2024 ජුනි 01 වන සෙනසුරාදා

බලාගෙනයි ඩෙංගු හැමතැනම

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

නිරිත දිග මෝසම ආරම්භ වීමත් සමඟ මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇතිව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානම උග්‍ර වෙමින් පවතී.

2024 වසරේ ජනවාරියේ සිට මැයි දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 24,333ක් වාර්තා වී ඇති අතර ඉන් 9 දෙනෙක් මරණයට පත්වූහ. එය වෙනත් වසරවලට සාපේක්ෂව අවම මට්ටමක පැවැතියද පාලනයක් නොකළහොත් මරණ සංඛ්‍යාව වැඩි විය හැකිය. මේ වන විට අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 9ක් හඳුනාගෙන තිබේ. ඒ බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා ප්‍රදේශය, රත්මලාන සහ කැලණිය සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස, මධ්‍යම පළාතේ මහනුවර මහ නගර සභා ප්‍රදේශය, මැණික්හින්න සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසය, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුවිට, කිරිඇල්ල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස  සහ කුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස වේ.  
සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 35% ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල රෝගීන් විශාල වශයෙන් වාර්තා වන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. මහනුවර, කුණෑගල සහ යාපනය යන දිස්ත්‍රික්කවලද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක පවතී. පෙර පැවැති අත්දැකීම් මත මෝසම් වර්ෂාවත් සමඟ අධි අවදානම් ප්‍රදේශ බවට පත් විය හැකි යැයි සැක කළ හැකි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 71 ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් හඳුනාගෙන තිබේ.

ඩෙංගු රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය මේ වන විට කටයුතු කරමින් සිටී. ඒ අනුව පසුගිය මැයි 26 දා සිට ජූනි 1 දා දක්වා ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරෙන අතර දිස්ත්‍රික්ක 15ක වෛද්‍ය නිලධාරි කාර්යාල 71ක් මගින් විශේෂ මදු මර්දන වැඩසටහන් ආරම්භ කර තිබේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස සඳහන් කළේය. 

''ඩෙංගු මර්දන වැඩපිළිවෙළ යටතේ පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර, පොද්ගලික ආයතන, රජයේ ආයතන, ආගමික සිද්ධස්ථාන හා පොදු ස්ථාන ආදී ඩෙංගු බෝවිය හැකි සියලු ස්ථාන අපි පරීක්ෂාවට ලක් කරනවා. මදුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම, ඒවා විනාශ කිරීම සහ එම ස්ථානවල හිමිකවන්ට මදුවන් බෝවීම වැළැක්වා ගැනීම සඳහා දැනුම්වත් කිරීම වැනි කටයුතු සිදු කරනවා. අවදානම වැඩි ස්ථාන සහ රෝගීන් වැඩියෙන් වාර්තා වන ස්ථානවල නිසි පරිදි ධූමායනය කිරීමට පියවර ගන්නවා. එමගින් ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම අවම කර ගැනීමයි අපේ අරමුණ. අපි මුලින්ම ජනතාව දැනුම්වත් කිරීමට සහ ඩෙංගු වළක්වා ගැනීමට ඔවුන්ට උපකාර  කිරීමට පියවර ගන්නවා. එහෙත් දිගින් දිගටම නොසලකා හරින ස්ථාන හමුවුණොත් එම ස්ථානවලට  හා ඒවායේ හිමිකවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.'' යනුවෙන් ප්‍රකාශ කළේය.

2023 වසරේ ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 47කි. සමස්ත රෝගීන්ගෙන් 46.4% ක් වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. ඒ අනුව රෝගීන් 16,948ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්, රෝගීන් 15,419 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ රෝගීන් 4,849ක් කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනිණි. රට පුරා දිස්ත්‍රික්ක රැසක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබූ අතර මේ වසරේ එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් ලෙස හඳුනාගෙන තිබේ.

ඩෙංගු බෝවන්නේ මදුවකු මගිනි. ශ්‍රී ලංකාවේ දැනට මදු විශේෂ 140ක්  පමණ සිටින අතර ඊඩිස් ඊජිප්ටයි හා  ඊඩිස් ඇල්බොපික්ටස් යන මදු විශේෂ දෙක මගින් ඩෙංගු රෝග කාරක වෛරසය පැතිර යයි. ඩෙංගු ආසාදනය නිසා සාමාන්‍ය වෛරස් උණ, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්ත්වයක් ඇතිවිය හැකිය. වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත තත්ත්වය වන අතර අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රෝගී තත්ත්වයන් ඉතා කලාතුරකින් ඇතිවේ. ඩෙංගු උණ වැළඳුණු පුද්ගලයකුට එක්වර ඇතිවන තද උණ, අධික හිසරදය හා ඇස පිටුපස වේදනාව, හන්දිවල හා පේශිවල වේදනාව බොහෝ දුරට ඇතිවන අතර ඇතැම් රෝගීන්ට රතු පැහැති විහිදුණු ස්වභාවයේ දද සහ ඇතැම් අවස්ථාවලදී ලේ ගැලීමේ තත්ත්වයන් ඇතිවේ. ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු ආසාදනයේ තීව්ර රෝගී තත්ත්වයක් වන අතර ඉතා සුළු පිරිසක් මෙම තත්ත්වයට ගොදු වෙති.  

සාමාන්‍යයෙන් සැප්තැම්බර්, ජූනි, ජූලි වැනි මාසවල ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ඇතිවිය හැකිය. ඩෙංගු මදුවා බිත්තර දමන්නේ පිරිසිදු ජලය එක්රුස්වන කුඩා දිය කඩිතිවලය. සාමාන්‍යයෙන් නිරිතදිග මෝසමත් සමඟ බස්නාහිර, දකුණ, වයඹ පළාත්වලට අධික ලෙස වැසි ලැබෙන කාලයකි. ඩෙංගු මදුවන් බොහෝ විට බෝවන්නේ නිවාස ආශ්‍රිතවය. නිවෙස්වල වැහිපීලිවල, ඉවත දමා ඇති ටයර්, ප්ලාස්ටික් භාජන, ටින් බෙලෙක්ක ආදියේ එක්රුස්වන ජලය ඩෙංගු මදුවාට බිත්තර දමන්නට සුදුසු ස්ථාන වේ. ජූනි, ජූලි මාස පායන කාලයක් වන අතර වැස්සත් සමඟ දිය එකතු වූ ස්ථානවල ඩෙංගු මදුවන්ගේ බෝවීම සිදුවිය හැකිය.

කිසියම් පුද්ගලයකුට උණ රෝගය වැළඳී ඇත්නම් එය දින දෙකකට වඩා පවතී නම් ළඟම රෝහලෙන් හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම, උණ වැළඳී තෙවැනි දිනයේ දී සම්පූර්ණ ලේ පරීක්ෂාවක් සිදු කිරීම (වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත), රෝගී අවස්ථාවේ හොඳින් විවේක ගැනීම, රෝගියා කුමන හේතුවක් නිසාවත් වෙහෙසකරභාවයට පත් නොකිරීම සහ වැඩිපුර දියර වර්ග පානය කිරීමට සැලැස්වීම සිදු කළ යුතුය. මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කිරි, කැඳ, පළතු යුෂ, තැඹිලි, සුප් ආදී ද්‍රව්‍ය වේ. රෝගියාට ආහාර චිය ඇත්නම් සාමාන්‍යයෙන් ගනු ලබන ඝන ආහාර ලබා දිය යුතුය. එසේ නමුත් රතු, දුඹු පැහැති ආහාර (බීට්, චොක්ලට්, රතු පැහැති පැණි බීම වර්ග සහ ආහාර වර්ග) ලබාදීමෙන් වැළකිය යුතුය. මෙය මළපහ සමඟ ධිරය යෑමේ අවස්ථාවන් හඳුනා ගැනීමට බාධාවක් වේ. වෛද්‍ය උපදෙස් අනුව උණ සමනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබාගැනීම වැනි පියවර අනුගමනය කළ හැකිය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා