2024 මැයි 18 වන සෙනසුරාදා

වට්ස්ඇප් එකෙන් එළියට පැන්න ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 69

විභාග රාජකාරිවල නිරත ඇතැම් නිලධාරීන් හා විභාග අපේක්ෂකයෝ තමන් සිදු කරන වංචා හෙළිදරව් නොවනු ඇතැයි සිතා කටයුතු කරති. මේ ආකාරයට කොතෙකුත් විභාග වංචා වාර්තා වේ. ඉකුත් දිනවල ආන්දෝලනයකට ලක්ව තිබුණේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටකර ඇතැයි කියන කතාවය. ඊට අමතර කාරණාව නම් විෂය කරුණුවලට පරිබාහිරව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සකසා ඇතැයි කියන කාරණයයි.

පාසල් හෝ රජයේ වෙනත් ඕනෑම විභාගයක් පැවැත්වීමේදී විභාග දෙපාර්තමේන්තුව අවධානයකින් පසුවන බව දන්නා කියන එකකි. කවර අපේක්ෂකයකුට හෝ විභාග වංචාවට අවස්ථාවක් නැති බව ප්‍රසිද්ධියේ අවධාරණය කරන බවද පෙනෙයි. එහෙත් දැන් දැන් වාර්තා වන්නේ විභාග අපේක්ෂකයන්ට වඩා විභාග රාජකාරිවල නිරත ඇතැම් නිලධාරීන් වංචාවලට මුල පුරන බවකි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මැයි 6 වැනිදා ආරම්භ කෙරිණ. එම විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පසුගිය 09 වැනිදා පෙරවරු 8.30 ට ආරම්භ විය. නමුත් ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් එදිනම ගැටලුවක් මතු වූ බව වාර්තා විය. එහිදී විභාගයට කලින් ප්‍රශ්න පත්‍රය පිට වී ඇති බවට කියැවිණ. ලැබී ඇති තොරතුරුවලින් එය තහවුරු නොවූ බවත් පිළිතුරු හුවමාරු කර ගැනීමක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති බවත් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා මාධ්‍යයට පවසා තිබේ. මේ අතර කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සිසුන් කිහිප දෙනකු සඟවාගෙන සිටි දුරකථනවලට වට්ස්ඇප් යෙදවුම හරහා පිළිතුරු ගෙන්වා ගැනීමට උත්සාහ කර ඇති බවට එහිදී තහවුරු වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් මාධ්‍යයට පවසා තිබුණි.

මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කොට ඇති බවත් එම සිසුන්ට එරෙහිව උපරිම නීත්‍යානුකූල පියවර ගන්නා බවත් විභාග කොමසාරිස්වරයා පවසා ඇත. මේ ආකාරයට හසලක ප්‍රදේශයේ වාර්තා වූ සිද්ධියක් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලක් මතය.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ වි‍ශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය වෙත එක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් පසුගිය 12 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරු මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කළේය. සැකකාර ගුරුවරයා විසින් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැර තිබූ බව තහවුරු වී තිබුණි. එම සමූහයේ සාමාජිකයන් 1,025 දෙනකු සිටි බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකාර අදාළ ගුරුවරයා විසින් මෙම ප්‍රශ්න පත්‍රය එම සමූහයට එක් කර තිබුණේ එදින උදේ 9.10 ට බව හෙළිදරව් වී තිබේ.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේය. මේ අතර පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවා විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කොට තිබුණි. එහිදී ඔහු කියා තිබුණේ විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බවය.

ප්‍රශ්න පත්‍රයක රහස්‍යභාවය ලෙස සැලකෙන්නේ විභාගය ආරම්භ වී පළමු පැය භාගය තුළ බවට විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය. මේ අනුව ඔහුට ලැබී ඇති තොරතුරු අනුව විභාගයට පෙර අදාළ ප්‍රශ්න පත්‍රය සංසරණය වීමක් වාර්තා නොවූ බව පැවසෙයි.

1968 අංක 25 දරන විභාග පනත අනුව විභාග ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයකි. ප්‍රශ්න පත්‍රය සකස් කළ අවස්ථාවේ සිට විභාගය පැවැත්වෙන දින විභාගය ආරම්භ වී මිනිත්තු 30ක් ගතවන තෙක්ම තත්ත්වය එසේය. මේ අනුව අදාළ ප්‍රශ්න පත්‍රය පිට කර ඇත්තේ විභාගය ආරම්භ කර මිනිත්තු 40කට පසුව බව කියැවේ. එසේම විභාග පනත ප්‍රකාරව වංචා කරන අයට එරෙහිව දඬුවම් නියම කොට තිබේ. නීතිය එසේ වුවද අපේක්ෂකයා වෙනුවට වෙනත් පුද්ගලයකු පෙනී සිටීම, විභාග නිරීක්ෂකයන් විසින් අපේක්ෂකයන්ට අනුබල දීම, දුරකථනයෙන් තොරතුරු හුවමාරු කිරීම, නවීන තාක්ෂණික මෙවලම් භාවිතය දැනට වාර්තා වී ඇති බරපතළ සිදුවීම් කිහිපයකි. එකී වංචාවල නිරත වී නීතියෙන් දඬුවම් විඳ නිකරුණේ ජීවිතය අඳුරු කරගත් අය බොහෝය.

විභාග දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි 2016 සිට 2019 කාලය තුළ විවිධ මට්ටමින් විභාග වංචා හසුකර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සමත්ව ඇත. ඒ අනුව උසස් පෙළ විභාගය පැවැත්වීමේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව අතර 2016 වසරේදී 856 ක්ද, 2017 වසරේදී 459 ක්ද, 2018 වසරේදී 288 ක්ද, 2019 වසරේදී 567 ක්ද විය. එම පැමිණිලි විභාග කිරීමෙන් පසුව පිරිසකගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 2016 වසරේදී 244 ක්ද, 2017 වසරේදී 205 ක්ද, 2018 වසරේදී 119 ක්ද, 2019 වසරේදී 71 ක්ද එසේ අත්හිටුවා තිබිණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට චෝදනා එල්ල විය. එය මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාය. විභාගයෙන් අනතුරුව තීරණය කෙරුණේ සෑම අපේක්ෂකයකුටම ඒ සඳහා නිදහස් ලකුණු 2ක් ලබා දීමටය.

මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ 452,979 ක් ඉදිරිපත් වූහ. ඊට පාසල් අයැදුම්කරුවන්  387,648 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331 දෙනකු ඇතුළත් බව පැවසේ. මෙවර විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස්වරයා පවසයි. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.

I ප්‍රදීප් වික්‍රම