2024 මැයි 25 වන සෙනසුරාදා

ඉන්දියාවේ PhonePe පහසුකම දැන් ශ්‍රී ලංකාවේ!

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

ඉන්දියාවේ ප්‍රමුඛතම ඩිජිටල් මුදල් ගෙවීම් යෙදුමක් වන PhonePe ශ්‍රී ලංකාවේ ද ගනුදෙනු සඳහා දැන් ක්‍රියාත්මකය. මේ අනුව ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ගෙවීම් සේවාවන්ට තවදුරටත් ප්‍රබෝධයක් එක් කරමින් PhonePe, LankaPay සමඟ එක්ව, 2024 මැයි 15 වැනි දින සිට PhonePe UPI ගෙවීම් ශ්‍රී ලංකාව තුළ දියත් කර තිබේ. එය දියත් කළ දා සිට ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු 6000කට අධික ප්‍රමාණයක් සිදුවී ඇති අතර එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 240 ඉක්මවා ඇති බව ද වාර්තා වේ.

ඉන්දීය ෆින්ටෙක් හෙවත් වෙළෙඳ තාක්ෂණ දැවැන්තයා වන PhonePe සිය ක්ෂණික ඩිජිටල් ගෙවීම් තාක්‍ෂණ අතුරුමුහුණත් සේවාවක් වන Unified Payments Interface (UPI) වෙතින් මෙම ගෙවීම් පහසුකම ශ්‍රී ලංකාවේ දියත් කර තිබේ. UPI යනු පාරිභෝගිකයා විසින් නිර්මාණය කරන ලද ඔන්ලයින් ගෙවීම් ලිපිනයක් (VPA) භාවිත කරමින් පාරිභෝගිකයන්ට පැය විසිහතරේම ගෙවීම් කිරීමට පහසුකම් සපයන ඉන්දියාවේ ජංගම දුරකථන පදනම් කරගත් වේගවත් ගෙවීම් පද්ධතියකි. PhonePe හි ගෙවීම් ආරක්ෂිත, විශ්වාසදායක සහ වේගවත් වේ. සරල ක්ලික් කිරීම් කිහිපයකින් මුදල් යැවීමට, නැවත ලබා ගැනීමට, බිල්පත් ගෙවීමට සහ තවත් බොහෝ දේ කිරීමට සෑම ඉන්දියානුවන් තිදෙනකුගෙන් එක් අයෙක්ම දැන් PhonePe යෙදුම භාවිත කරයි. PhonePe  ගනුදෙනු සීමාව සියලුම පරිශීලකයන් සඳහා දිනකට රු. ලක්ෂ 1 කි.

PhonePe, මූලික වශයෙන් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වේ. ඒ හැර PhonePe UPI සේවා UAE, සිංගප්පූරුව, මොරිෂස්, නේපාලය සහ භූතානය යන රටවලදී ලබාදෙනු ඇත. PhonePe ව්‍යාපාරික යෙදවු මගින් ව්‍යාපාර මිලියන 3.8 ක් පුරා විහිදී ඇති ඩිජිටල් ගෙවීම් පහසුකම් සහිත වෙළෙඳ ජාලයකට ඔබ සම්බන්ධ කරයි. ඔබේ ව්‍යාපාර ගිණුම පිහිටුවීමට සහ ගෙවීම් බාරගැනීමට, ගනුදෙනු නිරීක්ෂණය කිරීමට, පියවීම් ලබාගැනීමට, ණයක් සඳහා අයැදුම් කිරීමට සහ තවත් බොහෝ දේ ඒ මගින් කළ හැක. ඔබගේ ගිණුම සක්‍රිය වූ පසු, ඔබට ගෙවීම් QR ස්ටිකරය ක්ෂණිකව බාගත කර ගැනීමෙන් පසු මේ වෙළෙඳ ජාලය සමඟ සම්බන්ධ විය හැකි වේ. PhonePe පහසුකම වඩාත් වැදගත් වන්නේ සංචාරක ව්‍යාපාරයටය. හෝටල් වෙන්කරවා ගැනීම්, කැබ් රථ වෙන්කරවා ගැනීම් සහ බෙදාහැරීමේ සේවාවන්හි නවෝත්පාදනයන් සඳහා ඒකාබද්ධ ගෙවීම් සේවා ගොඩනගා ගැනීමට ඉන්දියානු සමාගම් සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ සමාගම්වලට හැකියාව ලැබේ. 

මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවට පැමිණෙන PhonePe පරිශීලකයන්ට LankaPayQR කේතය ප්‍රදර්ශනය කරන වෙළෙන්ඳන් වෙත UPI භාවිතයෙන් ගෙවීම් කිරීමට ඉඩ සලසයි. මුදල් හෝ මුදල් පරිවර්තන අවශ්‍යතාවයකින් තොරව ආරක්ෂිත සහ ඉක්මන් ගනුදෙනු සඳහා පහසුකම් සපයයි. මේ අනුව සංචාරකයන්ට ඔවුන්ගේ මීළඟ ශ්‍රී ලංකා සංචාරයේදී ගෙවීම් සඳහා PhonePe භාවිත කළ හැකි වන අතර එලෙස ශ්‍රී ලංකාවේ UPI ගෙවීමක් කිරීමට PhonePe භාවිත කරන සංචාරකයකු හට තමන් හර කළ හෝ ගනුදෙනු කළ මුදල් ඉන්දියානු රුපියල්වලින් නැතහොත් INR වලින්, දකින්නට හැකිවනු ඇත.

ඉන්දියානු හඳුන්වාදීමක් වන මෙම ඩිජිටල් ගෙවීම් ක්‍රමය එරට තුළ වෙළෙඳ ගනුදෙනු පහසුවෙන් කිරීමට සංචාරකයන්ට ඉඩ සලසා ඇති අතර, එහි ඇති විශ්වසනීය බව නිසා රට තුළ භාවිතය ශීඝ්‍ර වී තිබේ. 2023 දී පමණක්, UPI විසින් රුපියල් ට්‍රිලියන 2 ක් වටිනා වාර්තාගත බිලියන 100 ක ගනුදෙනු සඳහා පහසුකම් සලසා ඇත. “ඩිජිටල් පොදු යටිතල පහසුකම් ඉන්දියාවේ විප්ලවීය වෙනසක් ඇතිකර තිබේ. අපේ කුඩාම ගමේ කුඩාම ව්‍යාපාරිකයා පවා ඩිජිටල් ගෙවීම් භාවිත කරන්නේ එහි පහසුව මෙන්ම වේගය ඇති නිසා” බව අගමැති මෝදි කියා ඇත. ඉන්දියාව දැන් මෙම පහසුකම  හඳුන්වාදීම මගින් ශ්‍රී ලංකාව සහ මොරීෂස් දූපත් ද සිය ගනුදෙනු ජාලයට එක් කරගෙන තිබේ. මෙලෙස ශ්‍රී ලංකාව තුළ PhonePe ව්‍යාප්ත කිරීමේ අරමුණ වන්නේ ඉන්දියානු සංචාරකයන් සඳහා ඩිජිටල් ගනුදෙනු සරල කිරීම සහ රටවල් දෙක අතර වැඩි මූල්‍ය ඒකාබද්ධතාවයක් ඇති කිරීමය.

මෙම PhonePe Private Limited සමාගම 2015 දී ඉන්දීය ඉංජිනේරු සමීර් නිගම් විසින් ආරම්භ කළ අතර ඔහු එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි. PhonePe ආරම්භ කිරීමට පෙර, සමීර් ඉන්දියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Flipkart හි ජ්‍යෙෂ්ඨ උප සභාපති  ඉංජිනේරු සහ උප සභාපති - අලෙවිකරණය ලෙස සේවය කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව 2024 පෙබරවාරි 12 වැනි දින LankaPay සමඟ එක්ව මෙම  ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත් (UPI) සේවා ශ්‍රී ලංකාව තුළ දියත් කරන ලදී. මෙම නව සේවාව හඳුන්වාදීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ උත්සවයේදී මහ කොමසාරිස් ජා සිය ප්‍රකාශයන්හි සඳහන් කළේ ඉන්දියාවේ හුරුපුරුදු ඩිජිටල් ගෙවීම් පද්ධතියක පහසුව ලැබීම මෙරට සංචාරක ව්‍යාපාරය තවදුරටත් දිරිමත් කරන්නට හේතු විය හැකි බවයි.

I සුගත්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05