2024 මැයි 18 වන සෙනසුරාදා

බිත්තර මිල ගැන හතරබීරි කතා

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

වසර පුරා විටින් විට තැම්බෙන බැදෙන ජාතික පුවතක් බවට දැන් බිත්තර පත්ව තිබේ. බිත්තර හිඟය, බිත්තර ආනයනය, ප්‍රමිතිය සම්බන්ධව පසුගිය කාලය තුළ මැවුණු පුවත් මෙතකැයි කිව නොහැකිය. ඒ අතරට පසුගියදා තවත් පුවතක් එකතු විය.

එම පුවත අනුව කියැවුණේ පසුගිය සතියේ නැවතත් බිත්තර ආනයනය සඳහා රජය අවසර ලබාදුන් බවයි. දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම මෙම ආනයන තීන්දුවට හේතු වූ බව බලධාරීන් සඳහන් කොට තිබුණි.

බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බවද ඒ සඳහා හේතු වූ කරුණු ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා හෙළි කර තිබුණි.

“මේ මාසෙ වන විට අනිවාර්යයෙන් බිත්තර නිෂ්පාදනය වැඩිවීමක් තියෙනවා. නමුත් අපිට පේනවා බිත්තර ඒකාධිකාරියක් පවතිනවා. එක කණ්ඩායමක් බිත්තර කූල් රූම්වල සඟවමින්, හිඟයක් මවාපාමින්, මිල වැඩි කරමින් ඉන්නවා. අපි කතා කළා එස්.ටී.සී සභාපතිතුමා එක්ක. ඩොලර් එකේ මිල අඩුවීමත් ඉන්දියාවේ බිත්තර මිල අඩුවීමත් එක්ක අඩු මිලට බිත්තර ගේන්න පුළුවන්, අඩු මිලට දෙන්න පුළුවන් කියලා ඔවුන් සඳහන් කළා. මම ඒ සඳහා අවසර ලබා දෙනවා. මේ මිල පාලනය කරන්න ඒ ක්‍රමය අපිට පාවිච්චි කරන්න වෙනවා."

දේශීය බිත්තර නිෂ්පාදකයන් බිත්තර හිඟයක් නිර්මාණය කරමින් බිත්තර මිල ඉහළ නංවා ඇති බවත්, ඒ හේතුවෙන් නැවත බිත්තර ආනයනය ආරම්භ කරන ලෙස රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. 

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මෙවැනිම තත්ත්වයක් උද්ගත විය. එහිදී ද පාරිභෝගිකයන්ට රුපියල් 35ක මිලකට බිත්තර ලබාදීමේ අරමුණ සහිතව රජය බිත්තර ආනයනය සඳහා අවසර ලබා දුන්නේය. එම වකවානුවේදී කියැවුණේ 2024 අප්‍රේල් 30 වැනිදා දක්වා මෙම අවසරය බලපැවැත්වෙන බවයි. එසේ වී නම් නැවතත් සිදුවෙමින් පවතින්නේ එම අවසරයේ දීර්ඝ කිරීමේ ක්‍රියාවලියේ කොටසකි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බිත්තර මැයි මාසයේදී ඉහළ යන බව අප අමතක කළ යුතු නැත. ඉකුත් සමයේ මව් සතුන් ආනයනය කිරීමට කටයුතු කළ අතර දැන් බිත්තර සහ කුකුළු පැටවුන්ගේ හිඟයක් නොපවතින බව ආරංචි මාර්ග තහවුරු කරයි. 

මෙම තත්ත්වය මත බිත්තර නිෂ්පාදකයන් වෙතින් ආනයන තීන්දුව පිළිබඳව දැඩි විරෝධයක් මතුවෙමින් තිබේ. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් අවශ්‍ය බිත්තර ප්‍රමාණය වෙළෙඳපොළට සැපයීමට හැකි බව දිගින් දිගටම කියා සිටියි.

අපි මේ පිළිබඳව වැඩිදුර තොරතුරු බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් අලහකෝන් මහතාගෙන් විමසා සිටියෙමු.

“එදා වගේ නෙවෙයි දැන්. මේ රටේ බිත්තර අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. මිනිස්සුන්ට පේනවා දැන් මහා පාරේ පෙට්ටි තියාගෙන බිත්තර විකුණනවා. බිත්තර බර අනුව ඒ අය වර්ග කරලා තියෙනවා. බිත්තර රුපියල් 32 ඉඳන් 48 වෙනකම් තියෙනවා. එතකොට දැන් බිත්තර නැහැ කියලා කියන්නත් බෑ. බිත්තර මිල වැඩියි කියලා කියන්නත් බෑ. තමන් කැමැති ප්‍රමාණයකට ගන්න බිත්තර වෙළෙඳපොළේ තියෙනකොට, කෘෂිකර්ම ඇමැතිතුමා කියන්නේ මොනවද කියලා අපිට තේරෙන්නේ නැහැ."

අමාත්‍යවරයාව කවුරුන් හෝ රවටා ඇති බවත් ඉතා කඩිනමින් අමාත්‍යවරයා තත්ත්වය අවබෝධ කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ඉන්දියානු බිත්තර සම්බන්ධයෙන් පවතින විරෝධයද සුළු කොට තැකිය නොහැකිය. ඉන්දියානු බිත්තර කුණුවීමේ අවදානම සහිත බව ඇතැම් වෙළෙන්දෝ කියා සිටිති. 

I චමිඳු නිසල් ද සිල්වා