2024 ජුනි 01 වන සෙනසුරාදා

ගුවන් පාලමක් නැතුව තදවෙන බොරැල්ල

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 106

බොරැල්ල යනු කොළොම්පුර ඓතිහාසික නගරයකි. බොරැල්ලේ අතීතය දෙසට මෙන්ම වර්තමානය දෙසට එබී බැලීමද අපි තීරණය කළෙමු. වර්තමානයේදී කොළඹ 8 ලෙස හැඳින්වෙන බොරැල්ල මංසන්ධිය ජනාකීර්ණ වීමට පටන් ගත්තේ අදක ඊයෙක සිට නොවේ. කලක කරත්තකරුවන්ගෙන් සහ වෙළෙඳුන්ගෙන් පිරී ගිය බොරැල්ල මේ වන විට කොළඹ කොටුවට පමණක් දෙවැනි වන කොළඹ ප්‍රධානතම සහ විශාලතම උප නගරය බවට පත්ව සිටී. 

බොරැල්ලේ ඉතිහාසය පිළිබඳ සොයා ගිය පිරිස් සඳහන් කොට ඇති පරිදි බොරැල්ල යනු බොරළු ඇති බිම යන්නට සමාන පදයකි. ඒ නිසාම බොරැල්ලට මේ නම ලැබෙන්නේ මෙම ප්‍රදේශයේ භූමියේ පිහිටීම අනුව බව පෙනී යයි. ඉතිහාසඥයන්ගේ අදහස්වලට අනුව පෘතුගීසින් ද මේ පෙදෙස හැඳින්වූයේ ගල් ගොඩැල්ල, බොරළු කන්ද (Outeirinho das Pedras) ලෙසිනි. අතීතයේ දකුණේ සිට කොලොම්පුර පැමිණෙන කරත්තකරුවන්ගේ ප්‍රධාන නැවතුමක් වූයේ බොරැල්ල මංසන්ධියයි. එම කරත්තකරුවන් පිටුපස ආ තරුණයන් පසු කලෙක බොරැල්ල කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණ ව්‍යාපාරිකයන් බවට පත් වූ කතා ද කොතෙකුත් අප අසා ඇත. 

බොරැල්ලේ දේශපාලන ඉතිහාසයද ඉතා රසවත් කතාවලින් මෙන්ම සුවිශේෂී චරිතවලින් පිරී යන්නකි. ශ්‍රී ලංකාවට නිදහස රැගෙන ඒමට මූලික වූ සේනානායක පරපුරේ ක්ෂේම භූමිය වූයේ බොරැල්ලේ ‘‘&වුඩ්ලන්ඩ් මන්දිරය’’යි.  එසේම මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධූරය දැරෑ ජේ.ආර්. ජයවර්ධන මහතා මියයන තුරුම පදිංචි වී සිටියේ ද බොරැල්ල වෝඩ් පෙදෙසේ බවද අමතක කළ නොහැකිය. බොරැල්ල ශ්‍රී ලාංකීය වාම ව්‍යාපාරයේ නායකයන්ගේද නිජබිමක් වූ බව සිහිපත් කළ යුතුමය.
වර්තමානයේදී බොරැල්ල කොළඹ විශාලතම උප නගරය ලෙස හඳුන්වනු ලබයි. මෙය බහු වාර්ගික බහු ආගමික නගරයක් වන අතර වාර්ගිකත්වය සැලකීමේදී සිංහල සහ දමිළ ජනතාව බොරැල්ලේ වැඩි වශයෙන් ජීවත් වෙති. වර්තමානයේ බොරැල්ල නගරාසන්න ප්‍රදේශය වෝඩ් පෙදෙස, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත (බේස්ලයින් පාර), ඥානාර්ථ ප්‍රදීපය පාර සහ දොස්තර එන් එම්. පෙරේරා මාවත (කොටා පාර) යන මාර්ග මුණගැසෙන පස්මං සන්ධිය නිසාවෙන් අතිශය කාර්යබහුල වී ජනාකීර්ණ නගරයක් වී තිබේ. 

වර්තමානයේ බොරැල්ලේ අපට අමතක කළ නොහැකි විශාලතම හිසරදය නම් රථවාහන තදබදයයි. මෙම තදබදය වැළැක්වීමේ අරමුණින් කලක උමං මාර්ග පද්ධතියක් සකසා ඇතත් වර්තමානයේ කොතරම් ඵලදායීද යන්න ගැටලු සහගතය. මේ වන විට එහි ඇතැම් ස්ථානවල විදුලි පහන් පවා නොමැති අතර, යාචකයන්ගෙන් සහ අවිධිමත් වෙළෙඳුන්ගෙන් එම උමං පද්ධතිය පිරී ගොස් තිබේ.

ක්‍රමයෙන් වර්ධනය වූ රථවාහන තදබදය ද මෙම මාර්ග පද්ධතිය සකස් කළ කාලයට සාපේක්ෂව තුන් හතර ගුණයකින් වර්ධනය වී ඇත. බොරැල්ල රථවාහන කළමනාකරණය සඳහා ගුවන් පාලමක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක අවශ්‍යතාවය මතුව ඇත්තේ ඒ අනුවයි. මේ පිළිබඳව විවිධ කාලවකවානුවලදී කොතෙකුත් සාකච්ඡා සිදුව ඇතත් තවදුරටත් ඵලදායී විසඳුමක් යෝජනා වී නොමැත.

කොළඹ ශීඝ්‍ර සංවර්ධනයේදී කුඩම්මාගේ සැලකිලි ලැබුණු නගරයක් ලෙස බොරැල්ල හැඳින්වූවාට වරදක් නැත. සුඛෝපභෝගී වෙළෙඳ සංකීර්ණ ඇතුළු කඩ සාප්පු කොළඹ නගරයේ තැන තැන ඉදිවුවත් බොරැල්ල තාම පැරුණිය. බොරැල්ල වෙළෙඳ සංකීර්ණය බොරැල්ල පිළිබඳ සංකේතාත්මක අර්ථයෙන් වැදගත් වුවද එය ඵලදායී ගොඩනැගිල්ලක් නොවේ. මේ වන විටත් එය ජරාජීර්ණ වී ඇති අතර අවම පහසුකම් හේතුවෙන් එය භාවිත කරන පිරිස් පීඩාවට පත්ව සිටිති.

කොළඹ නගරයේ ප්‍රධාන පස්මං හන්දියේ නගරයට අභිමානයක් එක් කරන පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පාලකයන් මැලි වූයේ මන්ද යන්න ගැටලුවකි. සැබෑවටම පැරුණි බොරැල්ල අලුත් කිරීමට දැන් කාලය එළැඹ තිබේ. විධිමත් නගර සංවර්ධන සැලැස්මකට අනුව බොරැල්ල සැලසුම් කිරීමේ වගකීම පාලකයන් සතුය.

බොරැල්ලට ආසන්නයෙන් ගමන් කරන දුම්රිය මාර්ගය පිළිබඳවද යමක් සඳහන් කළ යුතුමය. සීමිත දුම්රිය ගමන් මාර්ගවලට පමණක් සීමා වී ඇති මෙම දුම්රිය මාර්ගයෙන් ඇත්තෙන්ම මගී ජනතාවට ඵලදායී සේවාවක් සපයන්නේ ද යන්න ගැටලුවකි. මෙම මාර්ගය සම්බන්ධවද පැහැදිලි අධ්‍යයනයක් කොට එය ඵලදායී ලෙස භාවිත කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කළ යුතුව තිබේ. මෙම මාර්ගය අවට දැකගත හැකි අවිධිමත් ඉදිකිරීම් පිළිබඳවද සැලකීමත් වීම වැදගත්ය.

වනාතමුල්ල ප්‍රමුඛව බොරැල්ල අවට පවතින වතු ප්‍රමාණය ද ඉතාම ඉහළය. එම නිසාම තවදුරටත් බොරැල්ල අපරාධ සඳහා ක්ශේම භූමියක් වී ඇති බවද අකමැත්තෙන් වුවත් සිහිපත් කළ යුතුය. විශේෂයෙන්ම මත්කුඩු, අයිස් භාවිතය හුරු වූ පිරිස් සිය ගණනක් මෙම නගරය ආශ්‍රිතව ජීවත් වන බව නිරීක්ෂණය වේ. ඒ හේතුවෙන් නිරන්තර සොරකම් කිරීම් ඇතුළු විවිධාකාර අපරාධ බොරැල්ල සහ තදාසන්න ප්‍රදේශවල වාර්තා වේ. විටින් විට මෙහෙයුම් දියත් කළද මෙම අපරාධ වළකාලීම සඳහා විධිමත් සැලැස්මක් නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වූයේ ද යන්න ගැටලුවකි.

බොරැල්ලේ ඇති සුවිශේෂීත්වයන් අතර උපත සහ මරණය එකම නගරයක ලෙස කීර්තියට පත්වීම කැපී පෙනෙන්නකි. ශ්‍රී ලංකාවේ දරු උපත් සම්බන්ධව ඉතා කීර්තිමත් රිජ්වේ ආර්යා ළමා රෝහල පිහිටා ඇත්තේ බොරැල්ලේ ය. එසේම මරණය සහ සුසානය පිළිබඳ කතා කරන විට කා හටත් සිහිපත් වන්නේ බොරැල්ල කනත්තයි. වසර අවුරුදු 150 කට අධික ඉතිහාසයක් ඇති බොරැල්ල සුසාන භූමිය නිල වශයෙන් සුසාන භූමියක් ලෙස නම් කොට ඇත්තේ ඇත්තේ 1866 වසරේදීය.

ඒ අනුව බොරැල්ල යනු ලක්ෂ සංඛ්‍යාත දෙනා මිහිදන් වූ මෙරට ඓතිහාසික නගරයකි. මෙරට කීර්තිමත් දේශපාලනඥයෝ, ව්‍යාපාරිකයෝ, කලාකරුවෝ බොරැල්ලේ සදාතනික නින්දක පසුවෙති. කවරක් වෙතත් බොරැල්ල කනත්ත බොරැල්ලට අනන්‍යතාවයක් රුගෙනවිත් ඇති බව සඳහන් කොට තැබිය යුතුමය. බොරැල්ල කනත්ත, බොරැල්ල මල්ශාලා ආදිය මෙම පුරවරයට එක් කර ඇත්තේ වෙනත් කිසිදු නගරයකට නොමැති වෙනස්ම හැඩයකි.

බොරැල්ලේ වන බහු වාර්ගික බහු ආගමික ස්වභාවය ද මෙම සාකච්ඡාවේදී මගහැර යා නොහැකිය. බොරැල්ල විවිධ ආගමික කඳවුරුවල මූලස්ථාන රුසකට සිය භූමිය වෙන් කොට තිබේ. බොරැල්ලේ පවතින වාර්ගික සමගිය, සංස්කෘතික විවිධත්වය සමඟ බැඳුණු චමත්කාරයද අවසානයේ අගය කළ යුතුය. කීර්තිමත් පාසල්, රෝහල්, ක්‍රීඩාංගණ ඇතුළු බොරැල්ල සරසාලීමට හැකි සුවිශේෂී ස්ථාන මෙම පුරවරය සතුය. එහෙත් බොරැල්ලට සැබෑ සාඩම්බරයක් එක් කිරීමට නම් බොරැල්ල අලුත් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුමය.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:04