2024 මැයි 25 වන සෙනසුරාදා

ඉල්ලන තරමට පඩි වැඩි කරන්න පුළුවන්ද?

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

මේ දිනවල සමස්ත දිවයින පුරාම සේවක නොසන්සුන්තාවක් උද්ගතව තිබේ. එයට හේතුව සේවක උද්ඝෝෂණ පටන් ගැනීමය. විධායක නිලධාරීන්ගෙන් ආරම්භ වී සුළු සේවකයන් දක්වා මෙම රුල්ල මේ වනවිට පැතිර ගොස් හමාරය. දිනෙන් දින එයට තවත් අංශ එකතු වීම හැරුණුවිට ඉවත් වීමක් සිදුවන බවක් දක්නට නැත.

මෙම සේවක නැගිටීමට ප්‍රධාන හේතුව වැටුප් සහ දීමනා ඉහළ නංවා ගැනීමය. සේවකයන් තම ඉල්ලීම්වලට වෙනත් පොදු ඉල්ලීම් එකතු කර තිබුණද, ප්‍රමුඛතම ඉල්ලීම වැටුප් වැඩිකර ගැනීමය. ආණ්ඩුව එම ඉල්ලීම ඉටු කළා නම් සෙසු ඉල්ලීම් සියල්ල අමතක කර ඔවුන් නිසි පරිදි රාජකාරියට වාර්තා කරනවා ඇත.

එහෙත් රජයට මේ බොහෝ ශ්‍රේණිවල සේවකයන් ඉල්ලන තරමට වැටුප් සහ දීමනා ඉහළ දැමීම කළ හැකිද යන්න ප්‍රශ්නයකි. පසුගිය අයවැය ලේඛනයෙන් වූ පොරොන්දුව අනුව 2023 ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000ක දීමනාවක් වැටුපට එකතු කළ අතර අප්‍රේල් මස සිට එය දෙගුණ කෙරුණි. මේ හැර විශ්‍රාමිකයන්ගේ වැටුපටද අප්‍රේල් මස සිට රුපියල් 2500ක් එකතු විය. දොස්තරවරුන් රට හැර යාම වැළැක්වීම සඳහා ඔවුන්ට රුපියල් 35,000ක විශේෂ දීමනාවක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කළ අතර ඒ සමඟම කම්කරුවන්ගේ පටන් සියලුම සෞඛ්‍ය සේවකයෝ එම දීමනාව තමන්ට ලබාගැනීම සඳහා වෘත්තිය සටනක නිරත වන්නට පටන්ගෙන සිටිති. සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර ඒවා අසාර්ථක වීම නිසා මේ වනතුරුම වැඩවර්ජන ක්‍රියාමාර්ග පැවැත්වේ.

අනතුරුව විධායක නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සහකාර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් ඇතුළු මෙකී නොකී නිලධාරීහු වැඩවර්ජන සහ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී සිටිති. මේ වනවිට අමාත්‍යවරුන්ට මෙම ගැටලු නිරාකරණය කිරීමට නොහැකිව ඇත්තේ මුදල් වැය වන ඉල්ලීම් දීමට මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ එකඟතාව අවශ්‍ය නිසාය. එහෙත් රටේ ආර්ථික තත්ත්වය අනුව වැටුප් සහ දීමනා ඉහළ නැංවීම වැනි ඉල්ලීම්වලට එකඟ වීමට මුදල් අමාත්‍යාංශයට හැකිවී නැත්තේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කර ගැනීමට නොහැකිවීම නිසාය. අවශ්‍ය මුදල් සොයා ගැනීමට නම් බදු වැඩි කළ යුතුය. සහනාධාර කපා හැරිය යුතුය. එවිට එක් කොටසකට සහන සැලසීමට ගොස් විශාල ජන කොටසක් අමාරුවේ දැමීමක් වෙයි.

ඉල්ලන හැටියට වැටුප් වැඩි කිරීමට ගියහොත් එහි අවසානයක් නැත. එක් සේවක කණ්ඩායමකගේ ඉල්ලීම් දුන් විට සෙසු අයද ඉල්ලති. පෝලිමට තවත් අය එකතු වෙති. සේවකයන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලන්නේ ලබන වැටුපෙන් ජීවත් වීමට අපහසු නිසාය. එයට හේතුව භාණ්ඩ හා සේවාවල මිල නොසෑහෙන ලෙස ඉහළ ගොස් තිබීමය. ඒ නිසා රජයට කුමන ක්‍රමයකින් හෝ භාණ්ඩ මිල අඩු කළ හැකි නම් සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස කරන ඉල්ලීම්වල සැර බාල වෙනවා ඇත. මිල අඩු කිරීමෙන් සේවකයන් මෙන්ම පොදු මහජනතාවටද සහනයක් සැලසේ. මෙය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මැරීම වැනි ක්‍රියාවකි. බදු හොරුන්ට සහන දෙමින් තව තවත් බදු වැඩි කිරීම ඉතාම අසාධාරණය. දැනටමත් බදු ඉහළ දැමීම නිසා අසහනයට පත්ව සිටින පොදු ජනතාවට තවත් බදු පැටවීම අපරාධයකි.

මේ නිසා සේවක ගැටලු ලිහීමට වැටුප් වැඩි කරනවාට වඩා නිෂ්පාදනය ඉහළ නංවා භාණ්ඩ මිල පහළ දැමීමේ ක්‍රියාමාර්ගයකට යොමුවීම සුදුසුම විකල්පය බව මැදහත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එහෙත් ඒ සඳහා කිසිදු විසඳුමකට රජය ඉදිරිපත් වන පාටක් පෙනෙන්නට නැත. බඩු මිල අඩු කිරීමට යැයි රජය යම් යම් පියවර ගත්තද එම වාසිය අතරමැදියන් කොල්ලකනවා විනා සේවකයන්ට හෝ පොදු ජනතාවට ලැබෙන්නේ නැත. ඒ නිසා කෙසේ හෝ භාණ්ඩ හා සේවා මිල පහළ දැමීමට විධිමත් පියවර ගත හැකි නම් මෙම සේවක ගැටලු නිවාරණය කිරීමට එය මහෝපකාරී වෙනවා ඇත.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්ගෙන් වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම්වල දිගටම නිරත වී සිටීම සාධාරණද යන්න විමසූ විට ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

''අපේ ඉල්ලීම වන්නේ වැටුප් වැඩි කිරීමට නොව වැටුප් විෂමතාවලට පිළියම් යෙදීමයි. ගුරු හා විදුහල්පති ශ්‍රේණි අතර නිවැරදි කළ යුතු වැටුප් විෂමතාවන් තියෙනවා. එය නිවැරදි කළ යුතු වෙනවා. දැන් තිබෙන ජීවන වියදම අනුව ගුරුවරුන්ට ජීවත් වන්නට ඉතාම අමාරුයි. ආණ්ඩුව බලයට පත් වූ දා සිටම සියලු දේවල මිල වැඩි කළා. එයට අනුපාතිකව සේවක වැටුප් වැඩි වූයේ නැහැ. භාණ්ඩවල මිල එකවරම විශාල ලෙස වැඩි කරලා පසුව සුළු වශයෙන් අඩු කරලා මිල අඩු කළාය කියලා බොරුවට කෑගහනවා. දැන් බලන්න ගෑස් සිලින්ඩරේ තිබුණේ කීයටද? වැඩි කළේ කොහොමද? දැන් අඩු කළේ කීයක්ද? කියලා. අනිත් හැමදේම එහෙමයි. මේක හුදු රඟපෑමක් විතරයි. ඇත්ත වශයෙන් බඩු මිල පෙර තිබූ තත්ත්වයට පහළ දැම්මොත් අද තියෙන වැටුප් වැඩි කරන ඉල්ලීම් බොහෝ දුරට අඩුවෙන්න පුළුවන්. නමුත් බඩු මිල අඩුවෙයි කියන එක සිහිනයක් පමණයි.

අනිත් අතට අපේ එකම ඉල්ලීම වැටුප් විෂමතාව නැති කිරීමට නොවෙයි. පාසල් උපකරණවල මිල අඩු කිරීම, විවිධ ක්‍රමවලින් දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීම නැවැත්වීම, අධ්‍යාපනය සඳහා වෙනත් දියුණු රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් පමණ වෙන් කරනවා. එය තමා ලෝක සම්මතය. ඒත් අපේ රටේ ඒ ප්‍රමාණය සියයට 1.2ටත් වඩා පහළ මට්ටමකයි තියෙන්නේ. රජයෙන් දෙන ප්‍රතිපාදන කපා හැරලා දෙමාපියන්ගෙන් තමා යැපෙන්න උත්සාහ කරන්නේ. අද ආර්ථික තත්ත්වය අනුව ඔවුන් කොතරම් අමාරුවෙන්ද ජීවත් වෙන්නේ? නිදහස් අධ්‍යාපනය යැයි බෝඩ් ගහලා ආණ්ඩුව හදන්නේ දෙමාපියන්ගෙන් අධ්‍යාපන වියදම් පියවා ගැනීමටයි. ඒක හරිම අසාධාරණයි. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට කටයුතු කරන්නේ නැහැ.

මෙම තත්ත්වය නිවැරදි කර ගැනීම සඳහා ගුරුවරුන් දිගින් දිගටම වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙනවා. අද ගන්නා වෘත්තිය ක්‍රියාමාර්ගවලින් ප්‍රතිඵලයක් නොලැබුණහොත් අනාගතයේදී ඒවා තවදුරටත් තීව්‍ර කරනවා.''

සම්මානිත ආර්ථික විද්‍යා මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ සේවක වැටුප් සහ දීමනා ඉල්ලන තරමට ලබා දී ඔවුන් සතුටු කිරීමට කිසිදු රජයකට නොහැකි බවය. වැටුප් වැඩි කිරීමට යාමෙන් සේවක වැටුප් ව්‍යුහය වෙනස් වී අවුල් සහගත තත්ත්වයක් ඇතිවන බව ඔහු කියයි.

''බඩු මිල වේගයෙන් ඉහළ යාමෙන් උද්ධමනය ඉහළ නගිනවා 2022 වසර වනවිට සියයට 56 පමණ තිබූ උද්ධමනය මේ වනවිට සියයට 4-5 බවට පත්වෙලා තියෙනවා. එහෙම නම් බඩු මිල අඩුවිය යුතුය. ඒත් උද්ධමන වේගය පහළ යන තැටියට බඩු මිල පහළ ගිහිල්ලයි අපට කියන්න බැහැ. තවත් බඩු මිල අඩුවෙන්න නම් උද්ධමනය සෘණ විය යුතුයි. එහෙත් ප්‍රායෝගික වශයෙන් උද්ධමනය සෘණ වේ යැයි බලාපොරොත්තු විය නොහැකියි. 2021 වසරේ සිට 2023 වසර වන විට පවුලක මාසික වියදම රුපියල් 91,000 සිට 1,76,000 දක්වා ඉහළ ගොස් තියෙනවා. මෙය හරියට එකට එකකට කිට්ටුවන ප්‍රමාණයක්.

අද වනවිට 360ට තිබූ එක්සත් ජනපද ඩොලරයේ රුපියල් අහස 300 දක්වා පහළ වැටී තියෙනවා. එහෙම වුණත් උද්ධමනය සෘණ වෙන්නට තරම් සමස්ත ලෙස භාණ්ඩ සහ සේවා මිල පහළ යාමක් දක්නට බැහැ. බඩු මිල අඩු කරන්න නම් නිෂ්පාදනය වැඩි කළ යුතුය යන්න පිළිබඳ තර්කයක් නැහැ. ඒත් ඒ සඳහා වෙළෙඳපොළ තරගයක් ඇති කළ යුතු වෙනවා. වෙළෙඳපොළ තරගයක් ඇති කිරීමට නම් නිරායාසයෙන් වෙළෙඳපොළ තුළට භාණ්ඩ ගලා ආ යුතුයි. ඒ සඳහා ප්‍රධානතම විකල්පය වන්නේ ආයාත නිදහස් කිරීමයි. අද වනවිට විවිධ ආනයන සීමාවල් පනවනවා. ඕනෑ කෙනකුට භාණ්ඩ ආනයනය කිරීමට නිදහස දිය යුතුයි. එසේම ආනයන බදු පහළ පොලිය යුතුයි. එවිට බොහෝ දෙනකු භාණ්ඩ ආනයනය කිරීම නිසා වෙළෙඳපොළ තරගකාරීත්වය ඉහළ යාමෙන් භාණ්ඩ මිල පහළට එනවා.

එහෙත් මෙහිදී ගැටලුවක් උද්ගත වෙනවා. අසීමාන්තික ලෙස ආයාත නිදහස් කළහොත් එය දේශීය නිෂ්පාදනයට පහරක් යනුවෙන් චෝදනා ඉදිරිපත් වෙනවා. එහෙත් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරනවා යැයි ආනයන අවම කිරීමෙන් වෙන්නේ භාණ්ඩ මිල ඉහළ යාමයි. අර්තාපල් වගාව මෙයට හොඳ උදාහරණයක් සපයනවා. අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට එන කාලයේ ගොවියාට සහන සලසන්න යැයි ආනයන සීමා කරනවා. ආනයන අර්තාපල්වලට බදු පනවනවා. එවිට රටේ අර්තාපල් මිල ඉහළ ගොස් ගොවියන්ට සහනයක් සැලසෙනවා. එහෙත් මෙහි විකල්ප ප්‍රතිඵලය වන්නේ මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයාට අසාධාරණයක් වීමයි. මෙය දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. කොයි පැත්ත පාවිච්චි කළත් කොටසකට අසාධාරණයක් සිදුවෙනවා. අපේ රටේ ආයාත සීමා වැඩියි. බදු වැඩියි. වෙළෙඳපොළ තරගකාරීත්වයක් නැහැ. ඒ නිසයි මිල වැඩි වෙන්නේ. ජීවන වියදම වැඩි වූ කල රජයට ජනතාවට සහන දෙන්න වෙනවා. සේවක වැටුප් වැඩි කරන්න සිදුවෙනවා. මෙය සැමදාම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මගේ පෞද්ගලික අදහස නම් මිල අඩු කිරීම සඳහා ආයාත නිදහස් කළ යුතු බවයි. දැන් ඇති බැරියර් ඉවත් කළ යුතුයි. සියල්ල නිදහස් කිරීම සුදුසුයි.

ඒ අතරම දේශීය නිෂ්පාදකයා දිරිමත් කළ යුතුයි. ඔහුට අඩු මිලට නිෂ්පාදනය කිරීමට සහන සැලසිය යුතු වෙනවා. මෙහිදී තරගයට මුහුණ දිය හැකි නිෂ්පාදකයන් ඉතිරිවෙලා බැරි අය නිෂ්පාදනය අතහැර දමාවි. ඒ අය විකල්ප ආදායම් මාර්ගවලට මාරු වේවි. එහෙම නැතුව සහන දෙමින් තියාගන්න බැහැ. එය රජයට බරක්. මිල වැඩිවීම ජනතාවට බරක්. මෙහිදී රුවුලයි කැඳයි දෙකම බේරාගන්න බැහැ. රුවුල නම් රුවුල. කැඳ නම් කැඳ.

භාණ්ඩ සහ සේවා මිල ඉහළ යන විට එයට මුහුණ දීමට ජනතාවගේ ආදායම වැඩි කළ යුතුයි. නිෂ්පාදන ඵලදායිතාවය වැඩි විය යුතුයි. මෙහිදී අලුත් අලුත් ආයෝජනවලට පහසුකම් සැලසීම වැදගත්. ආයෝජන දිරිමත් කළ යුතුව තිබියදී අප කරන්නේ ආයෝජකයන් අධෛර්යමත් කිරීමක්. අපි විවිධ නීති හදාගෙන ආයෝජකයන් ආපසු හරවා යවනවා. ඒත් ඔවුන්ට ආයෝජනයට පහසුකම් සැලසිය යුතුයි. ඔවුන් රටට සම්පතක් කරගත යුතුයි. විවිධ වංචා දූෂණ නිසා අපේ රටට එන අය වෙනත් රටවලට යනවා. ඔවුන්ට යටිතල පහසුකම් සලසා ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තිබුණත් ආයෝජකයන්ට පහසුකම් ලැබීම ප්‍රශ්නයක්. අද ආයෝජන මණ්ඩලය කටයුතු කරන්නේ ආයෝජකයන්ට ආයෝජන එපා කරවන ලෙසයි. දේශපාලන මැදිහත්වීම් අනන්තයි.

සේවකයන් ඉල්ලන තරම් වැටුප් වැඩි කිරීම ආණ්ඩුවට ප්‍රශ්නයක්. ඒ සඳහා ජාතික ආදායම ප්‍රමාණවත් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි අලුතින් මුදල් මුද්‍රණය කිරීමටද කළ නොහැකියි. එහෙම නම් මුදල් සොයා ගැනීමට බදු වැඩි කළ යුතු වෙනවා. දැනට සියයට 36ක් වූ බදු සීමාව සියයට 50ක් කළ යුතුයි. සියයට 18ක් වූ වැට් බද්ද 25ක් කළ යුතුයි. මෙයින් සිදුවන්නේ සමස්ත ජනතාවම හිරිහැරයට පාත්‍ර වීමයි. සුළු කොටසකට සහන දීමට වැඩි කොටසක් පීඩාවට පත් කරනවා. මෙහිදී සිදුවිය යුත්තේ වැටුප් වැඩි කිරීමට නොව බඩු මිල අඩු කිරීමයි. බඩු මිල අඩු නම් සේවකයන් වැටුප් වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ. සේවකයන් වැටුප් වැඩියෙන් ඉල්ලන්නේ පවතින භාණ්ඩ හා සේවා මිලේ හැටියට ලබන වැටුපෙන් අවශ්‍ය ප්‍රමාණය මිලට ගත නොහැකි නිසයි. බඩු මිල වැඩිවන විට පඩි වැඩි කරනවා නම් එහි අවසානයක් දැකිය නොහැකි වෙනවා. ඒ නිසා ජීවන වියදම අඩු කිරීමට සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා.''

I යසවර්ධන රුද්රිගූ  

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05