2024 මැයි 18 වන සෙනසුරාදා

රජයේ සේවකයන්ටත් දොර ඇරුණු තායි තාවකාලික පැවිද්ද

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 114

තායිලන්තය තාවකාලික පැවිද්දට ලෝක ප්‍රසිද්ධය. ලෝකයේ බොහෝ පිරිස් තාවකාලික පැවිද්ද ලබා ගැනීමට එරටට යාම සිදුවේ. එමෙන්ම විවිධ විශේෂ අවස්ථා මූලික කර ගනිමින් තාවකාලික පැවිද්ද සඳහා විශේෂ වැඩසටහන් පැවැත්වීම ද තායිලන්ත රජය විසින් සිදුකරන සිරිතකි.

අපේ රටේ බොදුනුවන් ද ඉඳහිට තායිලන්තයට ගොස් තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී සිට ආපසු පැමිණෙති. කිර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මෙරටට උපසම්පදාව රුගෙන ආවේ ද තායිලන්තය හෙවත් සියමෙනි. එසේ රුගෙන ආ උපසම්පදාවෙන් සියම් නිකාය බිහි විය. පසුගිය වර්ෂයේ මහනුවර ගෙඩිගේ විහාරස්ථානයේදී උපසම්පදාව ස්ථාපිත කර සියම් නිකාය ආරම්භ වී වසර 270 ක් ගතවීම නිමිත්තෙන් ශ්‍රී ලාංකිකයන්ට තාවකාලික පැවිද්ද ලබාදීමේ වැඩපිළිවෙලක් එරට ක්‍රියාත්මක කෙරුණි.ලාංකිකයන් 270 දෙනකුට තායිලන්තයට ගොස් තාවකාලිකව මාස හතරක කාලයක් පැවිදි උපසම්පදාව ලබා දීමට කටයුතු කළ අතර ඒ සඳහා තායිලන්තයේ වියංමායි පළාතේ මෑ ආයි නගරයේ තම්බෝන් ගමෙහි පිහිටි වට් පා සොම්ඩෙට් ප්‍රා ඤාණ වජිරෝඩො විහාරස්ථානය විසින් අනුග්‍රහය දක්වන බව සඳහන් විය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සැදැහැවත් රජයේ සේවකයන්ට තාවකාලික පැවිද්ද ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය. තායිලන්ත රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන්ම විශේෂ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත රජය මෙම වසරේ සැලසුම් කර ඇත. එම අවස්ථාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් සඳහා ලබා දීමට තායිලන්ත රජය එකඟතාවය ලබා දී ඇති බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙම වැඩසටහන 2024 වර්ෂයේ ජූනි මාසයේදී දින 15ක් පුරාවට තායිලන්තයේදී පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් විධිමත්ව තෝරාගෙන එම වැඩසටහන හා සම්බන්ධ කිරීමට මැදිහත් වන ලෙසත්  ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇත.

එයට එක්විය හැක්කේ පිරිමි රජයේ නිලධාරීන්ට පමණි. මේ සඳහා නිලධාරින් තෝරාගන්නේ බෞද්ධාගම හා ආගමික කටයුතු වෙනුවෙන් විශේෂ ඇල්මක් දක්වන නිලධාරීන් වන අතර තායිලන්ත තානාපති කාර්යාලය හා බුද්ධශාසන අමාත්‍යාංශය ඒකාබද්ධව පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඔවුහු තෝරා ගැනෙති. කෙසේ වුවත් අපේ රටේ බොහෝවිට සිදුවන ලෙස මෙතැනදීත් මහණ වෙන්නට කියා ගොස් සාප්පු සවාරි යාමටත් ඉඩ ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. මේ නිසා නිලධාරින් තෝරා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව අපගේ හැඟීමයි. නැතහොත් මහණකම මුලට දමා තායි රටේ නොමිලේ සවාරියක් යාමේ අරමුණ ඇතිව එයට එක්වීමට පෙළඹීම ද සිදුවිය හැකිය. 

තෝරාගනු ලබන නිලධාරීන් සඳහා ආහාරපාන, ගුවන් ටිකට්පත් හා නවාතැන් තායිලන්ත රජය විසින් ලබාදීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකා රජය විසින් පඩි සහිත විදේශ නිවාඩු ලබාදෙනු ලබන අතර වෙනත් කිසිදු දීමනාවක් ලබා නොදෙන බව සඳහන් කර තිබේ.

අද වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ මෙරට ජනතාව පසුවන්නේ අධික පීඩාකාරී වාතාවරණයකය. රජයේ නිලධාරින් අමනෝඥ දේශපාලන බලපෑම් මෙන්ම ආර්ථික ගැටලු නිසාත් වියවුලකට පත්ව සිටිති. ප්‍රාදේශීය ලේකම්වරුන් පවා මානසික පීඩාව දරාගත නොහැකිව සියදිවි නසාගත් අවස්ථා පසුගිය කාලයේ වාර්තා විය. එම නිසා හිතට යම් තරමින් හෝ සහනයක් නිවැරදි සතියක් ලබාදීමට මෙම වැඩසටහන ඉවහල් වන බව පැහැදිලිය. 

සිවුරක් දරා සිටියද අපේ භික්ෂූන්ගෙන් සමහරු විනය කර්ම මායිම් නොකර කම්සැප මුලට දමා හැසිරෙන බව අපට අසන්නට ලැබෙන ප්‍රවෘත්තිවලින් පැහැදිලි වේ. තවත් පිරිසක් පිරිසක් ධනය සොයමින් දායකයෝ ගසා කති. අවසානයේ ඔවුහු සිවුරු හැර යති. නමුත් තායිලන්තයේ තාවකාලිකව පැවිදිභාවයට පත්වන පිරිස එය අවසන් කරන්නේ විනය කර්මයට අනුව සද්භාවයෙන් යුක්තවය. තාවකාලිකව පැවිදිභාවයට ලක්වන සියලු දෙනා එම කෙටි කාලසීමාව තුළදී විනය කර්ම උපරිමයෙන්ම ඉගෙන ගැනීම සිදු කරති. බණ භාවනා කරති. එය ඔවුන්ගේ මනසේ කිලිටි සේදී ගොස් ඉදිරි ජීවිතයට මහත් පිටුවහලක් ලබා දේ. 

එරට බෞද්ධ පැවතුම් අනුව භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩීම සාමාන්‍ය සිරිතකි.  පිණ්ඩපාතය පාගමනින් හෝ වාහනවලින් සිදුකෙරෙන අතර එහිදී උදේ, දවල්, දානමය දෑ පමණක් නොව භික්ෂූ ජීවිතයට අවශ්‍ය දෑ විශාල වශයෙන් බැතිමතුන් විසින් පිරිනමති. භික්ෂූන් වහන්සේ එසේ වඩිනා තෙක් මහජනතාව මඟ දෙපස සැදී පැහැදී සිටිනුයේ දැඩි නොඉවසිල්ලෙනි.

තායි ජාතිකයන් 95% ක්ම බෞද්ධයන් වන අතර ඔවුන් බෞද්ධාගම අදහන්නේ දැඩි විශ්වාසයකිනි. අතිවිශාල රාජ්‍ය පාලන තන්ත්‍රයට අමතරව බෞද්ධ භික්‍ෂූ සමාජය තායි ආයතන අතුරින් විශාලම එකකි. එරට භික්‍ෂූන් කෙරෙහි දක්වන ආකල්පය නිරතුරුවම නිශ්චිත හා විශ්වාසදායක වූවකි. තායි මුළු රට තුළම භික්‍ෂූන් සංඛ්‍යාව දෙලක්ෂයකට අධිකය. සාමණේර භික්ෂූන් ද එපමණම සංඛ්‍යාවක් සිටිති. විහාරස්ථාන හා ආරාම 25,700කට අධිකය. උපසපන් භික්‍ෂූන් හා සාමණේරවරුන් සියලු දෙනාම ගත්විට භික්‍ෂූන් වහන්සේලා තුන් ලක්ෂයකට අධිකය. එරට කහ සිවුරු දක්නට නොලැබෙන තැනක් නැතැයි කිවහොත් නිවැරැදිය. මෙපමණ භික්ෂූන් සංඛ්‍යාවක් සිටින්නේ තාවකාලික භික්ෂූන් ද බහුල නිසාය. භික්‍ෂූන් අතරින් සිවුරෙහි වසර 10ක් හෝ එයට වැඩි කාලයක් ගත කරන ආගම සිය ජීවිතයේ එක් අංගයක් සේ සලකනු ලබන භික්‍ෂූන්ගේ සංඛ්‍යාව 35,000කට මඳක් අධිකය. 

තරුණ වියෙහි සිට විවාහ වන්නා වූ කාලය අතරතුරදී පිළිවෙතක් වශයෙන් වස්සාන කාලය තුළදී සාමාන්‍යයෙන් එක් ඍතුවක් හෙවත් මාස තුනක කාලයක් බෞද්ධ භික්‍ෂුවක් ලෙස පැවිදි වී මහණදම් පිරීම තායිලන්තයේ සංස්කෘතික පරමාදර්ශයකි. එක් එක් වර්ෂයක් තුළදී තාවකාලික පැවිදි බව ලැබ එය අවසන් කර පිටවී යන භික්‍ෂූන්ගේ සංඛ්‍යාව අනුව දළ වශයෙන් 25,000ක් පමණ වෙයි. තාවකාලික පැවිද්ද ලබන අය අතරින් 35,000 ක් පමණ වයස 21 ට වැඩි පිරිස වෙති. යොවුන් ළමුන් ද තාවකාලික පැවිදි බව ලබාගැනීම දැකගත හැකිය. පැවිදි  භූමියට ඇතුළු නොවූ පුද්ගලයන් හට තායි සමාජයේ එතරම් පිළිගැනීමක් නැත. පැවිදි වූ පුද්ගලයා හඳුන්වන්නේ තත් (Thit) යන ගෞරවනීය නාමයෙනි. එහි අර්ථය බහුශ්‍රුත පුද්ගලයා යන්නයි. වර්ෂයේ ඕනෑම දිනක කෙනකුට ආගමික පිළිවෙත් අනුව පැවිදි දිවියට එක්වීමට හැකි වුවද ඒ සඳහා වඩාත්ම සුදුසු ලෙස පිළිගෙන ඇත්තේ වස් කාලය ආරම්භ වන ජූලි හෝ අගෝස්තු මාසයන් ය. පවුලේ කෙනකු පැවිදි වීම ප්‍රදේශයේ ඥාති මිත්‍රාදීන් කාටත් සුවිශේෂී දෙයකි. පැවිදි වීමට නියමිත පුද්ගලයා සුදු පැහැ සිවුරකින් සැරසී සිටින අතර අදාළ විහාරස්ථානය වෙත කැඳවාගෙන යන්නේ දර්ශනීය පෙරහරකිනි. 

මෙම භික්‍ෂු අධ්‍යාපනයේ කොටසක් වනුයේ ගාථා කීම, ධර්ම දේශනා කිරීම හා ධර්මය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමය. අලුතින් පැවිදිභාවය ලබන්නන් තමන් වෙත පුද පූජා පවත්වන ගිහියන් හට කුසල් අත්වන අයුරින් භික්‍ෂූන් ලෙස කටයුතු කිරීමට ඉගෙන ගනිති. මෙයින් අදහස් වන්නේ ප්‍රසිද්ධියේ ඔවුන් හැසිරිය යුත්තේ විනය නීතිවලට අනුකූල වන පරිදි බවය.

නියමිත කාලසටහනකට අනුව පෙරවරු 9.30 හා පස්වරු 1.30 අතර ආනාපානසති භාවනාව, සක්මන් භාවනාවේ යෙදීම සිදුකෙරෙන අතර වාඩි වී සිදුකරන භාවනා මෙන්ම සක්මන්  භාවනාව ද එයට ඇතුළත් ය.  

අලුයම 6.00ට බුද්ධ වන්දනාව අවසන් වූ වහාම දෙවුර සිවුරු දමා පාත්තරය රුගෙන පිඬුසිඟා යෑමද දවසේ වැඩසටහන් අතරට අයත් ය. තායි වැසියන් අලුයම සිට මඟ දෙපස පෙළ සැදී භික්ෂූන්ට දානය පිරිනමමින් වැඳ වැටීම බැංකොක් නගරයේ සාමාන්‍ය දැකුමකි.  

භික්ෂු භාවයේ කාලසීමාව නිමවූ පසුව උපැවිදි කිරීම සිදුවේ. 

ඒ සඳහා උපැවිදි කිරීමේ පාලි ගාථා ඛණ්ඩය කටපාඩම් කරගත යුතුය. රත්නත්‍රයෙන් සමාව ගැනීම, උපාධ්‍යාය හිමිවරුන්ගෙන් සමාව ගැනීම අවසානයේ “සික්ඛං පච්චාත්තාම් ගිහිඉති මං ධාරේථ” වාක්‍ය කටපාඩමින් කීමෙන් පසු නායක හිමියන් වහන්සේ සිවුරු කොණක් අල්ලා ඉවත් කිරීමත් සමඟම පැවිදි වී සිටි භික්ෂු උපැවිදි භාවයට පත්වෙති. 

තාවකාලික පැවිදි වැඩසටහනට අදාළ අයැදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් යොමු කළ යුතු අතර වැඩි විස්තර බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. කෙසේ වුවත් නිලධාරින් තායිලන්තයට ගිය පසු ආපසු නොපැමිණ සිටීමට නොහැකිය. තෝරාගනු ලබන නිලධාරීන් වැඩසටහන සඳහා පිටත්වීමට ප්‍රථම නැවත සේවයට වාර්තා කිරීම සම්බන්ධව ගිවිසුමකට එළඹීම කළ යුත්තේ එහෙයිනි. 

I  කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05