2024 මැයි 25 වන සෙනසුරාදා

උතුරු නැගෙනහිරට වෙනම කාදිනල්වරයකු ඉල්ලන යාපනේ පූජකවරු

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 113

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙපළාත සඳහා වෙනම කාදිනල්වරයකු පත් කරන ලෙස එම පළාත්වල පියතුමන් පිරිසක් වතිකානුවෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ කතෝලික ජනතාව ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් පාවා දෙන බවක් තමනට හැඟී යන හෙයින් තමන් මෙම ඉල්ලීම කළ බව යාපනය රදගුරු පදවියේ නාහිමි පතිනාතර් ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා කොළඹ අගරදගුරු හිමිපාණන් සාධාරණය ඉල්ලා සිටීම වරදක් නොවන බවත්, එහෙත් උතුරු නැගෙනහිර යුද්ධයෙන් මියගිය ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට කිසිවකු පෙනී නොසිටින බැවින් තමාට එවැනි ඉල්ලීමක් කිරීමට සිදුවූ බවත් ජෙබරත්නම් පියතුමා ප්‍රකාශ කර තිබිණි. 

“1995 දී යාපනයේ නාවාලියේ ශාන්ත පීතර දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 147 දෙනකු මිය ගොස් 200 දෙනෙකු තුවාල ලැබුවා. ඒ වෙලාවේ මේ පිළිබඳව උතුරු නැගෙනහිර රදගුරුතුමන්ගේ අවධානය යොමු වුණත් දකුණෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. යුද්ධයෙන් පූජකවරුන් සත්දෙනකු සහ කන්‍යා සොහොයුරියන් කිහිප දෙනකු මිය ගියා.‍ 1995 දී මේරි බැස්ටියන් සොහොයුරිය ඇගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කළා. එය කොළඹ මාධ්‍ය වාර්තා කළේ ඇය ඉන්දියාවට යාමට පෙර ප්‍රසිද්ධියේ මරා දැමූ බවයි. යාපනේ කන්‍යා සොහොයුරියන්ගේ මැදිහත්වීමෙන් කොළඹ කන්‍යා සොහොයුරියක් ගරු. මේරි බැස්ටියන්. සොහොයුරිය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් සංවිධානය කළා. දකුණේ රදගුරු හිමිවරුන් පවසා තිබුණේ තමන් මෙම අවස්ථාවට සහභාගි වීමට අකැමැති බවයි. 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් කොළඹ අගරදගුරුතුමා යුක්තිය ඉල්ලා සිටිනවාට අපි විරුද්ධ නැහැ. දකුණේ අය වෙනුවෙන් එලෙස ඉල්ලා සිටින අය දෙමළ ජනතාව ඝාතනය වූ විට දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා නොසිටියේ ඇයි?” යනුවෙන් බවත් ජෙබරත්නම් පියතුමා සඳහන් කර තිබිණි.

උතුරු නැගෙනහිර ඝාතනයට ලක්වූ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවද උතුරු නැගෙනහිර රදගුරුවරුන්  ප්‍රකාශ කර තිබිණි. 

දකුණේ රදගුරුවරුන් එවැන්නක් අනවශ්‍ය යැයි ප්‍රකාශ කර ඇතැයිද වාර්තා විය.

මැදිහත් පාර්ශ්ව සඳහන් කරන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් මෙරට රදගුරු සමුළුවකදී සාකච්ඡා කළ යුතු බවටය. වතිකානයද එවැන්නක් සිදුකරන ලෙසට  උපදෙස් දෙනු ඇතැයි තම විශ්වාසය බවද ඔවුහු පෙන්වා දෙති.

උතුරු නැගෙනහිර පළාත් සඳහා තවත් කාදිනල්වරයෙක් අවශ්‍යද? කිසියම් පිරිසකට එලෙස ඉල්ලීම් කළ හැකිද? යන්න පිළිබඳව අප විමසා සිටියේ ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන්ගෙනි. මේ දිනවල වතිකානයේ සිටින පියතුමා දේශයට මෙලෙස අදහස් දැක්වීය. 

''උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් පූජකවරුන් කාලයක සිටම මෙවැනි දේවල් ඉල්ලුවා. මෙලෙස වතිකානයෙන් කළ ඉල්ලීම නීත්‍යානුකූල නැහැ. එවැනි ඉල්ලීමක් කරන්නේ නම් එය කළ යුත්තේ ලංකාවේ රදගුරු සමුළුවෙනුයි. කිසියම් පියතුමෙක් මේ ආකාරයට ඉල්ලීම් කළාට වතිකානය එය පිළිගන්නේ නැහැ. මෙම ඉල්ලීම රදගුරු සමුළුවෙන් පිළිගන්නෙත් නැහැ. උතුරු නැගෙනහිර පළාත්වල රදගුරුවරුන් පිළිගන්නෙත් නැහැ.

මේ අය කියනවා උතුරු නැගෙනහිරට එක විදිහකටත් දකුණට එක විදිහකටත් සලකනවා කියලා. එහෙම දෙයක් සිදුවෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔවුන් කතා කළ යුත්තේ වතිකානය සමඟ නොවෙයි. රදගුරු සමුළුවේදීයි. දැනට ශ්‍රී ලංකාවේ රදගුරු වසම් 12ක් තිබෙනවා. ඒ රදගුරුවසම්වලට එක් රදගුරුවරයෙක් බැගින් හා කොළඹ රදගුරු වසමට සහයක රදගුරුතුමන්ලා 3 දෙනෙක් සිටිනවා. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්වලට අයත් රදගුරුතුමන්ලාද රදගුරු සමුළුව නියෝජනය කරනවා. මෙවැනි ගැටලුවක් තිබෙනවා නම් රදගුරු සමුළුවේදී ඒ පළාත්වල රදගුරුතුමන්ට අදහස් ප්‍රකාශ කළ හැකියි. එම රදගුරුතුමන්ලා එවැන්නක් කතා කර නැහැ. එහෙම කතා කළා නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකියි.'' යනුවෙන් සඳහන් කළේය.

ජෙබරත්නම් පියතුමා සඳහන් කරන ආකාරයට කතෝලික රදගුරුවරුන් අතර කිසියම් බෙදීමක් නිර්මාණය වෙමින් පවතින බවක් හා දකුණේ රදගුරුවරුන් උතුරු නැගෙනහිර රදගුරුවරුන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බවක් පෙනෙන්නට තිබේ. උතුරු නැගෙනහිර සහ දකුණේ රදගුරුවරුන් අතර කිසියම් විරසකයක් පවතින්නේද යන්න අප ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන්ගෙන් විමසීමු. උන්වහන්සේ සඳහන් කළේ එවැනි කිසිදු විරසකයක් නොමැති බවටය. ''පසුගියදා අපි පාස්කු ප්‍රහාරයේ පස්වැනි වසර සැමරුවා. එයට ලංකාවේ සියලුම රදගුරුවරුන් කටුවපිටිය දේවස්ථානයට පැමිණියා. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එවැනි විරසකයක් තිබේ නම් එතුමන්ලා සියලු දෙනා එදින සහභාගී වෙන්නේ නැහැනේ.'' යනුවෙන් සඳහන් කළේය.

යාපනයේ කන්‍යා සොහොයුරියන්ගේ මැදිහත්වීමෙන් කොළඹ කන්‍යා සොහොයුරියක් ගරු. මේරි බැස්ටියන් සොහොයුරිය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් සංවිධානය කළ බවත් දකුණේ රදගුරු හිමිවරුන් තමන් මෙම අවස්ථාවට සහභාගි වීමට අකමැති බව ප්‍රකාශ කළ බවත් ජෙබරත්නම් පියතුමා කියා තිබිණි. ඒ සම්බන්ධයෙන් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශ කළේ එවැන්නක් සිදු නොවූ බවයි. ''ඔවුන් අපෙන් යමක් ඉල්ලා සිටියොත් අපට හැකි පමණින් එය ඉටුකර දීමට අප කටයුතු කරනවා. කිසි දිනෙක ඔවුන්ගේ ඉල්ලීමක් පැහැර හරින්නේ නැහැ. මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ ජාති භේද ඇති කරන්නට උත්සාහ කරන අයයි. තවමත් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල එල්ටීටීඊයට හිතවත් පූජකතුමන්ලා සිටිනවා. ඔවුන් තමයි මෙවැනි සිදුවීම් නිර්මාණය කරන්නේ. ශ්‍රී ලංකාවට කාදිනල්තුමෙක් ඉන්නවා. එක එක පළාතට තවත් කාදිනල්වරු අවශ්‍ය නැහැ. කිසියම් පිරිසකට ගැටලුවක් තිබේ නම් මුලින්ම කළ යුත්තේ රදගුරු සමුළුවේදී ඒ සම්බන්ධයෙන් කතාබහ කොට විසඳා ගැනීම විනා වතිකානයට ලිපි යැවීම නොවෙයි. ජෙබරත්නම් පියතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් කිසිවක් ප්‍රකාශ කර නැහැ. උන්වහන්සේට ඔවුන්ගේ ඉල්ලීම ගැටලුවක් වෙලා නැහැ. මෙම ඉල්ලීම පියතුමන්ලා පිරිසක් විසින් පෞද්ගලිකව කළ ඉල්ලීමක් විනා නීත්‍යානුකූල ඉල්ලීමක් නොවෙයි. කතෝලික සභාව තුළ විශාල එකමුතුකමක් තිබෙනවා. ඇතැම් පිරිස් තමන් කැපී පෙනීම සඳහාත් මෙවැනි ක්‍රියා සිදු කරනවා. පාප්වහන්සේගෙන් මෙවැන්නක් පෞද්ගලික මට්ටමින් ඉල්ලා සිටිය නොහැකියි. එවැන්නක් කරනවා නම් එය රදගුරු සමුළුව තුළින් කළ යුතුයි. එසේ නොමැති නම් එම ප්‍රදේශයන්හි රදගුරුතුමන් විසින් වතිකානයට එවැනි ඉල්ලීමක් කළ යුතුයි.'' යනුවෙන් ප්‍රකාශ කළේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා