2024 මැයි 25 වන සෙනසුරාදා

රට කරවන තැන බත් කන උදවිය කියන කතා

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 151

'අපි කන හැටි ලිපා දනී’ කියලා මෙතෙක් කලක් ඇහුණේ ගමේ ගොඩෙන්ය. ඒත් දැන් දැන් දියවන්නාවෙනුත් එහෙම කතාවක් ඇහෙන්න පටන් අරගෙනය. අපේ රටේ ජනප්‍රියම කෑම වේල වගේම ලංකාවේ ලොකුම කුස්සිය මොකක්දැයි විමසුවහොත් හැමෝම කියන්නේ එකම දෙයකි. එහෙම හැමෝම කියන පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ කෑම වේල සම්බන්ධයෙන් යළිත් කතාබහක් කරළියේ නිර්මාණය වී තිබේ. ඒ පාර්ලිමේන්තු භෝජනාගාර අංශයෙන් දෙන කෑම ප්‍රමිතියකට නැතැයි පවසමින් මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කිරීමේ සිද්ධියකිනි.  

පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභා රැස්වීම පැවති අතර එම අවස්ථාවේදී මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. 

වර්ෂ 1982 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන යාමත් සමඟම ආහාරපාන හා ගෘහ පාලන දෙපාර්තමේන්තුව නමින් වෙනම දෙපාර්තමේන්තුවක් පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ගොන්නට එක්විය. එය එසේ බිහිවූයේ තරු පන්තියේ අන්තර්ජාතික හෝටලයක් වූ ඔබරෝයි හෝටලයේ තාක්ෂණික හා වෘත්තීය උපදේශකත්වය යටතේය. ඉන්පසු කාලයේදී මෙම දෙපාර්තමේන්තුව කතානායක කාර්ය මණ්ඩලයට අනුයුක්තව ක්‍රියාත්මක වෙයි. මෙම අංශය වෙනමම ආහාර හා භෝජනාගාර ගෘහ පාලන අධ්‍යක්ෂවරයකුගේ යටතට ගැනෙන අතර, මුළුතැන්ගෙය, භෝජනාගාර, ගෘහ පාලන හා ගිණුම් වශයෙන් ප්‍රධාන උප අංශ හතරක් යටතේ ක්‍රියාත්මක වෙයි. පාර්ලිමේන්තුවේ කුස්සිය යනු අධි ආරක්ෂිත කලාපයකි. එහි වගකීම ඒ තරමටම ප්‍රබලය.

මේන් කිචන් සහ අලාකාර්ට් මුළුතැන්ගෙවල් දෙකකින් සමන්විතව ප්‍රධාන වශයෙන් ආහාරපාන භෝජනාගාර සේවා අංශ 12කින් සමන්විත වන අතර ආපනශාලා, විධායක භෝජනාගාර, ආහාර හා සැපයුම් අංශය, ප්‍රභූ භෝජනාගාර වශයෙන් සංවිධිතය. එයින් 5 ක් දිනපතාම ක්‍රියාත්මකය. පාර්ලිමේන්තු රුස්වීම් පැවැත්වෙන දින හැරුණුකොට දිනකට 1000 – 1200 අතර ප්‍රමාණයකට පහසුකම් සපයනු ලබන අතර අයවැය සහ විශේෂ අවස්ථාවලදී මෙම ප්‍රමාණය වැඩි වෙයි. දෛනික ගණනය කිරීම් අනුව ආහාරවේල සැකසෙන අතර ආහාර කළමනාකරණ කමිටුව, විගණන අංශ ආදියේ නිර්දේශ මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. ජනාධිපති, අගමැති, කතානායක, කැබිනට් ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ අමුත්තන්, රාජ්‍ය නිලධාරීන්, ආරාධිත දේශීය විදේශීය  අමුත්තන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, පාර්ලිමේන්තු පොලිසිය, ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, තැපැල් දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව ආදී අනුයුක්ත කාර්ය මණ්ඩලවලටද, විපක්ෂ නායක කාර්යාලය, ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්ය මණ්ඩල ඇතුළුව සාමාන්‍ය දිනකට 1200 -  1500 පමණ පිරිසකට මෙහිදී පහසුකම් සැපයෙයි. පාර්ලිමේන්තුවේ භෝජනාගාරවලිනුත් වඩාත් ජනප්‍රියව ඇත්තේ ‘ඇක්ෂන් ටේබල්’ වලින් සපිරුණු මන්ත්‍රී භෝජනාගාරයය. පසුගිය කාලය පුරාම අවස්ථා ගණනාවකදී මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන ආහාරවේල පිළිබඳ විවිධාකාර මත පළ විය. භෝජනාගාරය වසා දමා කෑම පාර්සල් නිවෙසින් රැගෙන ඒමට අවස්ථාව ලබාදෙන ලෙස ඇතැම් මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ. එහෙත් පාර්ලිමේන්තුවේ ආරක්ෂක පියවරක් වශයෙන් සලකා එම ඉල්ලීම ප්‍රතික්ෂිප්ත විය. එහෙත් ලංකාවේ විශාලතම මුළුතැන්ගෙයි පිළියෙළ වන ආහාරවලින් මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන කෑමවේල පිළිබඳ බාහිර සමාජයේ විවිධාකාර මත පවතී‍. මෙය තරු පන්තියේ කෑමවේලක් යැයි ඇතැම්හු කියති. එහෙත් එහි සත්‍ය දන්නේ ඒ කෑමවේල අනුභව කරන මන්ත්‍රීවරුන් පමණය. එහෙයින් අපි ඔවුන්ගෙන් මෙහි ඇත්ත නැත්ත විමසන්නට තීරණය කළෙමු.

භෝජනාගාරයේ ආහාර සම්බන්ධයෙන් අත්දැකීම කෙබඳුදැයි මැතිසබේ මැති ඇමැතිවරුන්ගෙන්ම අපි විමසුවෙමු.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසූයේ මෙවැනි අදහසකි.

“මම 1994 ඉඳන් දැනටත් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාරපාන අරන් තියෙනවා. එදා අද බලද්දී මේ වෙද්දී ආහාරපානවලත් පහසුකම්වලත් බොහෝ වෙනස්කම් තියෙනවා. මම ගෘහකාරක සභාවේ ඉන්න කාලෙත් භෝජනාගාරවල අනවශ්‍ය වියදම් අඩු කරන්න ක්‍රියා කළා. ඇත්තටම මම කැමැති මගෙ නෝනාගෙ අතින් හදන කෑමවේලටයි. ලංකාවේ කොහේ හිටියත් ඒක මට ගොඩක් රසයි. ඒ නිසා මම ගොඩක් වෙලාවට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කනවා අඩුයි. දැන් පාර්ලිමේන්තුවේ අපි කන්නෙත් සාමාන්‍ය විදිහට කෑමවේලක්. කාලයක් අපි කතානායකතුමාගෙන් ඉල්ලුවා භෝජනාගාරයේ කෑම ඕනෑ නෑ. අපි හැමෝටම සාමාන්‍ය වියදමකින් කඩේ ගන්න තියෙන කෑම පාර්සල් ගෙනත් දෙන්න කියලා. ඒත් ඒකට අවසර නැත්තේ ආරක්ෂක හේතු මත. කොහොම වුණත් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීලාට රුස්වීම් තියෙද්දී එළියට ගිහින් කාලා එන්න බෑනෙ. කන්න වෙන්නේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තමයි.” 

හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේය. 

“මම පාර්ලිමේන්තුවේ දවසම හිටියොත් බොහෝ වෙලාවට දවල් කෑම කන්නේ භෝජනාගාරයෙන්. මම කන්නේ එළවළුයි බතුයි විතරයි. මම කාර්යාලයේ ඉද්දී කන්නේ කාර්යාලය ඉස්සරහ තියෙන කඩෙන්. ඒකෙ කෑම එකකට රුපියල් 300 ක් යනවා. මට පාර්ලිමේන්තුවෙ කෑම කන්නත් යන්නෙ ඒ ගාණමයි. කඩේට දෙන ගාණමයි මට මේකට ගෙවන්න වෙලා තියෙන්නෙත්. ඒ නිසා කිසිම ඩිස්කවුන්ට් එකක් ලැබිලා නෑ. මන්ත්‍රී භෝජනාගාරයෙන් කන්නේ පාර්ලිමේන්තුවේ දවසම ගත කළොත් විතරයි. මම කෑම ගැන උනන්දුවක් තියෙන චරිතයක් නෙමෙයි. මගෙන් කෑමවල ප්‍රමිතිය ගැන අහන එක කෑමවලට කරන අසාධාරණයක්. මට කියන්න පුළුවන් මට කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්  මහතා පැවසූයේ මෙවැනි අදහසකි. 

“මම කුරුණෑගල වගේ දුර බැහැර ඉඳන් පාර්ලිමේන්තුවට එන මහජන නියෝජිතයෙක්. මුළු රටක් ආර්ථික අර්බුදයෙන් දුක් විඳිද්දී අපිට සුරසැප ඕනෑ නෑ. මිනිහකුට බඩ පිරෙන්න කෑම ටිකක් තිබුණාම ඇතිනෙ. ඉස්සර පාර්ලිමේන්තුවේ තිබුණු මී පැණි තියා පොල්පැණිවත් දැන් පාර්ලිමේන්තුවේ නෑ. සමගි ජන බලවේගයේ අපිට නම් එහෙම ඕනෑත් නෑ. අපිට සාමාන්‍ය ජනතාව වගේම බඩගින්න නිවාගන්න කන්න මොනවා හරි තිබුණා නම් ඒ ඇති. ඒකෙ රහ ගුණ ගැන අපේ විවේචන නෑ.”
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පැවසූයේ තමන් පාර්ලිමේන්තු පැමිණෙන කාලයේදී මන්ත්‍රී භෝජනාගාරයෙන් කෑම ලබාගන්නා බවයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලාට දෙන කෑමවල තමන්ට විශේෂත්වයක් නැති බවත් එය සාමාන්‍ය ජනතාව වගේම කන කෑමවේලක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරයකු වන චින්තක අමල් මායාදුන්න මහතා පැවසුවේ මෙවැන්නකි. 

“පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරයකු විදිහට මමත් භෝජනාගාර පහසුකම ලබාගන්නවා. ඒකට අපෙන් මුදලක් වෙන් කරනවා. ගැමි රස කඩවල තියෙන විදිහට බුෆේ විදිහට තමයි කෑම තියෙන්නේ. කෑමවල කිසිම වෙනසක් නෑ. හැමදාම එකම දේ තමයි තියෙන්නේ. ඒ නිසා ගෙදර ගිහින් කරවලත් එක්ක බත් කටක් කන්න තමයි අපි ඉතින් දුවන්නේ. සාමාන්‍ය විදිහට බත්, නූඩ්ල්ස් වගේ කෑම කිහිපයක් තියෙනවා වෑංජන සුළු ප්‍රමාණයක් එක්ක. සාමාන්‍ය කඩයක තියෙනවා වගේ පපඩමක්, මිරිස් කරලක්, බිත්තරයක් බැදල ඒමත් ගන්න පුළුවන්. කෑම හොඳ නැතිකමක් නෙමෙයි තියෙන්නේ රස නැති කමක්. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ විශාල පිරිසකට උයන නිසා වෙන්න ඇති. ඒත් අපි පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා මොනවා කාලා හරි අපි ජනතාවට සේවය කරනවා. ඒවා අපිට ප්‍රශ්න නෙමෙයි.” 

රටේ ජනතාව මොනවා කිව්වත් මැති ඇමැතිලා කියන්නේ එහෙමය. ආර්ථික අර්බුදයකින් පෙළෙද්දී බොහෝ ආයතනවල මූල්‍ය කළමනාකරණය කර ඇතිවා සේම දියවන්නාවේ කෑම මේසයට ද එය බලපා තිබේ.

I  සසංක චලන ගිම්හාන

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:04