2024 මැයි 25 වන සෙනසුරාදා

පරිපාලන මහ නගරයලු: හැබැයි හරි හමං බස් නැවතුමක්වත් නෑ!

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 90

ගම් නගර බවට පත්වීමද, නගර මහ නගර බවට පත්වීමද ගෙවී ගිය දශක කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ සුලභව දැක ගැනීමට ලැබුණු තත්වයකි. මේ කතාව එවන්න නගරයක් පිළිබඳවයි. කලක මුළුගැන්වී සිට දැන් රටම කතා කරන නගරයක් බවට පත්ව ඇති මේ නගරය බත්තරමුල්ලයි.

බොහෝ නගර මහ නගර වූයේ කාලයාගේ ඇවෑමෙනි. එනමුත් කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන පැවති රාජ්‍ය පරිපාලන ව්‍යුහය, බත්තරමුල්ල වෙත මාරු කිරීම සිතාමතාම සිදුකරනු ලැබුවේ මෙරට පාලකයන් විසිනි. එහෙත් එය කොතරම් තාක්ෂණික විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදු කළේද යන්න තවදුරටත් රට හමුවී ඉතුරු වී ඇති පැනයකි.

බත්තරමුල්ල පරිපාලන නගරය බවට පත්කිරීමට බලධාරීන් තීන්දු කළේ, කොළඹ නගරය ප්‍රධාන වාණිජ නගරය ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මතය. කොළඹ නගරයට දෛනිකව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇතුළුවීම , නිසිලෙස යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අපහසුතාව , අවිධිමත් නාගරික කරණය ආදී ගැටලු මෙම තීන්දුව පිටුපස සැඟව තිබූ හේතු කාරණා විය. 

දශක හතරකට ආසන්න කාලයක් තුළ විවිධ ආණ්ඩු බත්තරමුල්ල පරිපාලන නගරය ගොඩනැගීමේ සැලසුම ක්‍රියාවට නංවා තිබේ. 1982 දී ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව බත්තරමුල්ල ප‍්‍රදේශයේ ශ‍්‍රී ජයවර්ධනපුර ස්ථාපිත කිරීම ගත් තීරණය සහ අනතුරුව බත්තරමුල්ලේ සෙත්සිරිපාය, ඉසුරුපාය ආදී කාර්යාල සංකීර්ණ ගොඩනැගීමට ගත් තීන්දු මෙම ක්‍රියාවලියේ සංධිස්ථානය අවස්ථාව ලෙස හඳුන්වා දිය හැකිය.

එහෙත් බත්තරමුල්ල විධිමත් පරිපාලන කේන්ද්‍රය කොට කොළඹ නගරයේ ගැටලු විසඳා ගැනීම තවදුරටත් සිදුවී නොමැත. ඉකුත් කාලය තුළ සිදුව ඇත්තේ කොළඹ ගැටලු බත්තරමුල්ලට රුගෙන ඒම පමණකි. බත්තරමුල්ල නගරවාසීන් , බත්තරමුල්ල පරිපාලන ඒකක වල සේවය කරන රාජ්‍ය සේවකයන් , පෞද්ගලික ආයතනවල සේවය කරන්නන් මුහුණ දෙන ගැටලු දිනෙන් දින උග්‍ර වෙමින් පවතී. 

බත්තරමුල්ල පිළිබඳ යෝජනා සාකච්ඡා මෙන්ම සංදර්ශනාත්මක වැඩසටහන්ද ඉකුත් දශකයක දෙකක කාලය තුළ පමණට වඩා සංවිධානය විය. එහෙත් ඒ කිසිවකගෙන් බලපෑම් සහගත ප්‍රතිඵලයක් ලැබුණේ ද යන්න ගැටළුවකි. බත්තරමුල්ල පරිපාලන නගරය සම්බන්ධ ඇතැම් ව්‍යාපෘති මූල්‍ය අර්බුද නිසා ආරම්භ කිරීමට නොහැකි වූ අතර තවත් ව්‍යාපෘති ආණ්ඩු මාරුවීමත් සමග අතහැර දමනු ලැබූ බව ඉතා පැහැදිලි කරුණකි.

උදා වී ඇති වැසි සමයේ බත්තරමුල්ල අවට ප්‍රදේශවල පවතින වැසි ජලය කළමනාකරණය කර ගැනීමේ ගැටළුව ආසන්නතම උදාහරණයක් ලෙස ඉදිරිපත් කළ හැකියි. දියවන්නාව ඉතා ආසන්නයේ තිබුණද බත්තරමුල්ල අවට ප්‍රදේශ රුසක් ඉතා සුළු වර්ෂාවකදී පවා ජලයෙන් යටවීම සාමාන්‍ය තත්වයක් වී තිබේ. මේ හරහා නගරවාසී පදිංචිකරුවෝ බොහෝ විට අපහසුතාවට ලක්වෙති. මේ වන විට වසර කිහිපයක් තුළ මාර්ග නඩත්තුව ද අතහැර දමා ඇති බැවින් මාර්ගද අබලන් වෙමින් පවතී.
මෙවන් ගැටලු කොතරම් අසන්නට දකින්නට ලැබුණද, බත්තරමුල්ල පිළිබඳ පුරාජේරු කියවන බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක ගත නොහැකිය. කොළඹ නගරය හරහා යන පොම්පාගාරය ඉදිකිරීමෙන් පසු මෙම තත්ත්වය කළමනාකරණය වනු ඇතැයි ඇතැම් පාර්ශව සඳහන් කළ බව අපට මතක ඇත. පොම්පාගාර ඉදිකිරීමේ වැඩසටහන පසුගිය දිනවල ක්‍රියාත්මක වූ නමුත් තවදුරටත් මෙම ගැටලුව කළමනාකරණය වී නොමැත.

මේ අතර බත්තරමුල්ල නගරයේ රාජ්‍ය ආයතන විශාල වශයෙන් ස්ථාපිත කිරීමත් සමඟ නිර්මාණය වූ ප්‍රවාහන දුෂ්කරතා පිළිබඳව ද සාකච්ඡා කළ යුතුය. බත්තරමුල්ල නගරය සඳහා තවදුරටත් ප්‍රමාණවත් බස් නැවතුම්පොළක්වත් නොවන බව නීරස සත්‍යකි. ලක්ෂ සංඛ්‍යාත ජනයා නගරය හරහා ගමන් කරන්නේ නගර මධ්‍යයේ තැන තැන නතර වන බස්‍ රථ මගිනි.

ඒ සම්බන්ධ යෝජනා සහ සැලසුම්ද පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මීට වසර කිහිපයක සිටම නිරන්තර ඉදිරිපත් වනු  දුටුවෙමු. " බත්තරමුල්ල නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ බහුවිධ ප්‍රවාහන අංගණයක් සහිත මිශ්‍ර සංවර්ධන ගොඩනැගිල්ල ඉදි කිරීමේ ව්‍යාපෘතිය "එය අතර නිතර කියවුණු ව්‍යාපෘතියකි. ඒත් එම ව්‍යාපෘතිවල ඵලදායිතාව සහ වර්තමාන තත්ත්වය පිළිබඳව සතුටුදායක පුවත් අසන්නට නොලැබේ. තවදුරටත් බත්තරමුල්ලට යන එන පිරිස් විවිධ අපහසුතාවන්ට මුහුණ දෙති. ඒ අතරේම බත්තරමුල්ලට රාජ්‍ය ආයතන රුගෙන යාමේ වැඩපිළිවෙළ නම් නතර වී නොමැත.

මාර්ග තදබදය ද මේ අතරින් ප්‍රමුඛ ගැටලුවක් බව සඳහන් කළ යුතුය. විටෙක බත්තරමුල්ල අවට කාර්යාල කටයුතු අවසන් වන වෙලාවට පවතින තදබදය කොළඹ නගරය තුළ පවා නැත. මෙම තදබදය වළකාලීම සම්බන්ධ පැලැස්තර විසඳුම් ගෙවුණු දශකයක පමණ කාලය තුළ බලධාරීහූ ක්‍රියාත්මක කළහ. රජයේ ඉහළ වට මේස සාකච්ඡාවලදී පමණක් නොව , බත්තරමුල්ලේ කාර්යාලවල කෑම මේස වලදී ද බහුතරයක් රාජ්‍ය සේවකයෝ ද මේ හා සම්බන්ධ සාකච්ඡා කළහ.

බත්තරමුල්ල නගරවාසීන්ට මෙන්ම රාජ්‍ය සේවකයන්ට ද කලක සිහිනයක් වූයේ කඩිනමින් ඉදිකෙරෙන බව කිවූ  මාලබේ - කඩුවෙල සැහැල්ලු දුම්රිය මර්ගයයි. එහෙත් එම සැලසුම් දේශපාලනික අභිමතාර්ථ හා ගැටුම් හමුවේ සඵල නොවුණි. මේ අතර බත්තරමුල්ල කේන්ද්‍ර කර ගනිමින් නව මාර්ග පද්ධති ස්ථාපිත කිරීම සහ විකල්ප මාර්ග නිර්මාණය කිරීම පිළිබඳවද විටින් විට සාකච්ඡා නිර්මාණය විය. ඉන් ඇතැම් ව්‍යාපෘති තරමක් ක්‍රියාත්මක වූ නමුදු කිසිදු ව්‍යාපෘතියක් බලාපොරොත්තු වූ සාර්ථකත්වය කරා ගමන් කර නොමැති බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

අප නිරීක්ෂණය අනුව බත්තරමුල්ලේ අධික මාර්ග තදබදය වළකාලන්නට මං තීරු මාරු කිරීම නිතර නිතර සිදු කරනු ලබන්නකි. සැබවින්ම එය පැහැදිලි විකල්පයක් නොවන බව සඳහන් කළ යුතුය. රටේ පරිපාලන නගරයට ඇතුල්වීම සහ නගරයෙන් පිටවීම මෙතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නොවිය යුතුමය. මන්ද බත්තරමුල්ල වෙත පරිපාලන කේන්ද්‍රය රුගෙන ඒම සිතාමතා සිදුවූවකි. කොළඹ නගරයේ මෙන් බත්තරමුල්ල අවිධිමත්ව නාගරිකකරණය නොවුණේය. අසාර්ථක වුවද ඒවා පාලකයන්ගේම සැලසුම්ය.

බත්තරමුල්ලේ පවතින මාර්ග තදබදය පිළිබඳ සඳහනේ දී  නිතර සංවාදයට ගැනුණු රාජකාරී ආරම්භක සහ අවසන් කරන වෙලාවන්හි වෙනස්කම් සිදුකිරීමද අමතක කළ නොහැකිය. එම බොහෝ සාකච්ඡාද අනෙකුත් සාකච්ඡා මෙන්ම ඵලදායි නොවීය. දැනටත් බත්තරමුල්ල අවට රාජ්‍ය සේවකයෝ බහුතරයක් නිසි වේලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් අපහසුතාවන්ට ලක්වෙති. එසේම රාජකාරී අවසන් කොට නැවත කොළඹ නගරය වෙත ගමන් කිරීමට සහ මරදාන දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීමේදී ද ඔවුහු දැඩි අපහසුතාවන්ට ලක්වෙති.

සමස්තයක් ලෙස බත්තරමුල්ල සහ ඒ අවට නිර්මාණය වී ඇති ගැටලු මෙපමණ යැයි කියා නිම කළ නොහැකිය. ඒ අතර අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුව , අනවසර ඉදිකිරීම් පිළිබඳ ගැටලුව, බස් රථ සේවාවන්ගේ හිඟය ආදී ගැටලු රුසක් සංවාදයට ලක් කළ යුතුව තිබේ. කෙසේ වෙතත් අවසානය සඳහන් කළ යුත්තේ බත්තරමුල්ලද කොළඹ මෙන් අවිධිමත් නගරයක් බවට පත්වෙමින් ඇති බවකි. 

විධිමත් නාගරික සැලසුමක් සහිතව ව්‍යාපෘති සංවිධානය නොවීම සහ දේශපාලන පෞද්ගලික අභිමතාර්ථ මෙම ඛේදවාචකයට බලපා ඇති බව අවසානයේ සඳහන් කරමු. කෙසේ වෙතත් අදට වඩා හෙට මෙම ගැටලු බරපතලව නැගීමට ඇති ඉඩකඩ බොහෝය. එම නිසාම බලධාරීන් කඩිනමින් මෙම ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

I චමිඳු නිසල් ද සිල්වා