2024 මැයි 25 වන සෙනසුරාදා

රාළහාමිලාගේ වර්ජනය

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 93

පසුගිය සතියේ පුවත්පතක් වාර්තා කළේ ග්‍රාම නිලධාරින් රාජකාරියට නොපැමිණීම නිසා පානදුර ප්‍රදේශයේ නිවසක ස්වභාවිකව මියගිය පුද්ගලයකුගේ දේහයක් අවසන් කටයුතු කිරීමට නොහැකිව නිවසේ තබාගෙන සිටි බවය. ග්‍රාම නිලධාරීන්ගේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පසුගිය දිනවල ගම්වල සිදුවන ස්වාභාවික මරණවලට අදාළ රාජකාරි කර ගැනීමට ජනතාවට රෝහල්වලට යෑමට සිදුව තිබුණි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවැති ඉකුත් දින තුන තුළ දිවයින පුරා නිවෙස් තුළ සිදුවූ ස්වාභාවික මරණ 300කට වැඩි සංඛ්‍යාවක් වැඩි වියදමක් දරා එසේ රෝහල්වලට ගෙන යාමට සිදුව තිබේ. ග්‍රාම නිලධාරී සේවයට අදාළව ව්‍යවස්ථාවක් සකස් නොකිරීම, නිල ඇඳුම් සහ අනෙකුත් දීමනා ගැටලු නොවිසඳීම ඇතුළු කරුණු කිහිපයකට විසඳුම් ඉල්ලා මැයි 14, 15, 16 තෙදින වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර මේ වනවිට ඔවුහු අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වෙති. ඊට පෙර පසුගිය 6 හා 7 දිනවල අසනීප නිවාඩු වාර්තා කිරීමක් ද සිදු කළ අතර එයට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ලබන 27 වැනිදා සියලුම ග්‍රාම නිලධාරීන් කොළඹට කැඳවන බව ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති චමින්ද වීරසූරිය සඳහන් කරයි. 

''අපි වෘත්තිය ක්‍රියාමාර්ගයක සිටීම ගැටලුවක් බව අපි දන්නවා. නමුත් කරන්න දෙයක් නෑ. අපිට ජීවත්වීමට සරිලන වැටුපක් නෑ. ඒ නිසා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට සිදුව තිබෙනවා.'' සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ ලේකම් සිරිල් ගුණසේකර සඳහන් කළේය. 

ග්‍රාම නිලධාරින්ගේ වෘත්තිය සංගම් හතරක එකතුවෙන් පිහිටුවාගත් ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරන්නේ 61ක් වසරක් පුරා ඇදෙන නොවිසඳුණු ගැටලු විසඳා ගැනීමට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගත් බවයි. 

''ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවය ස්ථාපිත කිරීම, ඊට අනන්‍ය වැටුප් තලයක් ලබාගැනීම, ඉටුකරන සේවයට සරිලන ලෙස දීමනා වැඩිකර ගැනීම හා රාජ්‍ය සේවය තුළ ග්‍රාම නිලධාරි වෘත්තියට හිමි නිසි තැන ලබාගැනීම'' ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් ලෙස සඳහන්ය. නමුත් බලධාරින් එම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මැයි 17 දා සිට ජූනි 2 දා දක්වා අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට එළඹ තිබේ. මේ නිසා මේ වනවිට ඔවුහු සෙනසුරාදා දින රාජකාරිවලින් බැහැරව සිටින අතර දේශපාලනඥයන් සහභාගි වන රුස්වීම්වලට එක් නොවන අතර අස්වැසුම, උරුමය යන වැඩසටහන්වලින් ඉවත්ව සිටිති. හැඳුනුම්පත් එක්දින සේවයට යොමු කිරීමෙන් ද වැළකී සිටින අතර සවස 4.15න් පසු රාජකාරී නොකරති.

මෙය ජනතාවට මහා ගැටලුවක් මවා ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය නගරයට වඩා පිටිසර ගම්වලට වැඩිපුර දැනෙනු ඇත. ගම් මට්ටමේ සිටින ප්‍රධාන රජයේ නියෝජිතයා වන්නේ ග්‍රාම නිලධාරිවරයා ය. ගැමියන්ට ඔහු හරහා ඉටුකරවා ගත යුතු වැඩ රාජකාරි එමටය. මරණයක් සහතික කරවා ගැනීම මෙන්ම චරිත සහතිකයක් ගැනීමටත් ඔහුගේ සේවය අවශ්‍යය. සමහර ගස් කැපීමට නිර්දේශ කර ගැනීමටත් ග්‍රාම නිලධාරි අවශ්‍යය. මේ ගැන අප සමඟ අදහස් දැක්වූ ග්‍රාම නිලධාරිවරයෙක් මෙසේ පැවසුවේය: 

''දැනට ග්‍රාම නිලධාරිවරයා වැඩ කොච්චර ඉටුකරනවාද? තරග විභාගයකින් තෝරාගත්තත් ග්‍රාම නිලධාරීවරුන් වෙනුවෙන් මෙතෙක් නිශ්චිත රාජකාරී රාමුවක් නෑ. රාජකාරියට අයත් විෂයය පථය විස්තර කරලා සේවා ව්‍යවස්ථාවක් නෑ. කළමනාකරණ සේවයට ව්‍යවස්ථාවක් තිබෙනවා. දැනට කළමනාකරණ සේවයේ තාක්ෂණික නොවන සේවයක් ලෙස නම් කරලා තිබෙනවා. වෙනම ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවක් අවශ්‍යයි. නමුත් ඒක අවුරුදු ගාණක් තිස්සේ ඇදෙමින් බොරු පොරොන්දු දෙමින් සිටිනවා පමණයි. මේ නිසා ආපදා වැඩකටයුතුවලදී සහ මරණ නිදහස් කර ගැනීමේ වැඩවලින් හැර අනෙක් අවස්ථාවලදී අකුරට වැඩ කිරීම සිදු කරනවා.''

මේ ලිපියට කරුණු හොයන්න පැරණි පත්තර පෙරළන විට 2019 දී එවකට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යව සිටි වජිර අබේවර්ධන පැවසූ කතාවක් මට හමුවිය. එහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ මෙසේය:

''අපේ රජය බලයට පත්වූ අවස්ථාවේ දී ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් හදලා දැන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම් වෙන විට ග්‍රාම නිලධාරීන් සේවා ව්‍යවස්ථාවක් ඉල්ලලා වර්ජනය කරන්න හදනවා. අවස්ථාවේ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති කැඳවලා සාකච්ඡා වට ගණනාවක් තියලා ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් හදන්න ආරම්භ කළා. දැන් ඒ කටයුතු අවසන් කරලා තිබෙනවා. ඉදිරි දින කිහිපයේ දී මේ සේවා ව්‍යවස්ථාව අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන්න සියල්ල සූදානම් කරලා තියෙද්දී එක්තරා ග්‍රාම නිලධාරීන් පිරිසක් වැඩ වර්ජනයකට සූදානම් වෙනවා.'' 

2019 දී අන්තිම අදියරේ බව පැවසුණද ඉන් අනතුරුව අවුරුදු පහකට ආසන්න කාලයක් ගතවුණත් සේවා ව්‍යවස්ථාව තවම නැත. එයට වුණු දේ දන්නා කෙනෙක් ද නැත. ආණ්ඩුවට වාසි හදිසි අණ පනත් හොර රහසේ සම්මත කර ගැනීමට දක්වන උනන්දුව සේවයට කැපවුණු වෘත්තියන් පිරිසක් වෙනුවෙන් නොමැතිවීම කනගාටුවකි. 

ග්‍රාම නිලධාරීවරයකු පැය 24ම සේවයේ යෙදී සිටිය යුතුය. සතියේ දින හයක් ඔහුගේ වැඩ කරන දින වේ. සතියට එක් දිනක්, එම දිනයේ රාජකාරී යෙදී නොමැති නම් පමණක් විවේක ගැනීමට පුළුවන.

ග්‍රාම නිලධාරීවරයකු අනිවාර්යයෙන්ම සතියට දින දෙකහමාර තම වසමේ පිහිටි කාර්යාලයේ සේවයේ යෙදී සිටිය යුතු වේ. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දෙදින කාර්යාල වේලාවේදීත්, සෙනසු‍රාදා එක් වරුවකුත් ඔවුන් කාර්යාලයේ සේවය කළ යුතුය. එම දිනවලදී වසමේ පදිංචිකරුවන්ට ග්‍රාම නිලධාරීවරයා හමුවී ඔවුන්ට අවශ්‍ය පදිංචි සහතික, රජයේ වැඩසටහන් සඳහා ලියාපදිංචිය, ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීම මෙන්ම ඔවුන්ගේ වෙනත් අවශ්‍යතා ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.
මෙම රාජකාරීවලට අමතරව විවිධ ආඥා පනත් සහ පනත් හා නීතිවලින්ද ග්‍රාම නිලධාරීවරුන්ට විශාල රාජකාරී ප්‍රමාණයක් පැවරී තිබේ. දැන් සිදුවන අකුරට වැඩ නිසා මේ අමතර රාජකාරි කිසිවක් ඔවුන් ඉටු නොකරන අතර එහි පාඩුව ජනතාවට දරා ගැනීමට සිදුව තිබේ.

ගමකට සිටින රජයේ නිලධාරි තනතුර අනුරාධපුර මුල් යුගයේ පවා පැවති බව ගමික යන නිලධාරියකු ගැන සෙල්ලිපිවල සඳහන් වීමෙන් පැහැදිලි වේ. ආදායම් රුස් කිරීම, ආරවුල් විසඳීම, නීතිය ක්‍රියාත්මක කිරීම වැනි බලතල ඔවුන්ට හිමිව තිබුණි.
ඉංග්‍රීසි යටත්විජිත පාලන කාලයේ දී ශ්‍රී ලංකාවේ සිවිල් පරිපාලනය විධිමත්ව ගොඩනැගේ. ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරින් දිස්ත්‍රික්කවලට පත් කිරීම එකල සිදුවිය. පසුව එය දිසාපති වී දැන් ප්‍රාදේශීය ලේකම් බවට වෙනස් වී තිබේ. ගම සහ ප්‍රාදේශීය ලේකම් යා කරන පුරුක වන්නේ ග්‍රාම නිලධාරිය. ඉංග්‍රීසි යුගයේ ඒ තනතුර  “ගම්මුලාදෑනි” නම් ගරුකටයුතු තනතුරක් විය. 

ගම්මුලාදෑනි තනතුර බොහෝවිට හිමිවුණේ පවුලේ උරුමය මතය. ගමේ ගැටුම් විසඳීමට මැදිහත් වීම, ගමේ තොරතුරු සහ ප්‍රශ්න ප්‍රාදේශීය ආදායම් නිලධාරියාට තොරතුරු රපෝර්තු කිරීම මෙන්ම ඉහළින් එන නියෝග පිළිබඳව ජනතාව දැනුවත් කර ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම ගම්මුලාදෑනියාට හිමිව තිබුණි. එකල ගම්මුලාදෑනියා ඒකාධිපති ආකාරයෙන් නූගත් ගැමියන් රවටා වැඩ කළ ආකාරය අපට අසන්නට ලැබේ. 

එසේ පරම්පරාවෙන් පරම්පරාවට හිමිවුණු ගම්මුලාදෑනි තනතුර වෙනුවට තරග විභාගයකින් බඳවා ගන්නා රාජ්‍ය නිලධාරියකු "ග්‍රාමසේවක" නමින් ආරම්භ වුණේ 1964 වසරේ දී ය. ඔවුන්ගේ රාජකාරී ආරම්භ වූ නිල දිනය වශයෙන් සැලකෙන්නේ 1963 මැයි 01 දා ය. ආරම්භයේ දී රට පුරාම ග්‍රාම නිලධාරී වසම් 4000කට බෙදා තිබුණි. අද වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 333ක් යටතේ ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 14,022 කි. ‘ග්‍රාම සේවක’ නමින් ආරම්භ වූ මේ තනතුර, පසුව ‘ග්‍රාම සේවා නිලධාරී’ ලෙස වෙනස් කළ අතර දැන් එය 'ග්‍රාම නිලධාරී' නමින් හැඳින්වේ. හැඳින්වීම වෙනස් වුවද රාජකාරියට සීමා මායිම් නැතිවුවද සේවා ව්‍යවස්ථාවක් ලිඛිතව නැතිවීමත් එක්තරා දේශපාලන වාසියකි. එවිට දේශපාලන වාසි තකා කරන වැඩ පවා ග්‍රාම නිලධාරිට බාරදීමට දේශපාලනඥයන්ට පුළුවන.

“සාම නිලධාරියා” ලෙස ද ඔහු හැඳින්වේ. පොලිස් නිලධරයන්ට අමතරව පොලිස් කාර්යය ඉටු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ලියවිල්ලකින් පත් කරන ග්‍රාම සේවා නිලධාරී ද ඇතුළත් වේ. මේ නිසා වසමේ සුළු ආරවුල් විසඳීම මෙන්ම අදාළ පුද්ගලයන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට යොමුකිරීමේ බලය ද ඔහු සතුය. 

I කුසුම්සිරි විජයවර්ධන