2024 මැයි 25 වන සෙනසුරාදා

වර්ෂාව තවදුරටත්...

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා  ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින මෙම වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මේ අනුව එම පළාත්වල හා ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. සියයට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකිය. එමෙන්ම උතුර සහ උතුරුමැද පළාත්වලද විටින් විට වැසි වාර ඇතිවිය හැකිය. දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් හතළිහක පනහක පමණ තද සුළං ද ඇතිවිය හැකිය. ඇතැම් අවස්ථාවන්හිදී ඊට වැඩි තද තාවකාලික සුළං තත්ත්වයක් ඇතිවිය හැකිය.

මීට දින කිහිපයකට පෙර ගාල්ල ඉමදූව ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයකු යටවීම හේතුවෙන් මෙහි පළමු මරණය වාර්තා විය. එතැන් සිට මේ වනවිට අයහපත් කාලගුණය හේතුවෙන් මරණ හයක් වාර්තා වී ඇත. දින කිහිපයක් පුරාවට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු නාවික, ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පවතින අධික වර්ෂාවත් සමඟ වැඩිම බලපෑමක් සිදුවී තිබුණේ පුත්තලම් දිස්ත්‍රික්කයටය. දිවයින පුරා පවතින මෙම වර්ෂාවත් සමඟ ජනතාවගේ දෛනික ගමන් කෙරෙහි දැඩි  බලපෑමක් සිදුවිය. මේ හේතුවෙන් මහා මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද දැකගත හැකි විය. විශේෂයෙන් මේ දිනවල උදෑසන සහ සවස් භාගයේදී පවතින වර්ෂාවත් සමඟ රුකීරක්ෂා සහ පාසල් යන පිරිස් දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ අත්තනගලු ඔය, කළු, ගිං, නිල්වලා යන ගංගාවල මේ වන විටත් ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ. ගස් සහ අතු මාර්ගවලට කඩා වැටීමත් සමඟ ඇතැම් මහා මාර්ගවල ඇත්තේ දැඩි රථවාහන තදබදයකි.

“ගසක් කඩා වැටීම නිසා පාසලක දරුවන් කිහිප දෙනකු තුවාල වෙලා තියෙනවා. මේ නිසාම මේ තත්ත්වය ගැන අපි දැඩි අවධානයක් යොමු කරනවා. පාසල් ආශ්‍රිතව තියෙන අවදානම් සහිත ගස් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමටත් ඒවා අවදානම් නම් කඩිනමින් ඒවා  ඉවත් කිරීමටත් තීන්දු කරලා තියෙනවා." යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

වර්ෂාවත් සමඟ දිවයිනේ ජලාශවල ජල මට්ටම්ද ඉහළ යමින් පවතී. රාජාංගන ජලාශයේ මේ වන විට වාන් දොරටු හයක් විවෘත කර ඇත. අංගමුව ජලාශයේ ඇති වාන් ජලාශ දෙකද විවෘත කොට ඇත. මෙලෙස ජලාශ විවෘත වීමත් සමඟ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.

මේ අතර මුහුද රළුවීමත් සමඟ හලාවත පිහිටා ඇති ඉස්සන් අභිජනනාගාරය රැකගැනීමට ජනතාව ගල් වැටි යොදා ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ පවතින කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල, ගාල්ල, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, මහනුවර, දිස්ත්‍රික්ක නවය සඳහා නාය යෑම් අනතුරු ඇගයීම් නිවේදනය නිකුත් කර ඇති බවය. මේ වන විට මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක එකොළහක ජීවත් වන පුද්ගලයන් තිස්පන් දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.

I දිශානි ජයමාලි කරුණාරත්න