2024 මැයි 18 වන සෙනසුරාදා

කොස්ගස් හන්දියේ විද්වතා!

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 112

අප අතර සිටි විශිෂ්ට හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ ඒ.ඩී. රන්ජිත් කුමාර මහතා පසුගිය මැයි 10 වැනිදා දැයෙන් සමුගත්තේය. මිය යන විට 77 වැනි වියේ පසු වූ ඔහුගේ අවසාන ඉල්ලීම පරිදි දේහය දෙපැයක පමණ කාලයකට ගල්කිස්සේ මල්ශාලාවක තැන්පත් කොට පසුව කොතලාවල ආරක්ෂක සරසවියේ වෛද්‍ය පීඨයට බාර දෙනු ලැබීය.

එක් මිනිසකු තුළ බොහෝ මිනිසුන් සිටිය හැකිය. එයට කදිම උදාහරණයක් වන්නේ සරසවිය පුවත්පතේ හිටපු කතුවරයා වන ඒ.ඩී. රන්ජිත් කුමාරය. නවයුගය පුවත්පතේ කතුවරයා වූ සෝමවීර සේනානායක මහතා ඔහු ගැන මෙසේ කීවේය. ''රන්ජිත්ලා බොහෝය. කුමාරලා ද බොහෝ සිටිති. එහෙත් රන්ජිත් කුමාරලා සිටින්නේ එක්කෙනෙකි.''

එය සත්‍යයකි. රන්ජිත් කුමාරලා සිටියේ එක් අයෙක් පමණි. එහෙත් එම රන්ජිත් කුමාර නමැති රෑපකාය තුළ බොහෝ චරිත ජීවත් විය. ඔහු මාධ්‍යවේදියෙකි. සිනමාවේදියෙකි. චිත්‍ර ශිල්පියෙකි. ගත්කතුවරයෙකි. පොත් පිටකවර නිර්මාණ ශිල්පියෙකි. චිත්‍රපට නාමාවලි නිර්මාණකරුවෙකි. මේ සියල්ලටම වැඩියෙන් මානව ගුණාංගයන්ගෙන් සපිරුණු යහපත් මිනිසෙක් විය.

1947 අප්‍රේල් 07 වැනිදා උපන් අලුත්ගේ දොන් රන්ජිත් කුමාර පවුලේ වැඩිමලා විය. ඔහුට බාල සොයුරියක හා සොයුරන් දෙදෙනෙකි. ඔහුගේ පියා ඒ.ඩී. ඇඩ්මන් කොළඹ නගරයේ ජනාකීර්ණ පෙදෙසක් වූ කොස්ගස් හන්දියෙහි පදිංචිව සිටි අතර ඔහු එහි මුද්‍රණාලයක් පවත්වාගෙන ගියේය. ජී. කුසුමාවති පෙරේරා ඔහුගේ මව විය. කුඩා අවධියෙහි පටන් රන්ජිත් කුමාර තුළ කලාකාමී අදහස් ඉස්මතු වූයේ ගුණරත්න නමැති ඔහුගේ මාමා කෙනකු නිසාය. තුන්මංහන්දියේ සිරිසේනට අබිලිං මාමා වීරයකු වූවා සේම කුඩා රන්ජිත්ගේ වීරයා වූයේ මේ ගුණරත්න මාමාය. මුදලිඳු අමරසේකරගෙන් හා ජී.එස්. ප්‍රනාන්දුගෙන් චිත්‍ර ශිල්පය හදාරා සිටි ගුණරත්න මාමා වාණිජ චිත්‍ර ශිල්පියකු ලෙස රන්ජිත්ගේ පියාගේ මුද්‍රණාලයේ වැඩ කළේය. ඔහුගේ ආභාසයෙන් රන්ජිත්ද චිත්‍ර ශිල්පයට යොමු විය. තම දරුවාගේ හැකියාවන් හඳුනාගත් මව්පියෝ කුඩා රන්ජිත් එස්.පී. චාල්ස් මහතා වෙත යොමු කළහ. මාලිගාකන්ද රජයේ පාසලේ, කොළඹ කේරි විදුහලේ සහ කොළඹ ආනන්ද විදුහලේ ශිෂ්‍යයකු වූ ඔහු ලේඛනයට සහ සිනමාවට පිවිසියේ පාසල් වියේ සිටය.

කොස්ගස් හන්දියේ ඈපා මුද්‍රණාලය සතුව පොත්හලක් ද විය. එහි වූ වීදුරු අල්මාරිවල අසුන්ගෙන සිටි පොත් කුඩා රන්ජිත්ට ඉඟිබිඟි පෑවේය. ඒ අතර තිබූ එක් පොතක පිටකවරයක් කුඩා රන්ජිත්ගේ සිත ඇදගත්තේය. ඒ නාමෙල් වීරමුනිගේ ''අතරමග'' නමැති කෘතියේ පිටකවරයයි. එය නිර්මාණය කර තිබුණේ හර්බට් රන්ජිත් පීරිස්ය. කුඩා රන්ජිත් කඩදාසියක් හා පැන්සලක් ද රුගෙන පදික වේදිකාවේ සිට ඈපා පොත් සාප්පුවේ වීදුරු අල්මාරිවල අසුන්ගෙන සිටි පොත්වල කවර පිටපත් කර අඳින්නට විය.

පිටකවර නිර්මාණ ශිල්පියකු වශයෙන් මෙරට සාහිත්‍ය ලෝකයේ ඔහු නොමැකෙන සටහනක් තැබීය. මිය යන විට ඔහුගේ පිටකවර නිර්මාණ කලා ජීවිතයට වසර 60කට වැඩිය. ඔහුගේ පළමු පොත් පිටකවරය ඇන්දේ කරුණාරත්න සපුතන්ත්‍රිගේ ‘පව් පඳුරු^ නම් නවකතාවටය. එකල ඔහු පාසල් සිසුවෙක් විය. එම කෘතියේ පිටකවර ශිල්පියා ලෙස ඔහුගේ නම සඳහන්ව තිබුණේ මෙලෙසය. ''කොළඹ කේරි විද්‍යාලයේ ශිෂ්‍ය ඒ.ඩී. රන්ජිත් කුමාර කතුවරයාගේ අදහස චිත්‍රයට නගා ඇත'' යනුවෙනි. 

පසුකාලයේ ඔහු වෘත්තීය මට්ටමින් පිටකවර නිර්මාණ කලාවට පිවිසි අතර ඒ අනුව ඔහුගේ පළමු පිටකවරය වූයේ නිව්ටන් ගුණසේකරගේ ‘මරු කතරක උපන් පුතේ^ නමැති කෘතියට නිර්මාණය කළ පිටකවරයයි. ඉන්පසු ඔහු මෙරට සෑම ලේඛකයකු සඳහාම පාහේ පොත් පිටකවර නිර්මාණය කළේය. තමන්ගේ නිර්මාණ අසුරින් පළමු වරට මෙරට පොත් කවර ප්‍රදර්ශනයක් පැවැත්වූයේ ද රංජිත් කුමාරය.

පොත් පිටකවර නිර්මාණයේ තමන් ලද සුවිශේෂී භාග්‍යයක් ලෙස ඔහු සැලකුවේ මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ කෘති සඳහා පිට කවර නිර්මාණ කිරීමට ලද අවස්ථාවය.

විටින් විට මාර්ටින් වික්‍රමසිංහ මහතා හමුවීමටද පිටකවරයේ අඩුපාඩු එතුමා සමඟ සාකච්ඡා කිරීමටද ඔහුට අවස්ථාව හිමි විය. මාර්ටින් වික්‍රමසිංහ මහතාට ඔහු නිර්මාණය කළ පළමු පිටකවරය ‘භව තරණය^ පිටකවරයයි. ගම්පෙරළිය, ජාතක කතා විමසුම, යුගාන්තය, මඩොල් දූව වැනි පිටකවර ඔහු අතින් නිර්මාණය විය. එවක පොත් පිටකවරයක් සඳහා ප්‍රකාශකයකු ගෙවනු ලැබුවේ රුපියල් 50ක් වැනි මුදලකි. එකල හැටියට එය ඉහළ මිලකි. එහෙත් නිර්මාණයක අගය හොඳින් දැන සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතා රන්ජිත් කුමාරට පිටකවරයකට රුපියල් 300ක්ම ගෙවීය. ඔහු අතින් නිර්මාණය කෙරුණු පිටකවර සංඛ්‍යාව 300කට අධිකය. සිරි ගුණසිංහ, මහගම සේකර, ජී.එච්. ගෞතමදාස. ජී.එස්. ප්‍රනාන්දු වැනි නිර්මාණ ශිල්පීන්ගේ පරපුරට පසු පරපුරේ පොත් පිටකවර නිර්මාණකරුවන්ගේ පුරෝගාමියා වූයේ රන්ජිත් කුමාරය.

ඔහු කොස්ගස් හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු කෘති ගණනක කතුවරයා විය. ඔහු අවසන් වරට එළිදැක්වූ කෘතිය වූයේ කොස්ගස් හන්දියේ කොලු ගැටයා නමැති කෘතියයි.  

ආනන්දයේ ඉගෙනුම ලද සමයේ ඔහුගේ සගයන් වූවෝ ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් මාධව ප්‍රේමතිලක, කුලරත්න ආරියවංශ, කීර්ති බාලසූරිය, රත්නසිරි රාජපක්ෂ, බන්දුල පද්මකුමාර සහ රන්ජිත් ලාල්ය. පාසල් සිසුන් පිරිසක් එක්ව තැනූ පළමු වෘතාන්ත චිත්‍රපටය ලෙස සැලකෙන ‘නිම්වළල්ල^ අධ්‍යක්ෂණය කළේ එවක ආනන්දයේ උසස් පෙළ සිසුවකු වූ රන්ජිත් ලාල් ය. එහි කලා අධ්‍යක්ෂවරයා වූයේ රන්ජිත් කුමාරය. ඔහු අතින් නිර්මාණය වූ චිත්‍රපට නාමාවලි සංඛ්‍යාව 250කට අධිකය. ඔහුගේ පළමු චිත්‍රපට නාමාවලිය පියසිරි ගුණරත්නගේ ‘මොකද වුණේ ‘ චිත්‍රපටය සඳහා කළ නිර්මාණය විය.

නිදහස් ලේඛකයකු ලෙස ආතර් යූ. අමරසේන මහතාගේ ‘විසිතුර^ පුවත්පතට සම්බන්ධ වූ රන්ජිත් කුමාරට ජීවිතයේ තිබුණේ එකම එක සිහිනයක් පමණි. ඒ සරසවිය සිනමා පුවත්පතට සම්බන්ධ වීමටය. කෙසේ හෝ ඔහුට එම සිහිනය සැබෑ කර ගැනීමට හැකි විය. ඔහු වසර 25ක් සරසවියේ සේවය කොට ඉන් විශ්‍රාම ගත්තේ එහි කතුවරයා ලෙසිනි. 80 දශකයේ ඔහු විසින් නවයුගය පුවත්පතට ලියූ %චරිත හමුව^ ලිපි පෙළ විශිෂ්ට ලිපි පෙළක් ලෙස අවිවාදිතය. 

සරසවිය පුවත්පතේ සේවය කළ සමයේ ඔහු සරසවිය සිනමා උළෙල 15ක් සංවිධානය කළේය. ඉන් නික්ම ගිය පසු සුමති පුවත්පත් ආයතනය හා එක්වූ ඔහු සුමති සම්මාන උළෙල 16ක් නොකඩවා සංවිධානය කළේය. මෙරට සිනමා උළෙල වැඩිම සංඛ්‍යාවක් සංවිධානය කළ පුද්ගලයකු ඇත්නම් ඒ රන්ජිත් කුමාර විය හැකිය. එම ආයතනයේ සරසි පුවත්පතේ කතුවරයා ලෙසද ලක්බිම පුවත්පතේ විශේෂාංග කතුවරයා ලෙසද ඔහු කටයුතු කළේය.

අව්‍යාජ කලාකරුවා ගලන ගංගාවක් මෙනි. එය ගලා යන්නේ අනුන්ගේ කෙත්වතු පෝෂණය කරමිනි. බොහෝ දෙනා ඉන් දිය දෝතක් ගෙන පිපාසය නිවා ගනිති. ගංගාවට ඒ ගැන වගක් නැත. එය නිදහසේ ගලා යයි. රන්ජිත් කුමාරද එවැන්නෙක් විය. ඔහුගෙන් පෝෂණය ලද්දෝ බොහෝය. ඔහු ඉන් ලැබුවේ ආත්ම තෘප්තිය පමණි. දහසින් බැඳි පියල්ලකට වඩා ආත්ම තෘප්තිය අගනා බැව් ඔහු දැන සිටියේය. 

මගේ ලේඛන දිවියේ ආරම්භයත් ඔහුය. ඒත් ඒ බව දන්නේ බොහෝ කලකට පසුව අප ලේක්හවුසියේ එකට සේවය කරන කාලයේ ඇතිවූ කතාබහකදීය. 1972 දී මා පාසල් සිසුවෙකි. එකල මහාචාර්ය ජේ.බී. දිසානායක ‘ජනවහර^ නමින් ලිපි පෙළක් නවයුගයට ලිවීය. පසුව එයට පාඨකයන්ද සම්බන්ධ කර ගත්තේය. මම ද එයට ලියුවෙමි. මගේ ලිපි පළ විය. මම ඉන් බොහෝ දිරිමත් වීමි. මම දිගටම ලිව්වෙමි. බොහෝ ලිපි පළ විය. එවක නවයුගය පුවත්පතේ මගේ ලිපි පළ කර තිබුණේ රන්ජිත් කුමාරයන්ය. එදා ඔහු ලබාදුන් අත්වැල නොවන්නට මට මාධ්‍ය ලෝකයට පිවිසෙන්නට ඉඩක් නොමැති වන්නට ඉඩ තිබිණි. අද මගේ මාධ්‍ය ජීවිතයටත් වසර 43 කි.

රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය සම්මානය, සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම්මානය, ඕ.සී.අයි.සී වැනි සම්මානවලට පාත්‍ර වූ ඔහු 2017 දී ජාතික චිත්‍රපට සංස්ථාව වෙතින් පිරිනැමෙන සිනමා සාහිත්‍ය සඳහා වන ජනාධිපති සම්මානය ද හිමිකර ගත්තේය. අවසන් වරට ඔහු සම්මානයට පාත්‍ර වූයේ ඇස්. ගොඩගේ සහෝදරයෝ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්ව 2018 දී සංවිධානය කළ %ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම^ සම්මාන උළෙලේදීය.

පුවත්පත් ආයතනයන්හි සේවයෙන් විශ්‍රාම ගියද ඔහු මිය යන තෙක් ලියවිල්ල අත්හැරියේ නැත. අප දේශය පුවත්පත ආරම්භයේ සිටම ඔහු එයට සිනමාව සහ මෙරට සිටි කීර්තිමත් පුද්ගලයන්ගේ ජීවන තොරතුරු පිළිබඳ ලිවීය. සිළුමිණ, ලංකාදීප, ඉරිදා ලංකාදීප වැනි විවිධ පුවත්පත් සඳහා සාරගර්භ ලිපි සපයමින් මාධ්‍ය ලෝකයේ දිගටම රුඳී සිටියේය. ඔහු රෝගීව සිටි සමයේද පුවත්පත්වලට ලිපි සැපයුම නතර කර සිටියේ නැත. 
ලෝක ධර්මතාව අනුව මෙලොවට එන සැමකෙක්ම යම් දිනෙක ඉන් නික්ම යා යුතුය. ලොවට බරක් වූ මිනිසුන් බොහෝ කල් ජීවත් වෙද්දී රන්ජිත් කුමාර ද එම ලෝක ධර්මතාව අනුව දැයෙන් සමුගෙන ගියේ ලොවට බර නැති, ණය නැති මිනිසෙක් ලෙසිනි.

රන්ජිත් අයියේ ඔබට සුබ ගමන්!

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා