී ගත් භාණ්ඩ ප්‍රමාණය මිලදී ගැනීමට නොහැකි හෙයින් එම කරුණද ජනතාව තුළ පවතින හෙයින් ඩොලරයට 380 කාලයේ ලැබුණු රුපියල් ප්‍රමාණයට ලද මුදලට වඩා අඩු මුදලක් හිමිවීම ඔවුන්ගේ කනස්සල්ලට හේතු වී ඇතැයිද මහාචාර්යවරයා පවසයි. 

වර්තමානයේ පවතින ආකාරයෙන් මෙම ඩොලර් පරතරය පවත්වාගෙන යමින් කිසියම් පාලනයක් තවදුරටත් පැවතිය යුතු බවද, ආර්ථිකය ක්‍රමිකව ශක්තිමත් වන තෙක් අනවශ්‍ය ආනයන අවම කිරීමට සහ අපනයනය වර්ධනයට පියවර ගත යුතු බවද ආර්ථිකය ශක්තිමත් වීමෙන් පසු මෙම පරතරය විශාල ලෙස අවම කළ හැකි බවද මහාචාර්යවරයාගේ අදහසයි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05