රාජ්‍ය අයවැය ලේඛනය නමැති බඳුන පිහිටා ඇත්තේ ප්‍රධාන ලිප්ගල් තුනක් මතය. එම ලිප්ගල් වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුවයි. මෙම ලිප්ගල් තුනෙන් එකක් හෝ බුරුල් වූ විට භාජනය පෙරළෙනු ඇත. අප එසේ පවසන්නේ රාජ්‍ය අයවැය ලේඛනය සකස් කිරීමට ප්‍රධාන වශයෙන් පාදක වන ආදායම ලැබෙන්නේ එම දෙපාර්තමේන්තු තුනෙන් නිසාය. බදු ආදායම අඩු වූ විට අයවැය ලේඛනය තුලනය කිරීමට අපහසු වේ. එවිට සිදුවන්නේ දේශීය හා විදේශීය ණයවලින් සහ විකල්ප ක්‍රම මගින් මුදල් ජනිත කරවීමටය.
රටට ලැබෙන බදු ආදායමෙන් සියයට 20ක් ඍජු බදු වන අතර ඉතිරි සියයට 80 වක්‍ර බදු වෙයි. එහෙත් ලොව දියුණු රටවල ඍජු බදු සහ වක්‍ර බදු සම සමව අය කෙරේ. ශ්‍රී ලංකාවේ සියයට 20ක් වූ ඍජු බදුවලින්ද අයකර ගැනීමට සමත් වන්නේ සාමාන්‍යයෙන් 2/3 පමණය. එයට විවිධ හේතු තිබේ. බදු දැලෙන් පනින මහා පරිමාණ ව්‍යාපාරිකයන් සංඛ්‍යාව අති විශාලය. බොහෝ විට බදු ගෙවන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පමණි. අපේ රටේ ඍජු බදු අයකිරීමට දුෂ්කර නිසා බලධරයන් වැඩිපුර අවධානය යොමු කරන්නේ වක්‍ර බදු පිළිබඳවය. ඍජු බදු අයකර ගැනීමට බලවත් ආයාසයක් ගත යුතු නමුත් වක්‍ර බදු නිරායාසයෙන් අය වෙයි. අයකර ගැනීමට පරිශ්‍රමයක් දැරිය යුතු නැත. ඒ නිසාම අත්‍යවශ්‍ය ආහාර වැනි අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩවලට බදු ගැසීමට පුරුදු වී තිබේ. එහෙත් මේ වක්‍ර බදු නිසා අමාරුවේ වැටෙන්නේ දුප්පත් ජනතාවයි. බලධරයන්ට ඒ ගැන තැකීමක් නොමැති අතර ඔවුහු තව තවත් බදු පනවමින් සිටිති.
මේ අතර ධන බද්දක් හෙවත් මරාල බද්දක් පනවන්නට යයි. පුරවැසියන්ගේ චංචල හා නිශ්චල දේපළ විස්තර ජූලි මස 1 දින සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැන්විය යුතු බවට මුදල් ඇමැති වශයෙන් ජනාධිපතිවරයා පසුගිය මාර්තු 21දා ගැසට් පත්‍රයක් නිකුත් කළේය. ආදායම් බදු පනතේ 123(8) වගන්තිය අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුවට තෙවැනි පාර්ශ්වයකින් තොරතුරු ලබාගැනීමේ අයිතියක් ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පසුගියදා පැවසීය. එසේම උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වන දේපළ රාජසන්තක කිරීමට හැකි බවද පැවසේ. එසේම ජූලි 1 දා සිට ආදායම් කටයුතු සිදුවන ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, කොටස් වෙළෙඳපොළ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන තමන්ගේ එදිනෙදා ගනුදෙනු පිළිබඳ තොරතුරු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවිය යුතු යැයි නීති පනවා ඇත.
අලුත් බදු තව තවත් පනවනවා වෙනුවට දැනට ඇති බදු නිසි පරිදි අයකර ගන්නේ නම් අයවැය තුලනය කරගත හැකි බව බොහෝ දෙනාගේ අදහසය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පුංචි මිනිසාගෙන් බදු අයකර ගැනීමට දක්වන උනන්දුව ලොකු අය ඉදිරියේ වියැකී යයි. බොහෝ ව්‍යාපාරිකයන් ළඟ මුදල් පොත් දෙකක් ඇති අතර එකක් සත්‍ය මුදල් පොත වන අතර අනෙක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පෙන්වන මුදල් පොතය.
විශේෂයෙන්ම ආදායම් බදු ගෙවීම පැහැර හැරීමට බදු උපදේශකයන්ගේ සේවය ද අත්‍යන්තයෙන්ම බලපාන බව කිව යුතුය. මේ බොහෝ උපදේශකයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ය. බදු අවම කර ගිණුම් සකස් කිරීමට ඔවුන්ට සුවිශේෂ හැකියාවක් ඇත. දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයන්ද ඔවුන්ගේ ගජ මිතුරන්ය. ඒ නිසා සත්‍ය ආදායම නොපෙන්වා සුළු බද්දක් ගෙවා ජාම බේරාගැනීමට හැකි වී තිබේ. එසේම දෙපාර්තමේන්තුවේ පවතින සම්ප්‍රදායික රාජකාරි ක්‍රමයද වැඩ අකාර්යක්ෂම කිරීමට හේතු වී තිබේ. නවීන තාක්ෂණයෙන් ලොව දියුණු රටවල් සන්නද්ධ වෙද්දී අපේ රට තවමත් පැරණි ඉබි ගමනේ යයි.
එසේම විගණන වාර්තාවකින් අනාවරණය වන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්ට හිමිව ඇති බදු ලිහිල් කිරීමේ බලය නිසා රජයට වර්ෂ 2017 සිට 2023 දක්වා වසර 7ක් තුළ රුපියල් 2,138,987,629 (දෙසිය දහතුන් කෝටි අසූනව ලක්ෂ අසූහත් දහස් හයසිය විසිනවය) ක් අහිමි වී ඇති බවය. අධ්‍යක්ෂකට නීතියෙන් බලය තිබුණද එය පාවිච්චි කළ යුත්තේ මෙම වැඩදායක වන පරිදි මිස හානි වන පරිදි නොවන බව කිව යුතුය. එය පසුව හතළිස් අටකෝටි දාසය ලක්ෂ දාහතර දහස් හැත්තෑ අටක් (481,694,078) ක් වූ අතර එය මුළු දඩ මුදලින් සියයට 6.33 වී ඇත. එම දඩ මුදලෙන්ද රජයට බැර කර තිබුණේ සියයට 30ක් වූ දාහතර කෝටි හතළිස් පන්ලක්ෂ අටදහස් දෙසිය විසිහතරක් බව පසුව අනාවරණය විය.
සුරාබදු ආදායම රුපියල් බිලියන 7ක් හිඟ ලෙස අයකර ගැනීමට ඇති අතර එයින් 4ක් ප්‍රමාද ගාස්තු බව කොමසාරිස් ජනරාල් කියයි. හිඟ බදුවලට වසරකට සියයට 36ක පොලියක් අය කෙරේ. 2022 වසරට රුපියල් බිලියන 1.1ක් ගෙවීමට තිබී ඇති අතර එයින් මිලියන 326ක් ගෙවා ඇත. ඉතිරි 777 නොවැම්බර් මස ගෙවීමට එකඟ වී ඇති බව සුරාබදු කොමසාරිස් කියයි. ඔහු අවධාරණය කරන්නේ 2024 වසරට බලපත්‍ර 37ක් නිකුත් කර ඇති අතර බලපත්‍ර අහෝසි නොකර ව්‍යාපාර කරගෙන යාමට ඉඩ දී ඇත්තේ ඒවා අහෝසි කළහොත් බදු අයකර ගැනීම දුෂ්කර නිසාය. ව්‍යාපාර කරගෙන යන ගමන් බදු අයකර ගනී. සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් පරිපාලන පද්ධතියක් (Rasad) ස්ථාපිත කිරීමට අනුමැතිය ලබාගෙන ඇති අතර එයින් පද්ධති අකාර්යක්ෂම වීම, ආදායම් කාන්දු වීම සහ අක්‍රමිකතා අවම කර මහජනයාට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට පහසු වන බව හෙතෙම කීවේය.
ශ්‍රී ලංකාවේ හිඟහිටුවා ඇති බදු පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මෙසේ පවසයි.
''අපේ රටේ හිඟහිටුවා ඇති බදු ආදායම් ගැන සලකා බලන විට එම බදු අයකර ගැනීමට ක්‍රියාමාර්ග නොගෙන අලුතෙන් විවිධ බදු වර්ග පනවන බවක් පෙනෙන්නට තිබෙනවා. අලුත් බදු නිසා විශේෂයෙන් දුප්පත් ජනතාව අසීරුවට පත්වෙන අතර, ඇති හැකි අය කෙසේ හෝ බදු දැලෙන් රිංගා යන්නට සමත් වෙනවා. ඒ නිසා කළ යුතු වන්නේ විවිධ හේතු මත අය කරගත නොහැකිව ඇති බදු අයකර ගැනීමයි. අලුතෙන් බදු වර්ග හඳුන්වා දීම දෙවැනි කාරණයක්.
2022 දෙසැම්බර් 31 දිනට අයකර ගැනීමට පැහැර හැර ඇති බදු ආදායම රුපියල් බිලියන 1131ක්. මෙයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු බදු බිලියන 1066ක් සහ රේගු දෙපාර්තමේන්තු බද්ද බිලියන 58.6ක්. හිඟ සුරා බද්ද බිලියන 6.9 ක්. මේ අතර රුපියල් මිලියන 10ට වඩා බදු නොගෙවා පැහැර හැර ඇති සංඛ්‍යාව 4479ක්. එම ප්‍රමාණය මෙලෙස වෙන් කළ හැකියි.
බිලියන 1ට වඩා බදු පැහැර හැරි සංඛ්‍යාව 90
මිලියන 1000-500 අතර 88
මිලියන 500-300 අතර 104
මිලියන 300-100 අතර 457
මිලියන 100–50 අතර 632
මිලියන 50-10 අතර 3108
මුළු සංඛ්‍යාව 4479
2022 වසරේදී රජයේ බදු ආදායම අඩුවීම රුපියල් බිලියන 409ක් වෙනවා. වසරේ අපේක්ෂිත ආදායම බිලියන 3014ක් නමුත් ලැබී ඇත්තේ මිලියන 2695ක් පමණයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමා විශාල ලෙස හිඟ බදු තබාගෙන ඉන්නේ. එයට හේතු ලෙස ඒ අය දක්වන්නේ කාර්ය මණ්ඩලය අඩුවීමයි. සමස්ත කාර්ය මණ්ඩලය 1400ක් විය යුතු නමුත් දැනට ඉන්නේ 1200කටත් අඩු සංඛ්‍යාවක් බව කියනවා. ඒ ඉන්න අය ද සාම්ප්‍රදායික ලෙස සේවය කරන්නන්ගෙන් වැඩි කොටසකින් සමන්විත වන අතර නවීන තාක්ෂණයට අනුගත වන අය අඩුයි. මගේ අදහස නම් නවීන තාක්ෂණයට යොමු වී බදු එකතු කිරීම කාර්යක්ෂම කළ යුතු බවයි. කාර්තුවෙන් කාර්තුවට බදු ගෙවීම් ක්‍රමය වෙනස් කළ යුතුයි. එවිට කාර්යබහුලතාව අඩු වෙනවා.
එසේම රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුවලද කාර්යක්ෂමතාව අවම වී තිබෙනවා. රේගුව කරන අයකිරීම්වල පාරදෘෂ්‍යභාවය අඩුයි. රේගු පනතට මුවා වෙලා නිලධාරීන් අවිධිමත් ලෙස ආදායම බෙදා ගන්නවා. රජයට ලැබිය යුතු කොටස අඩුයි. පසුගියදා විගණනයේදී අනාවරණය වෙලා තියෙනවා නිලධාරින් තමන්ට හිමි නොවන ත්‍යාග මුදල්ද ලබාගෙන ඇති බව. රේගු වැටලීම් නොකරන අයට පවා ත්‍යාග ලබා දී ඇති අතර මෙම ගෙවීම් සඳහා විධිමත් අනුමැතියක් ලබාගෙන නැති බවද අනාවරණය වී තිබෙනවා. ඒ වගේම තමයි සුරාබදු දෙපාර්තමේන්තුව. එයද නිලධාරිවාදයට යටවෙලා තමයි තියෙන්නේ. හිඟ තියෙන ආයතනවල බලපත්‍ර අහෝසි කරන ලෙස උපදෙස් දුන්නත් ඒ අය ඒවාට අවනත වෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවල ඇමැතිවරයාගේ උපදෙස්වලට පවා ඇහුම්කන් දෙන්නේ නැහැ. සුරාබදු දෙපාර්තමේන්තුවේ හිඟ බදුවලට වැඩිපුර දායකත්වය සලසන්නේ විශාල ලෙස මද්‍යසාර නිෂ්පාදන ආයතන කිහිපයක්. වෙලාවට බලපත්‍ර ගන්න, බදු ගෙවන සමාගම් තියෙනවා. ඒත් ප්‍රබල සමාගම් වෙනස් විදිහටයි කටයුතු කරන්නේ. මේවාට දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින්ද සහාය දෙනවා. රටට විශාල වශයෙන් ආදායම් උපයන ප්‍රධාන ආයතන තම වගකීම් හරි හැටියට ඉෂ්ඨ නොකරන්නේ නම් කොච්චර ආදායම් ඇස්තමේන්තු හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. මේ ආයතන පිළිබඳ වගකිවයුත්තන් මෙයට වැඩි අවධානය යොමුකළ යුතු යැයි මම විශ්වාස කරනවා. මෙම ප්‍රධාන ආයතන තුන මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතු වෙනවා.
දැනට බදු පැහැර හැරීම් පිළිබඳ නඩු 350ක් පමණ පවරා තිබෙනවා. දෙපාර්තමේන්තු අභියාචනා 2934ක් බදු කොමිසමේ පැමිණිලි 2505ක් පමණ විභාග කරගෙන යනවා. මෙම නඩු ඉක්මනින් විසදා අවසන් කළ යුතුයි. බදුකරුවන්ට අවශ්‍ය වෙන්නේ මේවා දිගින් දිගටම අද්දවාගෙන යාමයි. එහෙත් රජය පැත්තෙන් ඉදිරිපත් වී ඉක්මනින් අවසන් කළ යුතු වෙනවා. ඇතැම් නිලධාරින් බදු නොගෙවා කට්ටි පනින ව්‍යාපාරිකයන්ට උදව් කරමින් බදු අයකර ගැනීම ප්‍රමාද කරන බවයි පෙනෙන්නට තියෙන්නේ.
මට පෙනෙන හැටියට නම් අපේ රටේ දැනට බදු අයකර ගැනීමට ඇති නීති රීති හොඳටම ප්‍රමාණවත්. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිසා විශාල බදු මුදලක් රටට අහිමි වෙනවා. ඇස්තමේන්තු කළ ආදායම ලබාගැනීම දුෂ්කරයි. එහෙම දැන දැනත් වැඩිපුර ආදායම පෙන්වීම නිසා අද වනවිට අයවැය ලේඛනය හෑල්ලුවට පත්වෙලා තියෙනවා.* යනුවෙන් සඳහන් කළේය.
I යසවර්ධන රුද්රිගූ