අහසත් සිපගනී යැයි සිතෙන මහා ගස් ඒ මඟ දෙපසය. එහෙයින්ම හාත්පස අෙතාරක් නැතුව වැතිර ඇත්තේ දැනෙන නොදැනෙන අමුතු කළුවරකි. ඒ කළුවර මට කතා කරයි. නිහැඬියාවක වෙලී ඒ ගුප්ත සෞන්දර්ය විඳින්නට මම රිසි වෙමි. වසාගන් දොර ප්‍රේමණීයම මතකයක උදෑසන දම් පාට හැන්දෑවකට අඬගසයි. ඉඳින් කළු වළාවක් ඈත දිස්වෙන මොහොතක අක්කර 300ක් පමණ මහ කැලෑවක් වෙසින් දිස්වෙන ඒ බිම තෙමාලන්නට සපැමිණෙන්නේ අසෙනි වැස්සකි. ඒ වැහි බින්දු දිගේ ඈත ඈත ඉතිහාසයක් ශේෂ කළ මිටියාවත් තුළ රහසේම ඇවිද යන්නට මට සිත් වේ.
යොදුන් ගණන් දුර පසුකර ආ මඟ ගෙවූ ඉනික්බිති දෑස් මානයේ සිත්තම් වූයේ අක්කර 58ක භූමියක් පුරා විහිද ගිය පූජා භූමියක තවමත් වර්ණ ගැන්වෙමින් තිබූ චිත්‍රයකි. ගංගාරාම නුග දණ්ඩ ඉසිවර සෙවණ නමින් ඒ පුදබිම නම් ලබා ඇති වග ලියන්නට මට අවසරයි. ධාතු මන්දිරයට පා එසවිය හැකි පියගැටපෙළක් මා නෙත් අද්දරය. තවත් පසෙකින් ඉදිවන මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ නමකි. තවත් පසෙකින් ගල් තලාවකි. ඒ ගල් තලාව මතුපිට දිය පිරුණු පොකුණකි. සුදු පාට ඕලු මල් ඒ දියවර සරසා ඇත.
ගිරිහෙල් මුදුනේ
මහනෙල් නොපිපේ
''කීවට මේ පිපෙන්නෙ ගිරිහෙල් මුදුනෙත් අපූරුවට මල්'' ආචාර්ය පල්ලේගම රතනසාර යතිවරයාණන් වහන්සේ එසේ වදාරද්දී ඒ පොකුණ ඉස්මත්තෙහි මම නිදහසේ හිඳ ගත්තෙමි.
''ඔය පොකුණ කවදාවත් හිඳෙන්නෙම නැති තරම්. පෑවිල්ලක හරි හිඳුණොත් ඊට පහුවදාට වැහැලා ඔය පොකුණ පිරෙනවා'' සුනිල දිය සහ පිපුණු ඕලු මලින් කිසිදා හිස් නොවන ඒ පොකුණ වැතිරගත් ගල් තලාවක හදගැස්ම විනිවිද ඒ ගැඹුරේ ගලා යන දිය සීරාවක හඬ දෙනෙත් පියාගත් කල්හි ඇසෙන නෑසෙන තරම්ය. ඉන් ඔබ්බේද විහිද ගිය ගල් තලාවකි. ඊටත් පහළින් නානා මාදිලියේ දෑ සමන් ආදී පිච්ච යායකි. ඒ සියල්ලට ඉහළින් ශිව දෙවිඳුන් වැඩ හිඳී. ගුප්ත සෞන්දර්යාත්මක චමත්කාරයක් හාත්පස වගුරුවාලන ඒ ශිව සෞන්දර්ය මනසින් මා කැඳවා යන්නේ මහා කෝවිල් භූමියක් වෙතය. ඒ කෝවිල් බිමේ ශිව දෙවිඳුන් හාත්පස තේජස විහිදුවමින් වැඩ හිඳින චිත්‍රයක් ඉසිවර සෙවණ භූමියේ ශිව පිළිරුව දෙස බලා හිඳිද්දී මා හදවතේ ඇඳී යයි. යායම සුවඳවත් වූ සුසුවඳ පිච්ච මල් ධාතු මන්දිරයේ වැඩ හිඳින ධාතුන් වහන්සේලා පාමුල භක්තියෙන් අතුරා දෙවනුව පිච්ච මල් දෝතක් ස්නේහයෙන් පුදන්නට මට සිත් වූයේ ශිව දෙවිඳුන් පාමුලය. දුරාතීතයේ එක්තරා කාල පරිච්ඡේදයක ලංකාදීපයෙහි රාජ තේජස් විහිදී පැතිරී ගිය ස්වර්ණවත් යුග අතීත සන්තකයේ තිබෙන්නට ඇත. එදවස මේ බිම මනරම් පූජා භූමියක් සේ දිලිසෙන්නට ඇත. ඒ අතීතය යළි යාවත්කාලීන වෙමින් ඒ අතීත ශ්‍රී විභූතිය යළි ඉසිවර සෙවණ පුදබිමේ විකසිත වීමේ ඇරඹුම සනිටුහන් කර ඇතැයි සිතෙන තරමට ඒ බිම වචනයෙන් නිර්වචනය කළ නොහැකි ගුප්ත සෞන්දර්යකින් සංයුක්තය.
අක්කර ගණනක් පුරා විහිද ගිය බිමේ පහළින් එක් යායක් පුරා විහිද ඇත්තේ පළතුරු වගාවකි. අඹ, ජම්බු, නෙල්ලි, පේර, දූරියන්, මාදං වැනි මේ පොළොවේ ඵලලන සෑම පළතුරක්ම පාහේ ඒ පොළොවෙහි දක්නට ඇති අතර දුර්ලභ නිල් වෙරළු ශාකයක්ද මුදුන් වී උස් මහත් වෙමින් තිබුණි. තවත් පසෙක දේවදාර ගස් ගොන්නකි. මෝරන තල මල සේම සාරසුබාවට දළුලන, කොළලන, ඵලලන, මල් පූදින යායෙන් යායට විහිද ගිය ඒ පින්බිමේ යතිවරයාණන් වහන්සේලාට නිස්කාංසු සුවයෙන් තත්ත්පර ගෙවා දැමිය හැකි අසපු සංකල්පය සිහිගන්වන නවාතැන් සේම සොම්නස් සිතින් බුදුන් වහන්සේ පුදන්නට දැවැන්ත බුදු පිළිම වහන්සේලාද වඩා හිඳුවා ඇත. ඒ බුදු පිළිම වහන්සේලා පසුබිම්ව කරණීයමෙත්ත සූත්‍රය, රතන සූත්‍රය ආදී සූත්‍ර පසුබිම් වූ කතාන්දර සංකේන්ද්‍රණය කරගත් නෙතට ප්‍රිය වර්ණයෙන් නිමවූ අඩක් ත්‍රිමාණ සිතුවම් පෙළකි. එම ගොඩනැගිල්ලේ ඉහළම තට්ටුවේ වඩා හිඳුවා ඇත්තේ කේෂ ධාතුන් වහන්සේ නමක් හා ධාතුන් වහන්සේලා කිහිප නමකි. එදින උදෑසන පිදූ නැවුම් වූ පිච්ච මල් බුදුන් වහන්සේගේ ශ්‍රීපාද ආකෘතිය මත මෙන්ම බුදු රූ පාමුලද එලෙසමය.
අනන්ත සංසාර යොදුන් ගෙවාහල යුතු දුක් සහිත සංසාර සක්මන නිමා කිරීමේ මඟ කී විමුක්තිදායකයාණන් වහන්සේ සැතපුම් සියදහස් දුර වෙහෙසක් දැනුණත් එයද දරාගෙන බුදු බණ වදාරන්නට ඒ ඈත අතීතයේ ඉන්දියාවේ ගම් නියම් ගම් සිසාරා ශ්‍රී දෙපතුල් තබා ඇවිද යන්නට ඇත. ලෝකයක් දුකින් මුදවාලූ ආත්මාර්ථයෙන් තොර පරාර්ථයේ මුදුන් මල්කඩක් වූ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ අංශුමාත්‍රික ශේෂයකට වුව දොහොත් මුදුන් දී පුදන්නට පේවුණු බැතිබර සිත් ඒ ධාතුන් වහන්සේලා පාමුලද සුවඳවත් මල් අතුරාලයි. මහ පොළොව ස්නේහයෙන් සිඹි උන්වහන්සේගේ ශ්‍රී පතුල් ආකෘතියක් වුව මලින් සරසයි. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ බුදු බණ කේන්ද්‍ර කරගත් පිරිත් ඉසිවර සෙවණ පුදබිමේ හැම තත්ත්පරයකම නින්නාද දෙයි. අහස පසුබිම් කරගත් නිදහස් ඉමක වැඩ හිඳිමින් ශිව දෙවිඳුන් ලෞකිකත්වයේ අපරිමිත අසීමාන්තිකයක මුද්‍රාව සනිටුහන් කරද්දී ඉහළ මහලක වැඩ හිඳින බුදුන් වහන්සේ ලෝකෝත්තර විමුක්තියේ අපරිමිත අනන්තයේ මුද්‍රාව එකම බිමක දෙපසක මුද්‍රා තබන අයුරු ජීවිතය අල්ලා ගැනීම සහ අත්හැරීම පිළිබඳ ගැඹුරු කතාන්දරයක නිහඬ සංධ්වනියක් ජනිත කරයි.
තවත් සත් මසක් ඇවෑමෙන් උදාවෙන වසරේ මැයි මාසය ගෙවෙන්නට පෙරාතුව බුදුන් වහන්සේ සහ ශිව දෙවිඳුන් ප්‍රමුඛ දෙවිවරුන් වෙනුවෙන් ගොඩනැගෙන අලංකාර සුවඳවත් පූජා භූමියක මනරම් වූ සෙවණැලි අව්වේත් වැස්සේත් නිනව්වක් නැතුවම ඉදිවන පූජා භූමිය දෙස බලා හිඳින මේ මොහොතේ සිතෙහි සිත්තම්ය. ධාතු මැඳුරේත් බුදුන් වහන්සේ පාමුලත් දල්වාලන පහන් හා සුවඳ දුම් පූජා කරන කුසුම් විහිදුවන ප්‍රියදායී සුවඳ සේම තැනෙන ශිව කෝවිලෙහි වැඩ හිඳින ශිව දෙවියන්ගේ සෙනසුන අභිමුව බැතියෙන් තබන පිච්ච සහ රෝස මලින්ද වඩා හිඳුවන තවත් දෙවිවරුන් වෙනුවෙන් පිදෙන දාස්පෙතියා මලින් සහ තවත් මලින්ද දල්වාලන පහන්වලින් නික්මෙන ආලෝකයෙන් සහ හඳුන්කූරු සුගන්ධයෙන්ද මේ බිම මනරම් පුදබිමක් බවට පරිවර්තනය කරන චිත්‍රයක් ඇසට දිස්වේ. සොබාදහමේත් බුදු පිරිතේත් ධර්මයේත් දේව අනුහසේත් මහිමයෙන් ගංගාරාම නුග දණ්ඩ ඉසිවර සෙවණ පුදබිම අදත් හෙටත් තවත් කාලාන්තරයක් පුරාවටත් සුරක්ෂිත වනු ඇත. මතු යම් දිනෙක නියත දහමට අවසඟව යා නොහැකි සත්තාව තුළ මේ පුදබිම නටබුන් පමණක් දරා හිඳිනා දවසක් සපැමිණියත් අද සේම ඒ අනුහස මේ පුදබිමෙහි මතක ශේෂ සුරක්ෂිත කරනු ඇත. දැවැන්ත ගස් අතර ඉදිවන භාවනා කුටි තුළ නිස්කාංසු සුවයෙන් භාවනාවේ සුව විඳින යෝගීන් මේ පුදබිම සරා සක්මන් කරමින් විමුක්තියේ ද්වාරයන් දුක නිවාලනු පිණිස විවර කරගනු ඇත. කොළඹ හුණුපිටියේ ගංගාරාමයේ වැඩවෙසෙන නායක හිමිපාණන් වහන්සේ වූ ගල්බොඩ ඥානීස්සර හිමිපාණන් ගිය මඟම යන ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්‌ෙග්ත් ආචාර්ය පල්ලේගම රතනසාර හිමියන්ගේත් මූලිකත්වයෙන් සෑම පොහොය දිනකම දෙනු ලබන දන්සලෙන් බඩගිනි නිවාගනු පිණිස හුලු අතුද දල්වාගෙන පැමිණෙන මහ සෙනඟ වන් සෙනඟක් තවත් කාලාන්තරයක් පුරා මේ බිම භක්තියෙන් අස්වද්දනු පිණිස සපැමිණෙනු ඇත. ඉසිවර සෙවණ පුදබිම කේන්ද්‍ර කර ගනිමින් අවට ගම් දනව් මෝරන තල මල සේම සාරසුබාවට ආධ්‍යාත්මිකවත් භෞතිකවත් අස්වද්දනු ඇත. මේ මොහොතේ ඉසිවර සෙවණ පුදබිම ජනිත කරන සිතුවිලි සමුදාය විහිද යන දිශානතීන් එයාකාරය. ඒ සිතුවිලි ප්‍රාර්ථනාවන් මල් මිටක් කර පුදසුනත් සෙනසුනත් අභිමුව තබමින් මිහි මත මතකයන් පුදබිමෙහිම නිදන් කරමින් හැරී යා යුතු තත්ත්පරය සපැමිණියෙන් පුදබිමෙන් මම සමුගත්තෙමි.
(කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේට සහ ආචාර්ය පල්ලේගම රතනසාර ස්වාමින් වහන්සේට අපගේ ගෞරව පූර්ව ස්තූතිය හිමිවේ.)
I සටහන - සංජීවිකා සමරතුංග
සේයාරූ - සුමුදු හේවාපතිරණ