2024 මැයි 25 වන සෙනසුරාදා

ඉන්දියාවේදී කොටු වූ ලංකාවේ අයි.එස්. ලා

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 92

ඉස්ලාම් අන්තවාදය අනෙකුත් ආගමික අන්තවාදයන්ට වඩා විශාල වශයෙන් වෙනස්ය. ආගමට එහා ගිය බැඳියාවක් විසින් ගොඩනගන ලද පුද්ගලයන් අවසානයේ මරාගෙන මැරෙන තැනකට තල්ලු කරනු ලබන්නේ එකී අන්තවාදයේ උපරිමයට ළඟා වෙමිනි. 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු දින අන්තවාදී ප්‍රහාරය හමුවේ ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන තැනට පැමිණීමේ එක් හේතුවක් වූයේ මරණයෙන් පසුව කන්‍යා පහස ලබා ගැනීමය. ඇතැම්විට එය ඇසූ පසුව "මොන බොරුද?" කියා සිතුණත් එය ඇත්තය. මෙකී ආගමික අන්තවාදය තුළ පමණක් නොව ඕනෑම ආගමික අන්තවාදයක් තුළ ‘මනෝ විකාරයක්’ දැකිය හැකිය. කෙසේ වෙතත් අප අද කියන්න යන්නේ මෙකී ආගමික අන්තවාදය නිසා දිනෙන් දින හෙළිවෙමින් පවතින ත්‍රස්තවාදය පිළිබඳවය.  

පසුගියදා ඉන්දියාවේ අහමදාබාද්ත්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එරට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය මගින් සිදුකළ විමර්ශනයකට අනුව පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගැනුණේ ඉන්දියාව තුළ ත්‍රස්ත ක්‍රියාවක් සංවිධානය කරමින් සිටින බවට බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු අනුවය.

ඒ අනුව 48 හැවිරිදි මොහොමඩ් රෂ්ඩීන්, 35 හැවිරිදි මොහොමඩ් ෆාරීෂ්, 33 හැවිරිදි මොහොමඩ් නුස්රාන්, 27 හැවිරිදි මොහොමඩ් සෆ්රාන් යන අය අත්අඩංගුවට ගනු ලැබූහ. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අයි.එස් සංවිධානයේ සාමාජිකයන් බවත් ඔවුන් ශ්‍රී ලාංකිකයන් බවත් ත්‍රස්ත මර්දන ඒකකය මගින් අනාවරණය කර ගැනිණි. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශය සහායද එරට ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ලබාගෙන තිබුණි. මෙම සැකකරුවන් අහමදාබාද් වෙත පැමිණ තිබුණේ චෙන්නායි සිටය. ඒ පසුගිය මැයි 18, 19 අතර දිනයන්හිදීය. 

පසුගිය 15 වැනිදා  ඊමේල් පණිවිඩයක් හරහා අහමදාබාද් ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් ලැබී තිබුණි. පසුව එම අනතුරු ඇඟවීමට අදාළව සිදු කරන ලද බුද්ධි විමර්ශනයෙන් පසුව මෙම සැකකරුවන් සියලු දෙනා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට පැමිණි ගුවන් මගී ලැයිස්තුව පරීක්ෂා කොට අත්අඩංගුවට ගනු ලැබූහ. ගුජරාටි ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා සඳහන් කළේ මෙම සැකකරුවන් ගුවනින් හෝ දුම්රිය මාර්ගයෙන් මෙරටට පැමිණෙන බවට තොරතුරු ලැබුණු බවය. ඒ අනුව දුම්රිය මගීන් සහ ගුවන් මගීන්ගේ ලැයිස්තුව එකින් එක පරීක්ෂා කිරීමේදී ඉන්දියාගෝ 6E848 දරන ගුවන් යානය ඔස්සේ අහමදාබාද්වලට පැමිණ ඇති බවට තහවුරු කර ගැනිණි.

මෙම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් සිව්දෙනා මෙකී ආගමික අන්තවාදය සඳහා තල්ලු වී ඇත්තේ පාකිස්ථානයේ අබු නැමැති පුද්ගලයකු හරහා බවය. ඔහුව සැකකරුවන්ට හමුවී ඇත්තේ පෙබරවාරි මාසය තුළදීය. ඔහු ශ්‍රී ලංකාවේ ජීවත් වී පාකිස්ථානයට ගිය අයකු බවට අනාවරණය වී තිබේ. මෙම සැකකරුවන් සමඟ එක්වූ මෙකී අබු නැමැත්තා සමාජ ජාලා ඔස්සේ ඇතැම් දේශන අසා මෙම ප්‍රහාරය සැලසුම් කර ඇතැයි කියති. ඉන්දියාව තුළ දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීමටත්, ඒ සඳහා ඔවුන් මරාගෙන මැරෙන පුද්ගලයන් ලෙස යොදාගැනීමටත් දිරිමත් කර ඇත්තේ මෙකී අබු නැමැති පුද්ගලයා බවට පැවසේ. මේ සඳහා අබු විසින් මෙම සිව්දෙනාට මූලික වශයෙන් රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබාදුන් බවට සැකකරුවන් විසින් පිළිගෙන ඇත. එපමණක් නොව අයි.එස් සංවිධානයට අයත් කොඩියක් ද ඔවුන්ට ලබා දී තිබේ. ඒ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන විට අදාළ කොඩිය ළඟ තබාගන්නා ලෙස දන්වමිනි. එම කොඩිය විමර්ශන නිලධාරින් විසින් එක් සැකකරුවකුගේ බෑගයේ තිබී සොයාගෙන තිබිණි.

එසේම විමර්ශන නිලධාරීන් විසින් සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කර ඇති අතර එහිදී ආයුධ කිහිපයක් සහ අහමදාබාද්වලට ආසන්න නානාචිලෝඩා යන ප්‍රදේශයේ සිතියමක් ද සොයාගෙන තිබිණි. පසුව නැවැතත් ප්‍රශ්න කරන විට අදාළ ගිනිඅවි සඟවා තිබූ ස්ථානය අනාවරණය කරගෙන ඇත. පසුව නානාචිලෝඩා ප්‍රදේශය ත්‍රස්ත විමර්ශන නිලධාරින් විසින් පරීක්ෂා කර ඇති අතර එම ප්‍රදේශයෙන් පාකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝල තුනක් සහ උණ්ඩ 20 ක් සොයාගෙන තිබේ. මෙම ගිනිඅවි ලබා දී ඇත්තේ අබු විසින් බව අනාවරණය වී ඇත. ඒ ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීමේ අරමුණිනි. විශේෂයෙන් මෙම සැකකරුවන් අයි.එස් හිටපු නායක අබු බකාර් බැග් ඩාඩිගේ දේශනවලට ඇබ්බැහි වී සිටි පිරිසක් බව අනාවරණය වී ඇත. කෙසේ වෙතත් අබු සමඟ සියලු කතා බස් සහ තොරතුරු බෙදාගෙන ඇත්තේ තුන්වැනි පාර්ශ්වයකට ළඟා විය නොහැකි ප්‍රොටෝන නැමැති ඊමේල් ක්‍රමයක් මගිනි. එම ඊමේල් පරීක්ෂා කිරීමේදී මොවුන් ක්‍රිස්තියානි ජාතිකයන්ට, යුදෙව් ජාතිකයන්ට, හින්දු ජාතිකයන්ට සහ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන්ට අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතු බවට දැඩි මතයක සිට ඇතැයි අනාවරණය කරගෙන ඇත. මේ නිසා මෙලෙස සැලසුම් සූදානම් කර ඇත්තේ එවැනි ක්‍රියාවකට බව අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් මොවුන් අහමදාබාද් ගුවන් තොටුපළට ප්‍රහාරයක් සූදානම් කර තිබුණු අතර පසුව අනාවරණය වී ඇත්තේ අයි.පී.එල් කණ්ඩායම් කිහිපයක් එම ගුවන් තොටුපළෙන් එහා මෙහා යන බවය. එහෙත් එම කණ්ඩායම් ඉලක්ක කරගෙන සිටියාද යන්න අනාවරණය වී නැත. එහෙත් සැකකරුවන් අහමදාබාද් ගුවන් තොටුපළේ රුඳී සිට ඇත්තේ අබු විසින් ප්‍රහාරයක් සඳහා නියෝග ලබාදෙන තෙක්ය. එසේම මෙහිදී අනාවරණය වූ තවත් සිදුවීමක් වන්නේ අදාළ සැකකරුවන් අතර සිටි එක් සැකකරුවකු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ හිටපු සාමාජිකයකු බවය. එම සංවිධානය මෙරට සහරාන් විසින් නිර්මාණය කළ සංවිධානය වන අතර එය 2019 අප්‍රේල්  21 පාස්කු දින ප්‍රහාරයෙන් පසුව මෙරට තහනම් සංවිධානයක් බවට නම් කෙරිණි. කෙසේ වෙතත් එම සංවිධානය බරපතළ ලෙස ආගමික අන්තවාදය තුළින් ත්‍රස්තවාදය මතු කළ සංවිධානයක් විය.

මෙම සිදුවීමෙන් පසුව ඉන්දියාවේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කර ඇති අතර විශේෂයෙන් එරට මර්මස්ථානවල ආරක්ෂාව වැඩි කර තිබේ. එසේම ඇතැම් ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව ද තර කර ඇතැයි පැවසේ.

මේ අතර එම සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙරට තුළ ද පරීක්ෂණ ආරම්භ  කිරීමට තීරණය කර ඇත. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. එසේම රාජ්‍ය බුද්ධි සේවයද පරීක්ෂණවලට අදාළව මෙහෙයුම් දියත් කර ඇත. කෙසේ වෙතත් මෙම පරීක්ෂණවලින් අනතුරුව මෙයට සම්බන්ධ වූවන් සිටී නම් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට මෙරට තුළද මෙහෙයුම් ක්‍රියාත්මකය. මේ වනවිට අත්අඩංගුවට ගත් සැකකරුවන් රහසිගත ස්ථානයක තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවට ගුජරාට් පොලීසිය සඳහන් කරයි.

I ගයාන් ගාල්ලගේ