නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින පුරා පැවති අධික වර්ෂාපතනය ඉදිරි දින කිහිපය තුළදී යම් අඩුවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නමුත් පවතින වර්ෂාව හේතුවෙන් කැලණි, කළු, ගිං, මහවැලි සහ නිල්වලා යන ගංඟාවල ජල මට්ටම තවමත් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට මහවැලි ගඟේ ජල මට්ටම මහනුවර ප්‍රදේශය දක්වාම ඉහළ ජල මට්ටම් වාර්තා වීම හේතුවෙන් පහත්බිම් ආශ්‍රිත ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. එමෙන්ම කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටමද ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. මේ අතර කළු ගඟේ ජල මට්ටමද ඉහළ යාම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යට වී ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කොට ඇත. ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය ප්‍රකාශ කරනු ලබන්නේ දිස්ත්‍රික්ක හයකට තවදුරටත් නාය යාමේ නිවේදනය බලපැවැත්වෙන බවය. ඒ අනුව මහනුවර, කොළඹ, කුරුණෑගල, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක මේ කොටසට ඇතුළත් වේ.
මෙලෙස සති කිහිපයක් මුළුල්ලේ දිවයින පුරා ඇතිවූ අධික වර්ෂාව හා තද සුළඟ හේතුවෙන් ජන ජීවිතයට විශාල පීඩනයක් එල්ල වී තිබුණි. අවදානමේ ප්‍රවණතාවය වැඩි බවත්, ඒ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මාවනැල්ල පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ඉහළින් පවතින අවදානම් ගල් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ඉවත් කිරීම පසුගියදා සිදු කෙරුණි. එමෙන්ම කොළඹ නගරයේ ඇති අවදානම් සහිත විශාල ගස් සහ අතු කපා දැමීමද පසුගිය දින කිහිපය පුරාවට රාත්‍රී කාලයේදී සිදු කෙරුණි. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ නවයක් දක්වා ඉහළ ගොස් ඇත. පවතින අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන් නාවික හා ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස දැනුම් දී තිබුණද සින්නාපාඩුව ප්‍රදේශයේ මුහුදු ගිය ධීවර බෝට්ටුවක් පෙරළීම හේතුවෙන් එහි සිටි ධීවරයෙක් ජීවිතක්ෂයට පත්විය. එමෙන්ම අධික වර්ෂාව හේතුවෙන් හලාවත ප්‍රදේශයේ මාර්ගයක නවතා තිබූ මෝටර් රථයකට ගසක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි කිහිප දෙනකු රෝහල්ගත කෙරිණි. දෙණියාය ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයකට ගසක් කඩා වැටීම හේතුවෙන් එම ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුවී තිබිණි. පසුගියදා වැලිගම ප්‍රදේශයේ හමා ගිය තද සුළං හේතුවෙන් වැලිගම සංචාරක හෝටලයකට සහ නිවාස කිහිපයකට දැඩි හානි සිදුවී තිබුණි.
එමෙන්ම දෙයියන්දර ප්‍රදේශයේ නිවෙසක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් නිවෙස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර නිවැසියන් රෝහල්ගත කර තිබුණි. පැවති වර්ෂාව හේතුවෙන් මිනිස් ජීවිත පමණක් නොව සත්ව ජීවිත ද අහිමිව ගියේ නොසිතූ ලෙසිනි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ වන අලින් හත්දෙනකු පසුගිය දිනෙක මිය ගොස් තිබුණේ මඩේ එරීම හේතුවෙනි. මේ අතර වයස අවුරුදු 8ත් 10ත් අතර වයස් සීමාවේ පසුවන වන අලි පැටවුන් පස්දෙනකු සහ අවුරුදු 30ක් 35ත් අතර වන අලින් දෙදෙනෙක්ද වෙති. මොවුන් මඩේ එරී මිය යන්නට ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
මේ අතර හපුතලේ ප්‍රදේශයේ නිවෙසකට ගසක් කඩා වැටීම හේතුවෙන් නිවෙසේ සිටි කාන්තාවක මියගොස් සිටි අතර එහි සිටි තවත් දෙදෙනකු සිදුවූ අනතුරු හේතුවෙන් රෝහල්ගත කෙරිණි. එමෙන්ම හොරණ අඹගහවත්ත ප්‍රදේශයේ නිවෙසක සිටි කාන්තාවක් පොල් ඇහිදීමට යාමේදී සුළඟින් කඩා වැටී තිබූ විදුලි රැහැනක පැටලී ජීවිතක්ෂයට පත්විය.
පසුගියදා බලපිටිය ප්‍රදේශයේ ධීවරයන් රැගත් යාත්‍රාවක් මුහුදු යාමේදී මුහුදේ සිදුවූ අනතුරක් හේතුවෙන් ධීවරයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එහිදී යාත්‍රාවේ හිමිකරු දැඩි පරිශ්‍රමයක් දරා ජීවිතය බේරාගෙන තිබුණි. කහවත්ත වතුයායක තිබූ විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි කාන්තාවක මියගිය අතර ඒ අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගත කෙරිණි.
මේ අනුව මේ දිනවල පොළොවේ ඇතිවන ඉරි තැලීම්, ගැඹුරු පැළුම් හා පොළොවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල්, දුරකථන කුලුනු ආදිය ගැන සැලකිලිමත් විය යුතුය. එමෙන්ම එක්වර ජල උල්පත් ඇතිවීම හෝ පෙර පැවති ජල උල්පත් බොරවීම, අවහිරවීම හා නැතිවීම ගැනත්, ගොඩනැගිලිවල පැලීම් හා බිත්ති මත ඇතිවන පිපුරුම් ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත්ය.
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට මරණ නවයක් වාර්තා වී ඇත. මේ හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මෙම අයහපත් කාලගුණය හේතුවෙන් මරණයට පත් එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස උපදෙස් ලබා දී තිබුණි.
I දිශානි ජයමාලි කරුණාරත්න