2024 මැයි 25 වන සෙනසුරාදා

ව්‍යාපාර ලියාපදිංචිය කරන්නේ කොහොමද?

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 519

ව්‍යාපාර ආරම්භ කරන්නට සූදානම් වන පිරිස් වගේම දැනටත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කර ඇති පිරිස් සිය ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී විවිධ නෛතික ගැටලු වලට මුහුණ දෙයි. ඒ බොහොමයකට හේතු වී ඇත්තේ මෙම ක්‍රියාවලිය පිළිබඳ ඔවුන් තුළ වන අනවබෝධයයි. ඒ අනුව අද වඩාත් සවිස්තරව ව්‍යාපාරය ස්වභාවය සහ ලියාපදිංචිය පිළිබඳ නෛතික පැහැදිලි කිරීමක් අපි ඔබ වෙත ඉදිරිපත් කරමු.

අප කවුරුත් දන්නා පරිද්දෙන් ව්‍යාපාරික කටයුතු කරගෙන යාම උදෙසා අවශ්‍ය නීතිමය අවසරය ලබාගැනීමට ව්‍යාපාරයක් ලියාපදිංචි කළ යුතුය. දැන්ට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතිමය ව්‍යාපාර වර්ග කිහිපයකි. ඒවාට අදාළ නෛතික අවශ්‍යතාවයන් වෙනස් වේ. එම නිසාම ව්‍යවසායකයින් තම ව්‍යාපාරික කටයුතු වලට ගැලපෙන නෛතික ස්වභාවය තෝරා ගැනීමේදී කරුණු කිහිපයක් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ව්‍යාපාරයේ ව්‍යාපාර කටයුතු ස්වභාවය, ව්‍යාපාර මට්ටම, ව්‍යාපාරික අරමුණු සහ පවත්නා නෛතික ස්වභාවයෙන් මෙහිදී ප්‍රධාන වේ. එසේම සිය වාසි අවාසි පිළිබඳව ද සැලකිලිමත් වීම බැහැර කළ නොහැකිය.

ව්‍යාපාරයේ නීතිමය ස්වභාවය අනුව එම ව්‍යාපාරය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ කොළඹ සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේදී ලියාපදිංචි කිරීමේ හැකියාව පවතී. එහෙත් ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන නෛතික ස්වභාවය අනුව අදාළ ලියාපදිංචි ක්‍රියා පටිපාටිය වෙනස් වේ.

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ මුලික ක්‍රම 03 ක් දැකිය හැක.

• තනි පුද්ගල ව්‍යාපර
• හවුල් ව්‍යාපාර 
• සමාගම්

තනි පුද්ගල ව්‍යාපාර

තනි පුද්ගල ව්‍යාපාරවල ස්වභාවය සැලකීමේදී බොහෝ කුඩා ව්‍යාපාර මෙම ගණයට අයත් වේ. තනිපුද්ගල ව්‍යාපාරයක අයිතිය තනි පුද්ගලයකු සතු වන අතර එය පාලනය කරනු ලබන්නේද එම පුද්ගලයා විසින් වේ. ඒ අනුව ව්‍යාපාරය හිමි තනි පුද්ගලයා ව්‍යාපාරය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, සම්පත් උපයෝගී කරගැනීම, මුදල් සම්පාදනය යනාදි කාර්යයන් ඉටුකරනු ලබයි. සම්බන්ධ සෑම කටයුතු වලදී ව්‍යාපාරයේ තනි අයිතිකරු තීරණ ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව නීතිය හා මහජනතාව ඉදිරියේ තනි පුද්ගල ව්‍යාපාරයක් හා එහි අයිතිකරු දෙදෙනෙක් නොව එක් අයෙක් ලෙස සැලකේ.

තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම

තනිපුද්ගල ව්‍යාපාරයක් එහි අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම අඥාපනය පදනම් කොට ගෙන ව්‍යාපාරය අයක් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය අනුව පළාත් ව්‍යාපාර හා රෙජිස්ටාර් වෙත ලියාපදිංචි කළ යුතුය. ප්‍රායෝගිකව මෙම ලියාපදිංචිය අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරගත හැක.

තනි පුද්ගලය ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය

1) ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ඉල්ලුම්පත්‍රයක් ලබා ගැනීම.
2) අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා වූ වාර්තාව ලබාගැනීම.
3) ඉහත ග්‍රාම නිලධාරී වාර්තාව සහ සම්පුර්ණ කරන ලද ආකෘති පත්‍රය, ලියාපදිංචියට අදාළ ගාස්තු ද සමඟ ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම.
4) ප්‍රාදේශීය ලේකම් ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කිරීම.

හවුල් ව්‍යාපාර

1890 හවුල් ව්‍යාපාර අඥාපනතේ 11 වැනි වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයක් යනු ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සබඳතාවයක් ලෙස හැඳින්වේ.

හවුල් ව්‍යාපාරවල ස්වභාවය සැලකීමේදී ව්‍යාපාරයේ අයිතිය හවුල්කරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර බෙදි යයි. එසේම ඔවුන් හවුල්කරුවන් ලෙස හඳුන්වනු ලැබේ. තවද ව්‍යාපාරයේ හවුල්කරුවන් සහ ව්‍යාපාර වෙන්කර හඳුනාගැනීමක් නීතිය ඉදිරියේ සිදු නොවේ. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් පහත කරුණු සම්බන්ධයෙන් නීතිමය එකභාවයන් වෙනුවෙන් ලිඛිත ගිවිසුමකට එළඹීම වැදගත් වේ.

• එක් එක් හවුල්කරුට ව්‍යාපාරයේ හිමි කොටස
• එක් එක් හවුල්කරුවාට හිමි ලාභාංග කොටස.
• ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට එක් එක් හවුල්කරුවාගේ දායකත්වය දක්වනු ලබන ආකාරය හවුල්කරුවකු ව්‍යාපාරයට යොදන ප්‍රාග්ධන කොටස්, කාලය, විශේෂඥතා දැනුම.
• ව්‍යාපාරය කරගෙන යාමේදී පැනනගින ගැටළු විසදා ගැනීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග.
• හවුල්කරුවන් ඉවත් කිරීම, නව හවුල්කරුවන් සිඳවා ගැනීම හා ඉල්ලා අස්වීම වැනි තත්ත්වයන්හිදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග.
•  හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නොමැති විටක හෝ ගිවිසුමේ සඳහන් නොවූ කරුණක් සම්බන්ධයෙන් ගැටළුවක් මතු වූ අවස්ථාවක 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව කටයුතු කළ යුතු වේ.

හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම

හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය තනි පුද්ගල ව්‍යාපාරයක අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය හා සමාන වේ.

ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් නීතිමය අවශ්‍යතා 1852 අංක 05 දරන සිවිල් නීති ආඥා පනත් 03 වන වගන්තියේ සඳහන් වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාර පිළිබඳ නීතිරීති කිහිපයක් පහතින් දැක්විය හැක.

• ව්‍යාපාර නාම ආඥා පනත 1918 අංක 06 දරණ ව්‍යාපාර නාම ආඥා පනත හවුල් ව්‍යාපාරයක ලියාපදිංචිය සඳහා අදාළ වේ. යම් හවුල්ව්‍යාපාරයක් හවුල්කරුවන්ගේ සත්‍ය සම්පුර්ණ නමින් පවත්වා ගෙන නොයන විට මෙම පනත එමඟින් ලියාපදිංචි කළ යුතු වේ.
• 2007 අංක 07 දරන සමාගම් පනතේ 519 වැනි වගන්තිය අනුව හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව තීරණය කරනු ලබයි. එම සංඛ්‍යාව 20ට සීමා කිරීම.
• 1840 අංක 07 දරන වංචා වැලැක්වීම ආඥා පනතේ 18 වැනි වගන්තිය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රු. 1000/- ක් සහ ඊට වඩා වැඩි අවස්ථාවලදී එම හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් සිත ආරම්භ කළ යුතු බව දැක්වේ.

සමාගම් සංස්ථාගක කිරීම

සංස්ථාපිත සමාගමක් යනු සමාගමේ ව්‍යවස්ථාවලියෙන් කොටස්වලට නිශ්චිත ලෙස සම්බන්ධ කර ඇති යම් ආයතනයකි.  සමාගම සංස්ථාගත කිරීම හා පාලනය සිදුවන්නේ සමාගම්පනතට අනුකූලවය. වර්තමානයේ 2007 අංක 07 දරන සමාගම්පනතට අනුව සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ සමාගම් රෙජිස්ටාර්වරයා වෙත සිදුකළ යුතුය.

සමාගම් සම්බන්ධ නිශ්චිත පැහැදිලි කිරීමක් ඇති අතර ලියාපදිංචිය කෙරෙහිද නෛතික මැදිහත්වීමක් අවශ්‍ය වේ. එය පෙර ව්‍යාපාර ලියාපදිංචියට වඩා සංකීර්ණ තත්ත්වයක. ඉදිරි අවස්ථාවකදී අප විස්තර සහිතව සංස්ථාපිත සමාගමක් නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳ කතා කරමු.

ව්‍යාපාර ලෝකයට අත්පොත් තබන්නට බලා සිටින හා දැනටමත් ව්‍යාපාර ලෝකයේ මුල් පියවරේ සිටින ව්‍යවසායකයන් හට ඉහත තොරතුරු අතිශය වැදගත් වනු ඇත. ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රසකින්ම මෙය හා සම්බන්ධ දැනුම ලබා ගැනීමේ හැකියා පවතී. වැඩි විස්තර සඳහා ඔබට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම විෂය භාරව සිටින නිලධාරියා හමුවීම වඩාත් උචිතය.