2024 ජුනි 01 වන සෙනසුරාදා

කුඩු පුච්චන මහ ලිප

2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:0096

කෝටි ගණන් වටිනා කිලෝ ගාණක කුඩු තොග පිටින් අත්අඩංගුවට ගත් සිදුවීම් මෑත ඉතිහාසයේ  තිබේ. එවැනි වාර්තා තැබූ වැටලීම් අත්අඩංගුවට ගැනීම් රුසකි. වාර්තාගත වැටලීම් අතර ලංකාවේ ලොකුම කුඩු තොගය මෙන්ම දකුණු ආසියාවේ ලොකුම කුඩු තොගය ලෙසද හඳුන්වා දී තිබිණි. මේ අතර දිවයින පුරා  සුළු වශයෙන් නමුත් ඒකරාශී කළ විට දෛනිකව විශාල අගයක මත්කුඩු ආරක්ෂක අංශ අතට පත්වෙයි. මේ තරම් වටිනා මත්කුඩුවලට කළේ මොනවාදැයි සිතන, අසන, කතා කරන අයට මේ කතාව අස්වැසිල්ලකි.

දිනපතාම රට වටෙන් කෙසඟ කුඩුලෝලීන් සහ ඇතැම් කුඩු ජාවාරම්කරුවෝද කොටු වෙති. සමහර ජාවාරමේ ප්‍රබලයෝ කියන අය සැබෑවට ධීවරයන් හෝ පාතාලයේ හිතවතුන් වෙති. කුඩු ජාවාරමේ මහ මොළකරුවෝ අද වන තෙක් කොටුකරගෙන නොමැත. මේ ආකාරයට  ජාත්‍යන්තරය තුළ මත්කුඩු ජාවාරම සූක්ෂම ලෙස ක්‍රියාත්මකව තිබෙන්නේ කිසිදාක මහ මොළකරු හෙළි නොවන පරිදිය.

පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන ලද වැටලීම්වලින් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගනී. ඉහත පොලිසිය ප්‍රමුඛ එම ආයතන ගොඩබිම වැටලීම් සිදුකරද්දී නාවික හමුදාව රට වටා මුහුදේ සිට ජාත්‍යන්තර මුහුදු කලාපයේද වැටලීම් සිදු කරයි. එසේ අත්අඩංගුවට ගන්නා කුඩු තොග අවසානයේ පොලිසියට බාර කරන්නේ නීතිය ක්‍රියාත්මකය කරන්නටය. අනතුරුව අධිකරණ නියෝග මත එම කුඩු තොග විනාශ කිරීමට කටයුතු කෙරෙයි.

මේ විනාශ කිරීමේ ක්‍රියාවලිය සඳහා පොලිසියට ක්‍රමයක් තිබුණේ නැත. පළමු වරට මීට වසර පහකට පමණ පෙර එම ක්‍රියාවලිය සිදුකරනු ලැබුවේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සිමෙන්ති කර්මාන්ත ශාලාවක පිහිටි විශේෂ උඳුනක් භාවිත කරමිනි. කොළඹ සිට එම ස්ථානය වෙත කුඩු තොගය දිය කොට දැඩි ආරක්ෂාව යටතේ රුගෙන යනු ලැබීය. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබිණ.

මේ ආකාරයට මත්ද්‍රව්‍ය විනාශ කරලීම සඳහා ස්ථීර ස්ථානයක් මෙරට ආරක්ෂක අංශ සතුව තිබුණේ නැත. එමෙන්ම මෙකී මත්ද්‍රව්‍ය තොග විනාශ කරලීම සඳහා රජයට විශාල මුදලක් වැය වීම ගැටලු සහගතය. මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම පෞද්ගලික ආයතනයක් මගින් සිදුකිරීමේදී ඒ සඳහා වැය වන මුදල් ප්‍රමාණය අවම කර ගැනීම සහ මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අදහසින්  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මඟපෙන්වීම සහ පොලිස්පතිවරයාගේ අධීක්ෂණය මත වැඩපිළිවෙළක් ආරම්භ කෙරිණ.

 ඒ අනුව රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කරමින් නව අධිබලැති උඳුනක් ශ්‍රී  ලංකා පොලිසියේ වියදමින් ස්ථාපිත කරන්නට පියවර ගෙන ඇත. ඒ සඳහා ඉඩකඩ තෝරාගෙන තිබුණේ පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයෙනි. එම ඉඩම පොලිස් විශේෂ කාර්ය බලකාය සතු එකකි. ලැක්ටෝස් වත්ත නම් ඉඩමේ පර්චස් 20ක් ඒ සඳහා වෙන් කෙරිණ. අනතුරුව උඳුන ස්ථානගත කිරීම සඳහා ස්ථානය සකස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරගෙන තිබිණ. ඊට අමතරව මේ වෙනුවෙන් රුපියල් මිලියන 6.34ක මුදලක් ශ්‍රී ලංකා පොලිසිය විසින් වැය කොට ඇත.

එම උඳුනේ මුල්ම කුඩු තොගය දහනය කිරීම පසුගියදා සිදු කෙරිණ. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද කිලෝ 400කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් එසේ විනාශ කිරීමට කටයුතු කෙරිණි. මෙම අධිබලැති උඳුනේ ප්‍රථම වරට විනාශ කෙරුණු මත්ද්‍රව්‍ය තොගය තුළ හෙරොයින් සහ මෙතැම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තිබුණු බව වාර්තා විය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමට කරනු ලැබීය. 

දිවයිනේ සියලුම පොලිස් ස්ථාන, පොලිස්  මත්ද්‍රව්‍ය නාශක  කාර්යාංශ, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන ලද වැටලීම්වලින් විශාල මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනුණද ඒවා විනාශ කරලීම සඳහා ස්ථීර ස්ථානයක් තිබුණේ නැත. ඊට විසඳුමක් ලෙස මෙම ස්ථානය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළේය.

මෙහෙයුම් මගින් මෙන්ම නිලධරයන් වෙත ලද තොරතුරු මත විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ නොකරන බවට විවිධ අවස්ථාවන්වලදී මහජනතාව පොලිසිය වෙත චෝදනා එල්ල කොට තිබිණ. නමුත් මීට පෙර අවස්ථා කිහිපයකදීම නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොග කිහිපයක් පුත්තලම INSEE සිමෙන්ති කර්මාන්තශාලාවේ උඳුන භාවිත කරමින් පූර්ණ විනිවිදභාවයෙන් යුතුව විනාශ කිරීමට කටයුතු කර තිබිණි.

ඉකුත් සතියේ විනාශ කරන ලද මත්ද්‍රව්‍ය තොගයට මෑතකදී නඩු කටයුතු අවසන් වූ පාකිස්තානු ජාතිකයන් 07 දෙනකු සන්තකයේ තිබී අත්අඩංගුවට පත් වූ හෙරොයින් කිලෝ 279 ග්‍රූම් 591ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45 ග්‍රූම් 654 ප්‍රමාණයද අඩංගුව තිබී ඇත. මෙම මත්ද්‍රව්‍ය සෙල්සියස් අංශක 800-1200 අතර උෂ්ණත්වයකින් පුළුස්සා විනාශ කිරීම සිදු කළ යුතු අතර ඒ සඳහා පැය 8ක කාලයක් ගතවන බව කියයි. මෙම උඳුන පැයක කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා ගෑස් කිලෝ ග්‍රූම් 15ක් සහ ඩීසල් ලීටර් 04ක ප්‍රමාණයක් වැය වන බවද කියති.

පුත්තලම මහේස්ත්‍රාත්වරයා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයන්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පූර්ණ විනිවිදභාවයකින් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදු කෙරිණ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.එස්. රූපසිංහ යන මහත්වරු ඇතුළු පිරිස එම අවස්ථාවට සහභාගි වූහ.

I  ප්‍රදීප් වික්‍රම