2024 මැයි 25 වන සෙනසුරාදා

චාල්ස් රජුටත් වඩා පොහොසත් බ්‍රිතාන්‍ය අගමැති

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් පසුගියදා අනාවරණ කරන ලද එක්සත් රාජධානියේ ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව එරට අගමැති රිෂි සුනක් සහ ඔහුගේ බිරිය  අක්ෂතා මූර්ති, තෙවැනි චාල්ස් රජුට වඩා ධනවත් බව අනාවරණ වී තිබේ. එම පුවත්පතට අනුව, 2024 වසරේ අගමැති සහ ඔහුගේ බිරිඳ අක්ෂතා මූර්තිගේ පෞද්ගලික ධනය පවුම් මිලියන 122 කින් (ඩොලර් මිලියන 152) ඉහළ ගොස් තිබේ. 2023 වසරේ ඔවුන් සතු වත්කම් පවුම් මිලියන 529ක් වූ අතර 2024 වසරේ එය පවුම් මිලියන 651 (ඩොලර් මිලියන 827) ක් දක්වා වර්ධනය වී තිබේ.

''සන්ඩේ ටයිම්ස් රිච් ලිස්ට්'' යනු එක්සත් රාජධානියේ වෙසෙන ධනවත්ම පුද්ගලයන් සහ පවුල් පිළිබඳ කෙරෙන අනාවරණයකි. ඒ අනුව ධනවත් පවුල් 1,000ක් ඔවුන්ගේ ශුද්ධ වත්කම් මත එම ලැයිස්තුව මගින් ශ්‍රේණිගත කරයි.

පසුගිය වසර තුළ තුන්වැනි චාල්ස් රජුගේ ධනය පවුම් මිලියන 600 සිට (ඩොලර් මිලියන 762) පවුම් මිලියන 610 (ඩොලර් මිලියන 775) දක්වා වර්ධනය වී තිබේ.

තුන්වැනි චාල්ස් රජුගේ වත්කම් ප්‍රමාණය කොපමණද යන්න දිගින් දිගටම විවාදයට ලක්වන මාතෘකාවක් වන අතර ඇතැමුන් අවධාරණය කරන්නේ ලැන්කැස්ටර් සහ ක්‍රවුන් වැනි වතු නිසා ඔහුට පවුම් බිලියන 16.9 පමණ වත්කම් හිමි බවයි. එහෙත් ''ද ටයිම්ස්'' පුවත්පතේ රොබට් වොට්ස් පවසන පරිදි, මෙම වත්කම් ඔහුගේ වෘත්තිය සමඟ බැඳී ඇති අතර ඒවා, රජුට පෞද්ගලිකව අයත් නොමැති හෙයින් ඒවා ඔහුගේ වත්කම් ලෙස ගණන් ගත නොහැකි බවයි.

චාල්ස් රජුගේ වත්කම් අතර සැන්ඩ්‍රින්හැම් සහ බැල්මොරල් වතු ප්‍රධානය. ඒවා දළ වශයෙන් පවුම් මිලියන 250ක සහ පවුම් මිලියන 210ක වටිනාකමින් යුතුය. අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රුජනගේ අවසන් කැමැති පත්‍රය 2112 වසර වන තෙක් ප්‍රසිද්ධියට පත් නොකෙරෙනු ඇති බැවින් එය එළිදක්වන විට බොහෝ පිරිසක් ජීවතුන් අතර නොසිටිය හැකිය. කෙසේ වුවද චාල්ස් රජුට එලිසබෙත් රුජනගේ ධනය හිමි වුවහොත්  ඔහුගේ වත්කම පවුම් මිලියන 400 ක් පමණ විය හැකි යැයි පැවසේ. මෙයට පවුම් මිලියන 100ක් පමණ වන රුජනගේ පෞද්ගලික මුද්දර එකතුවද ඇතුළත්ය.

2022 දී, සුනක් පවුල අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රුජනගේ වත්කම් අභිබවා සිටි අතර, එම වසරේ ඔවුන්ගේ පෞද්ගලික ධනය පවුම් මිලියන 370 පමණ විය.

හෙජ් අරමුදල් හිටපු කළමනාකරුවකු වන රිෂි සුනක් 2001 සිට 2004 දක්වා කාලයේ බ්‍රිතාන්‍ය ආයෝජන බැංකුව වන Goldman Sachs ආයෝජන බැංකුවේ විශ්ලේෂකයෙක් විය.  ඔහුගේ සමස්ත ආදායමෙන් 6.5% ක් ඔහුගේ මන්ත්‍රී වැටුපෙන් හා (පවුම් 91,346) සහ අගමැති වැටුපෙන් (පවුම් 80,807) හිමිවන අතර ඉතිරිය ආයෝජනවලින් හිමි වේ.

රිෂි සුනක් සහ අක්ෂතා මූර්තිගේ වත්කම් විශාල ලෙස ඉහළ යෑමට බලපා ඇත්තේ අක්ෂතා මූර්ති තම පියා වූ නාරායන මූර්ති සමඟ ආරම්භ කළ දැවැන්ත ඉන්දියානු තොරතුරු තාක්ෂණ සමාගම වන Infosys හි සාර්ථකත්වය බැව් පැවසේ. ඉන්දියානු ප්‍රකෝටිපතියකු වන නාරායන මූර්ති හැඳින්වෙන්නේ ඉන්දියාවේ Steve Jobs ලෙසිනි. අද වන විට එම සමාගමට ඩොලර් බිලියන 70 (පවුම් බිලියන 55.3) පමණ දැවැන්ත  වෙළෙඳපොළ වටිනාකමක් ඇත. ඉන් පවුම් මිලියන 590කට ආසන්න වටිනාකමක් රිෂි සුනක්ගේ බිරිය වන අක්ෂතා මූර්ති සතුය. සමාගමේ නවතම වාර්ෂික වාර්තාව අනුව අක්ෂතා හට ලාභාංශ වශයෙන් පසුගිය වසරේ පවුම් මිලියන 13ක් පමණ ලැබුණු අතර මේ වසරේ තවත් පවුම් මිලියන 10.5ක් ලැබීමට නියමිතය.

අක්ෂතා සහ සුනක් යුවල සතුව විශාල දේපළක් ඇත. ලන්ඩනයේ සහ කැලිෆෝනියාහි නිවාස දෙකක් ඇති අතර යෝක්ෂයර්හි අක්කර 12 ක ඉඩමක් සහ ජෝර්ජියානු මන්දිරයක් ද ඇත. යුවලගේ දේපළවල වටිනාකම පවුම් මිලියන 16ක් ලෙස ගණන් බලා ඇත. කැටමරන් වෙන්චර්ස් ආයතනයේ කොටස්ද අක්ෂතා සතුය. එය ඇගේ පියාගේ ව්‍යාපාර ජාලයේ බ්‍රිතාන්‍ය ශාඛාවය. එය ඉන්දියාව පුරා ඩොලර් බිලියන 1 ක පමණ වත්කම් කළමනාකරණය කරයි.

The Guardian විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, අක්ෂතා මූර්ති හට ජාත්‍යන්තර වෙළෙඳපොළ කළමනාකරණ ව්‍යාපාරයේද කොටස් ඇත. එය මුරුසිය පදනම් කරගත් Immassociates Mauritius සමාගමේ සියලු හිමිකාරීත්වය දරන සමාගමකි. Immassociates Mauritius ඉන්දියාව පුරා ක්ෂණික ආහාර ආපනශාලා සහ බලයලත් ආයෝජන මෙහෙයවයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය අගමැතිවරයාට වඩා වැඩි වත්කමක් ඇත්තේ අක්ෂතා මූර්ති සතුවය. 2024 පෙබරවාරියේදී, සුනක් සිය වත්කම් ප්‍රකාශයට පත් කළේය. ඉන් අනාවරණ වූයේ ඔහු 2022-23 දී පවුම් මිලියන 2.2 ක් උපයා ඇති අතර එයින් 6.5% ක් පමණක් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අගමැති වැටුප බවටය. අනෙකුත් ඉපැයීම්වලට ප්‍රාග්ධන ලාභ හරහා දළ වශයෙන් පවුම් මිලියන 1.8ක් සහ පොලී සහ ලාභාංශ වශයෙන් පවුම් තුන්ලක්ෂයක් පමණ ඇතුළත්ය. ඔහු බදු වශයෙන් ගෙවා ඇත්තේ පවුම් 508,308ක් පමණි.

අක්ෂතා මූර්ති එක්සත් රාජධානිය තුළ උපයන ආදායම් සඳහා පමණක් බදු ගෙවයි. එසේ නොමැති නම්, ඇයගේ Infosys ලාභාංශ සඳහා වසරකට පවුම් මිලියන 20 කට අධික බදු ගෙවීමට සිදුවනු ඇත.

අගමැතිවරයා සහ ඔහුගේ බිරිය අක්ෂතා මූර්ති ඩව්නිං වීදියේ අංක 10 (අගමැති නිල නිවෙසේ) මෙතෙක් පදිංචිව සිටි ධනවත්ම යුවල ලෙස වාර්තාගතව තිබේ. සන්ඩේ ටයිම්ස් ලැයිස්තුව අනුව ඔවුහු ලොව ධනවතුන් අතර 245 වැනි ස්ථානයට පත්ව සිටිති.

ධනවතුන්ගේ ලැයිස්තුව සමඟ පළවූ වාර්තාවේ සඳහන් වන්නේ මේ වන විට එක්සත් රාජධානියේ මහා ධනවතුන් අඩුවෙමින් අතර “බිලියනපතියන් බිහිවීම අවසන් වී'' ඇති බවටය.  

2022 හි බිලියනපතියන් 177 ක් බ්‍රිතාන්‍යයේ සිටි අතර මේ වන විට එම සංඛ්‍යාව 165 දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාව සඳහන් කරයි. මෙම පසුබැසීමට විවිධ සාධක බලපා තිබේ. ඉහළ ණය පොලී අනුපාත හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ වත්කම් පහත වැටී ඇති අතර තවත් පිරිසක් වෙනත් රටවල පදිංචියට ගොස් සිටිති.

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පුද්ගලයන් සහ පවුල් 350ක් සතුව පවුම් බිලියන 795.36ක ධනයක් බෙදී ගොස් ඇතැයි දත්ත අනාවරණය කරයි. කීර්තිමත් ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් වන හින්දුජා සමූහය හිමි ගෝපි හින්දුජා සහ ඔහුගේ පවුල බ්‍රිතාන්‍යයේ ධනවතුන්ගේ  ලැයිස්තුවේ ඉහළින්ම සිටී. ඔවුන්ගේ ධනය 2023 වසරේ පවුම් බිලියන 35 ක් වූ අතර 2024 එය පවුම් බිලියන 37.2 දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වුවද, බ්‍රිතාන්‍යයේ ප්‍රකට ධනවතුන් සියලු දෙනා පසුගිය වසරේ සාර්ථක වී නොමැත. Virgin Galactic සමාගමේ හිමිකරු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රුන්සන් මුහුණ දුන් අභියෝග හේතුවෙන් ඔහුගේ ධනය පවුම් බිලියන 4.2 සිට පවුම් බිලියන 2.4 දක්වා පහත වැටිණි.

එක්සත් රාජධානියේ බිලියනපතියන් අතර ඉදිරියෙන් සිටින දස දෙනා වන්නේ ගෝපි හින්දුජා - (වත්කම පවුම් බිලියන 37.2), ශ්‍රීමත් ලෙනාඩ් බ්ලැව්ටනික් - (වත්කම පවුම් බිලියන 29.2), ඩේවිඩ් සහ සයිමන් රූබන් පවුල - (වත්කම පවුම් බිලියන 24.9), ජිම් රැඩ්ක්ලිෆ් - (වත්කම පවුම් බිලියන 23.5), ජේම්ස් ඩයිසන් සහ පවුල - (වත්කම පවුම් බිලියන 20.8), බ්‍රුන්බි සහ මර්ලින් ස්වයිර් පවුල - (වත්කම පවුම් බිලියන 17.2), අයිඩන් ඔෆර් - (වත්කම පවුම් බිලියන 14.9), ලක්ෂ්මි මිට්ටල් සහ පවුල - (වත්කම පවුම් බිලියන 14.9), ගයි, ජෝර්ජ්, ඇලනා සහ ග්ලෙන් වෙස්ටන් පවුල - (වත්කම පවුම් බිලියන 14.4), ජෝන් ෆෙඩ්රික්සන් සහ පවුල - (වත්කම පවුම් බිලියන 12.8) යන පිරිසය.

I  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා