ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. මේ වන විටත් කොළඹ ඇතුළු නගරාසන්න ප්‍රදේශ මෙන්ම ගම් නියංගම්හිද වෙසක් සැමරීම සඳහා ඇත්තේ දැඩි උද්‍යෝගයකි. බෞද්ධයන් පමණක් නොව ජාති ආගම් පසෙකලා සියලු දෙනා එක්ව වෙසක් සැමරීම වෙනුවෙන් වෙසක් සැරසිලි, දන්සල්, වෙසක් කලාප පැවැත්වීමට කටයුතු යොදමින් සිටිති.
සෑම වසරකදී මෙන්ම මෙවරද කාඩ්බෝඩ්, උණ බට, ලී මෙන්ම ප්ලාස්ටික් වෙසක් කූඩු සඳහා විශාල ඉල්ලුමක් පවතී. විශේෂයෙන් පිටකොටුව වෙළෙඳපොළේ ප්ලාස්ටික් වෙසක් කූඩු මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් මේ දිනවල නගරයට එමින් සිටිති.
“අපි ආවේ හෝමාගම ඉඳලා. මේ වහින කාලය නිසා කාඩ්බෝඩ්, සව්කොළ වෙසක් කූඩු එල්ලන්න අමාරුයි. අපේ දරුවන්ගේ දහම් පාසලේ වෙසක් කලාපයක් තියෙනවා. ඒ නිසා අපි මේ ප්ලාස්ටික් වෙසක් කූඩු ටිකක් මිලදී ගන්න ආවේ. තොග කඩයකින් ගත්තාම ටිකක් ලාබයි. අපේ පැත්තට වඩා බල්බ් වැල්, බෞද්ධ කොඩි පිටකොටුවේ ලාබයි. අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක් එක්ක එයාගේ ත්‍රීවිල් එකෙන් අපි ආවේ. ඒ මල්ලිත් පිටකොටුවෙන් වෙසක් කූඩු, බකට්, වෙසක් සැරසිලි හෝමාගමට අරන් ගිහින් විකුණනවා." යැයි මාගම්මන ප්‍රදේශයේ අනිල් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
වර්තමානයේ දී ප්ලාස්ටික් වෙසක් කූඩු සඳහා විශාල ඉල්ලුමක් පැවතියද එකල වැඩි වශයෙන් ප්‍රදර්ශනය කෙරුණේ බට පතුරු යොදා සකස් කළ වෙසක් කූඩුය. වෙසක් දිනට සති කිහිපයකට උඩදී බට පතුරු කපා නිවැසියෝ ඒකරාශීව වෙසක් කූඩු සෑදූහ. වැඩිහිටියන් වෙසක් කුඩු හා සැරසිලි කරද්දී දරුවෝ ඒවාට සහයෝගය ලබා දුන්හ. ඒ තුළින් නිවෙසේ සාමූහිකත්වය, එකමුතුකම මෙන්ම එකිනෙකාගේ අදහස් හුවමාරු වීමද සිදුවිය. වෙසක් කූඩු සාදා අවසානයේදී එහි නිසි ප්‍රමිතියක් හෝ හැඩයක් නොතිබුණද ඒ සම්බන්ධයෙන් වැඩිහිටියෝ කිසිවිටෙකත් දරුවන්ට තරවටු නොකළහ. එකල බොහෝ විට වෙසක් කූඩු ආලෝකමත් කරන ලද්දේ ඉටිපන්දම් එළියෙනි. එසේත් නැත්නම් මැටි පහනිනි. ඒ බොහෝ අවස්ථාවන්හිදී ආලෝකමත් වූ එළියෙන් වෙසක් කූඩු ගිනිගෙන අළු විය. එයින් සියල්ල අනිත්‍ය බව බෞද්ධයන්ට පසක් කරනු ලබයි. නමුත් වර්තමානය වන විට ඒ සියල්ල ආලෝකමත් කිරීම සිදුවනුයේ විදුලි බල්බ මගිනි.
“මේ පාර ප්ලාස්ටික් වෙසක් කූඩුවලට වඩා බට පතුරුවලින් හදපු වෙසක් කූඩුවලට වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ අතරේ බොහෝ දෙනා බට පතුරු පමණක් මිලදී ගන්නවා. ඒවායින් ඒ අය නිවෙස්වලට ගිහින් වෙසක් කූඩු හදාගන්නවා. මේ දවස් ටිකේම වැස්ස. ඒ නිසා අපිට මේ බිස්නස් එක කරගන්න ටිකක් අමාරුවෙලා තියෙනවා. මේවා තාවකාලික කඩ. හැම පැත්තෙන්ම වතුර හිරිකඩ ගහන නිසා මේ වෙසක් කූඩු පරිස්සම් කරගන්නේ බොහොම අමාරුවෙන්. මේ දවස්වල වෙසක් කූඩු සැරසිලි ගන්න මිනිස්සු එනවා. බෞද්ධයන් විතරක් නෙවෙයි කතෝලික දමිළ මිනිස්සුත් අපෙන් සැරසිලි අරගෙන යනවා. හැබැයි ඉතින් වැස්ස වැඩි වෙලාවට නම්, මිනිස්සු එන්නේ අඩුවෙන්. අපි මේ බට පතුරු පාදුක්කෙන් තමයි අරගෙන එන්නේ. අපි ලී පටි ළඟ ලී මෝලකින් අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන ඇවිත් වෙසක් කූඩු හදනවා. මේ දවස්වල නම් වැඩි වශයෙන් අටපට්ටම් කූඩු තමයි අලෙවි වෙන්නේ." යැයි කිරුළපන ප්‍රදේශයේ මාලිංග මහතා දේශයට පැවසීය.
කිරුළපන වෙසක් කූඩු සැකසීමට ප්‍රසිද්ධ නගරයකි. කිරුළපන හා ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාව සෑම වසරකදීම වෙසක් කූඩු හා වෙසක් සැරසිලි මිලදී ගැනීමට පැමිණෙන්නේ කිරුළපන නගරයේ තාවකාලිකව ඉදිකරන මෙම වෙසක් අලෙවිසල් වෙතටය. කිරුළපන වෙළෙඳ සංකීර්ණයට යාබදව ඉදිවෙන මෙම අලෙවිසල් වෙත පැමිණෙන ජනතාවගෙන් ඇතැමෙක් ඒවාට තම ඇණවුම් ලබා දෙමින් තමන්ට අවශ්‍ය පරිදි වෙසක් කූඩු හා වෙසක් සැරසිලි සිදුකර ගනිති. මේ අතර පෞද්ගලික ආයතනවල සැරසිලි කිරීම සඳහා අවශ්‍ය වෙසක් සැරසිලි මිලදී ගැනීමට පැමිණි පිරිසක්ද අපට දැකගත හැකිවිය.
මේ අතර එක් තාවකාලික වෙළෙඳසලක ඉතා විශාල නෙළුම් මලක් ආශ්‍රිත වෙසක් කූඩුවක් සකසමින් සිටි තරුණයෙකි. නම හෙළි කිරීමට අකැමැති වූ ඔහු පවසා සිටියේ තමන් පෞද්ගලික බැංකු ආයතනයක සේවය කරන බවය. තමාට කුඩා කල සිටම
වෙසක් කූඩු සෑදීමේ හැකියාව තිබූ බවත් ඒ හැකියාව උරුම වූයේ තම පියාගෙන් බවත් ඔහු පැවසීය. ඔහු නිර්මාණය කරමින් සිටි නෙළුම් මල ආශ්‍රිත විශාල වෙසක් කූඩුව ලී පටි ආධාරයෙන් නිර්මාණ වන්නකි. එහි වටිනාකම රුපියල් විසිපන් දහසකි. ඇණවුමකට අනුව සැකසෙන මෙම වෙසක් කූඩුව සෑදීමට ඇණවුම ලැබීමත් සමඟම ඔහු ආයතනයෙන් දින දෙකක නිවාඩුවක් ගෙන තිබුණි. ඔහුගේ සහායට වයස අවුරුදු දොළහක පමණ පිරිමි ළමයෙක් ද ඒ අසල සිටියේය.
“ඉස්සර මාත් මගේ තාත්තාට උදව් කළේ මේ මල්ලි වගේ." ඔහු තම ඥාති සහෝදරයා පෙන්වමින් සිනාමුසු මුහුණෙන් අපට කීවේය.
“මේ පාර අපිට තවම ලොකු වෙළඳාමක් නැහැ. මේ ටෙන්ට් එක ගහන්න අපිට රුපියල් විසි දහසක් පමණ වැය වුණා. නගර සභාවටත් ගාණක් දෙන්න වුණා. වෙනම අපිට උදව්වට දවස් ගාණේ එන අයගේ දවස් පඩිය එක්ක බලද්දී එහෙම ලොකු ආදායමක් තවම නැහැ. ඒ අස්සේ හැමදාම හවසට වහිනවා. ඒකත් බිස්නස් එකට බලපානවා. අපි ගෙවල් කිහිපයකට ඕඩර් බාරදීලා තමයි මේ වෙසක් කූඩු හදවා ගන්නේ. ඉස්කෝලේ පටන් ගනිද්දි නම් බිස්නස් ටිකක් වැඩිපුර තියේවි කියලා හිතෙනවා. කොළඹ ඉස්කෝල සරසන්න අටපට්ටම් වෙසක් කූඩු දරුවන්ට ගේන්න කියලා තියෙනවනේ. ඒ නිසා ඉදිරි දවස් දෙක තුන බිස්නස් එකක් තියේවි." යැයි තිඹිරිගස්යාය වෙසක් සැරසිලි අලෙවි හිමිකරුවෙක් වන නන්දන මහතා දේශයට පැවසීය.
“මේ පාර වැස්ස නිසාම ගොඩක් දෙනෙක් රෙදිවලින් සරසපු වෙසක් කූඩු අරගෙන යනවා. අපි එක කූඩුවක් රුපියල් 750 කට විකුණනවා. අපේ ගෙවල් කිරුළපන. හැම අවුරුද්දේම අපි මෙහෙම වෙසක් කූඩු හදලා මෙතැන විකුණනවා. බුදුන්ගේ සරණින් හැම වසරකදීම අපි හදන කූඩු ඒ වසරේදීම විකිණිලා අවසන් වෙනවා. අපිට ඊළඟ අවුරුද්දට අරන් තියාගන්න ඉතුරු වෙන්නේ නැහැ. අපි හැම අවුරුද්දකම මුලින්ම වෙසක් කූඩු හදන්න පටන් ගනිද්දී පළවෙනි කූඩුව හදන්නේ බුදුගුණ ගායනා කරලයි. එහෙම බුදුන් සිහි කරලා අපේ බිස්නස් එකට ආශිර්වාදය අරගෙන තමයි මුල්ම කූඩුව මේ අලෙවි කුටියේ එල්ලන්නේ. අපි ඒක අලෙවි කරන්නේ නැහැ. ගිය වසරවල වෙසක් එකට ඒ කූඩුත් අලෙවි වුණා. මෙතැන රෙදි, කාඩ්බෝඩ්, සව්කොළ හැම කූඩුවක්ම තියෙනවා. ඒ කූඩු හදන්නෙත් අපිමයි. අටපට්ටම් කූඩුවලට අමතරව අපි නෙළුම් මල් වෙසක් කූඩු හදනවා. ඒවාටත් හොඳ ඉල්ලුමක් තියෙනවා." යැයි කිරුළපන චමින්ද මහතා පැවසීය.
මොවුන් පළමු වෙසක් කූඩුවට මුල්ම ලී පටිය කැපීම සිදු කරනුයේ පහන දල්වා බුදුන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ගැනීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් බොහෝ අලෙවිකරුවන් පැවසුවේ මෙවර විදුලි බල්බ් වැල් සඳහා ගිය වසරට සපේක්ෂව තවමත් අලෙවියක් නොමැති බවය. වෙසක් සතිය වෙනුවෙන් තවත් දින කිහිපයක් ඇති බැවින් ඒ දින කිහිපය තුළදී මීට වඩා අලෙවියක් ඔවුහු බලාපොරොත්තු වෙති.
“මෙතැන අපි දෙවැනි වතාවට වෙසක් සැරසිලි අලෙවි කරන්නේ. ගිය අවුරුද්දට සාපේක්ෂව තවම ඒ තරම් බිස්නස් එකක් නම් නැහැ. මේ පාර බොහෝ දෙනා උණ බට ගෙනිහින් වෙසක් කූඩු හදනවා. අපි ප්ලාස්ටික් වෙසක් කූඩු අඩුවෙන් ගෙනාවේ. ඒවා විකිණෙන්නෙත් අඩුවෙන්. ගිය පාර අපේ වෙසක් කූඩු කිහිපයක්ම ඉතුරු වුණා. ඒවා අපි පොලිතින්වලින් ආවරණය කරලා පරිස්සම් කළා. ඒ හැම කූඩුවක්ම මේ වෙද්දි විකිණිලා ඉවරයි. වෙසක් එකට තව දවස් කිහිපයක් තියෙන නිසා ඉදිරි දවස් කිහිපයේ මීට වඩා අලෙවියක් සිදුවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යැයි වෙසක් අලෙවිසල් හිමි ධම්මිකා මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.
I දිශානි ජයමාලි කරුණාරත්න
I සේයාරූ - සුමුදු හේවාපතිරණ