ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළේදී ගුජරාට් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් අයි.එස් සාමාජිකයන් බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා තවමත් එරට පොලිසිය විසින් රහස් ස්ථානයක රඳවා ප්‍රශ්න කරමින් සිටියි. මෙම සැකකරුවන් සිව්දෙනා විසින් ලබාදෙන ඇතැම් තොරතුරු මෙරට පොලිසියට ලබාදෙමින් දෙරට අතර ඒකාබද්ධ මෙහෙයුමක් මේ වනවිට සිදු කරමින් පවතී.
මොහොමඩ් නුස්රාන්, මොහොමඩ් නෆ්රාන් නවුෆර් (හිටපු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොට්ට නවුෆ්ර්ගේ පුත්‍රයා), මොහොමඩ් රෂ්ඩීන් සහ මොහොමඩ් ෆරීෂ් යන සැකකරුවන් සිව්දෙනා විසින් සිදු කළ ප්‍රකාශ අනුව ඔවුන් ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙන සිට ඇත්තේ අයි.පී.එල් තරගාවලිය සඳහා ප්‍රහාරයක් එල්ල කිරීමටය. ප්‍රධාන කණ්ඩායම් මෙන්ම, ඒ කණ්ඩායම්වල හිමිකරුවන් වන ශාරුක් ඛාන් ඇතුළු අය සිය ගමන් බිමන් අහමදාබාද් ගුවන් තොටුපොළ හරහා සිදුකර ඇති බවත්, ඒ නිසා මෙම සැකකරුවන් එවැනි අවස්ථාවක් අරමුණු කරගෙන සිටින්නට ඇති බවත් එරට පරීක්ෂණ කණ්ඩායම්වල මතය වී තිබේ.
ඒ සියල්ල තහවුරු කරමින් පසුගියදා අයි.එස් සංවිධානය විසින් ප්‍රචාරය කළ බවට සැක කෙරෙන පෝස්ටරයක් 20/20 ලෝක කුසලාන තරගාවලිය කැළඹීමට ලක්කර ඇත. අයි.එස් සංවිධානයේ සෙබළකුගේ ඡායාරෑපයක් යොදාගනිමින් ඔහුගේ පසුබිමෙන් ඇමෙරිකාවේ නසාව් ක්‍රීඩාංගණය ප්‍රදර්ශනය කර තිබේ. එහි 2024/06/09 ලෙස දිනයක්ද සඳහන් කර ඇත. කෙසේ වෙතත් එදින එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරගය වනුයේ ඉන්දු පාකිස්ථාන තරගාවලියයි. මෙහි එම ගිනිඅවියක් අත දරාගෙන සිටින සෙබළා ඉහළින් ඩ්‍රෝන යානා දෙකක් ප්‍රදර්ශනය කර ඇති නිසා යම් ඩ්‍රෝන ප්‍රහාරයකට සූදානම් වනවාද යන්න එරට ආරක්ෂක අංශවලට සැක මතු වී ඇත. ඊටත් වඩා ඇඟ කිළිපොලා යන සිදුවීම නම් ඔවුන් විසින් ඉංග්‍රීසියෙන් ලියා ඇති අදහසය. "You wait for the matches... And we wait for you...” ලෙස එහි සටහන් කර ඇත. එනම් "ඔබ තරග ආරම්භ වනතුරු බලා සිටිනවාද? අපි ඔබ එනතුරු බලා සිටිමු" යනුවෙන් යම් වක්රාකාර තර්ජනයක් සිදු කර ඇත. මෙම පෝස්ටරය නිසාම සියලුම 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරග සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට තීන්දු කර තිබේ.
කෙසේ වෙතත් අහමදාබාද්හිදී අත්අඩංගුවට ගත් සිව්දෙනාට මෙරටින් පිටත්ව යාමට සහාය දුන් පුද්ගලයා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසුව කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ අතර ඔහු අමිත් අමීර් නම් විය. කෙසේ වෙතත් අමිත් අමීර් හට මෙම සිව්දෙනා සම්බන්ධ කර ඇත්තේ දෙමටගොඩ පදිංචි ජෙරාඩ් පුස්පරාජා ඔස්මන් ජෙරම් නැමති අයෙකි. මෙම සැකකරු දැනට අතුරුදන්ව ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට ඔත්තු ලබාදෙන අයකුට රුපියල් ලක්ෂ 20ක් ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබේ. මේ අතර අමිත් අමීර් සමඟ සබඳතා පැවැත්වූ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර අමීර්ගේ මව රඳවා තබා ඇත්තේ අත්අඩංගුවට ගත් අයගේ නිවෙසේ බව පොලිසිය සඳහන් කරයි.
මෙරට පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී තවත් වැදගත් කරුණු රුසක් අනාවරණය කර ගැනීමට හැකි විය. එනම් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විදෙස්ගත වීමට පෙර මාලිගාවත්ත ප්‍රදේශයේ එක්තරා ස්ථානයකට එක්රුස් වී මෙම ප්‍රහාරය සඳහා පොරොන්දු ලබා දී ඇති බවකි. ඒ පාස්කු ප්‍රහාරය සිදුකළ සහරාන් ඇතුළු කණ්ඩායම ලෙසය. පසුව එම ස්ථානයේ අයි.එස් කොඩිය පුළුස්සා දමා ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට පසුගියදා ගොස් තිබුණි.
එසේම මෙම පරීක්ෂණය සිදුකරන අතරවාරයේ තවත් දෙදෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවිය. ඒ මාවනැල්ල හිඟුල්ඔය ප්‍රදේශයේ පදිංචි "මුහම්මදු මුජිබර් රහුමාන්" සහ අලුත් නුවර කොටබෝගොඩ පදිංචි "කල්පදීන් හිදයාතුල් බාරී" යන දෙදෙනාය. එම සැකකරුවන් දෙදෙනාගේ ගිණුම්වලට ඉන්දියාවේ පුද්ගලයකු විසින් මුදල් බැර කර ඇති අතර ඔවුන් විසින් තවත් පුද්ගලයකු ලවා ඉන්දියවේදී අත්අඩංගුවට ගත් සිව්දෙනාට රුපියල් ලක්ෂ 4ක් ලබා දී ඇති බවට අනාවරණය වී තිබේ.
මේ වනවිට මෙම පුද්ගලයන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමත් සමඟ විශාල කතාබහක් ලෝකය පුරා නිර්මාණය වී ඇති අතර මෙම ඒකාබද්ධ මෙහෙයුම හරහා තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර තිබේ.
I ගයාන් ගාල්ලගේ