රුසියාව සහ යුක්‍රේනය අතර ඇතිව තිබෙන නිම නොවන යුද්ධය පිටුපස ඇති මහා මිනිස් ජාවාරම මේ වනවිට කරළියට පැමිණ ඇත. එනම් යුද්ධය සඳහා අවශ්‍ය සෙබළුන් විවිධ රටවලින් බඳවා ගැනීමට රුසියාවත් යුක්‍රේනයත් කටයුතු කරන මොහොතක මේ දෙස බලා සිටින මිනිස් ජාවාරම්කරුවන්ට නම් රජ මඟුල් බව කිව යුතුය. එක් පිරිසක් රුසියාවේ රැකියා ලබාදෙන පවසා එරටට රැගෙන ගොස් රුසියානු හමුදාවට බඳවාගෙන ඇත. මේ අතර, ඍජුවම රුසියානු හමුදාවට බඳවා ගන්නා බවත් ඒ සඳහා විශාල වැටුපක් ලබා දෙන බවත්, මුළු පවුලටම රුසියානු පුරවැසිභාවය හිමිවන බවත් පවසමින් තවත් පිරිසක් රැගෙන ගොස් හමුදාවට බඳවාගෙන තිබිණි. කෙසේ වෙතත් බහුතරයක් ලැබෙන වාසි ගැන සිතා රුසියානු හමුදාවට ස්ව කැමැත්තෙන් බැඳී ඇතැයි පැවසේ.
මෙම ජාවාරමට සම්බන්ධ පිරිස මේ සඳහා දැන්වීම් පළ කර ඇති අතර ඒ සඳහා විශ්‍රාමික හමුදා සෙබළු බුරුතු පිටින් පෝලිමේ ගොස් හමුදාවට එකතු වී ඇතැයි කියති. එහෙත් එලෙස හමුදාවට බැඳුණු කිසිවකුට කියූ පරිදි කිසිදු වරප්‍රසාදයක් හිමිව නැත. එලෙස බැඳුණු ඇතැම් අය නිසි ඇඳුමක් හෝ නොමැතිව මල්ලක් සහ එල්.එම්.ජී අවියක් පමණක් ලබා දී යුද පෙරමුණට යොමුකර ඇත. අඩුම තරමින් ආරක්ෂාව සඳහා ලබාදෙන බොඩි ආමරියක් හෝ ආරක්ෂක හිස් වැසුමක් හෝ ලබා දී නොමැත. එම අසීරු තත්ත්වයෙන් මිදී පලා ආ සහ තවමත් එරට සිරවී සිටින සෙබළුන් පවසන ආකාරයට තත්ත්වය ඉතාම අමානුෂිකය. ඇතැම් සෙබළුන්ට හමුදාවෙන් ලබාදෙන ආහාරවේල පවා රුසියානු ජාතිකයන් විසින් උදුරා ගන්නා බව පැවසේ. එසේම අලුත බඳවා ගන්නා රුසියානු නොවන වෙනත් ජාතික සෙබළුන් ඉදිරි ආරක්ෂක වළල්ල වෙත යොදවන බවත් ඉදිරියේදී දරුණු ගැටුම් සිදුවන බැවින් විශාල වශයෙන් පිරිස් මියයන බවත් සඳහන් වේ. විශේෂයෙන් ඇතැම් සෙබළුන් එම තත්ත්වයට මුහුණ දෙන්නට නොහැකිව පලා යාමට උත්සාහ කරන විට රුසියානුවන් විසින් ඔවුන්ව වෙඩි තබා ඝාතනය කරන බවත් ඔවුහු පවසති. මේ නිසා විශාල වශයෙන් සෙබළුන් මියයන බව එහි සිරවී සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති.
මේ වනවිට මෙම සිදුවීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් විසඳා ගන්නා තැනකට තල්ලු වෙමින් ඇත. දිනෙන් දින සෙබළුන් වැඳ වැටෙමින් ඔවුන්ව බේරාගන්නා ලෙසට සිදු කරන ඉල්ලීම් හමුවේ මේ වනවිට රජයට ඒ සඳහා සෘජුව මැදිහත්වීමට සිදුවී තිබේ. ඊට අමතරව මෙම ජාවාරම සම්බන්ධයෙන් සොයාබැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට ද ආණ්ඩුවට සිදුවිය. ඒ මේ සම්බන්ධයෙන් පැමිණිලි දිගින් දිගටම ගලා ඒම හේතුවෙනි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ මේ සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා වනවිට පැමිණිලි 288 ක් ලැබී තිබූ අතර මියගිය සංඛ්‍යාව 16ක් ලෙස වාර්තා වී ඇති බවයි.
එහෙත් එරට සිටින සෙබළුන් පවසනුයේ එහි විශ්‍රාමික සෙබළුන් 1000කට අධික පිරිසක් සිටින බවත් 100කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවත්ය. කෙසේ වෙතත් එය නිල වශයෙන් තහවුරු කර නොමැත. ඔවුන් සියලු දෙනාම හඬා වැටෙමින් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසය. ඒ අනුව මෙරට රජය එම පිරිස ගෙන්වා ගැනීමට කටයුතු ආරම්භ කර ඇත. පසුගියදා ආරක්ෂක මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රුස්වූ අවස්ථාවේ මෙම මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳ වහාම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ. විශේෂයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට මේ සඳහා මැදිහත් වන ලෙස දන්වා ඇත. ජනාධිපතිවරයාගේ උපදෙස් මත එළඹෙන සතියේදී පිරිසක් රුසියාව බලා පිටත් වීමටද නියමිතය. එහෙත් තවමත් ඔවුන් මෙරටට ගෙන්වා ගන්නේ කෙසේදැයි නිශ්චිත අදහසක් නොමැත. මේ අතර තවත් පිරිසක් තමන්ගේ උපරිමය යොදමින් ශ්‍රී ලංකාවට පලාඑමින් සිටිති.
මේ අතර මෙම පිරිස විදෙස්ගත කළ ඒජන්සියේ හිමිකරු සහ කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. වෙනත් රැකියා සඳහා පිටත් කරන බව දන්වමින් පුද්ගලයන් මෙලෙස හමුදාව වෙත යොමුකිරීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ඔවුහු අත්අඩංගුවට පත්ව සිටිති. ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ඉදිරියේදී සිදුවනු ඇත. කෙසේ වෙතත් මේ වනවිට විශාල පිරිසක් අන්ත අසරණභාවයට පත්ව සිටිති. ඔවුහු මරණයත් ජීවිතයත් අතර සටනක නිරත වෙති. එහෙත් ඔවුන්ගේ ඉරණම කෙලෙස විසඳේද? මෙරට රජය විසින් ඔවුන්ගේ ඉරණම තීරණය කරනු ඇත.
I ගයාන් ගාල්ලගේ