2024 ජුනි 01 වන සෙනසුරාදා

අලුත් ආර්ථික පනතෙන් ආයෝජන මණ්ඩලය යයි: ආර්ථික කොමිසමක් එයි

2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:0039

ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පතක් රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත. මෙම පනත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ආර්ථිකය පරිවර්තනය කරන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා විධිවිධාන සැලසීම අරමුණු කරගෙන, ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන කාර්යාලය, ජාතික ඵලදායීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල 1978 පනත ඉවත් කිරීම සඳහා ද මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව දැක්වේ. අනාවරණය කරන තොරතුරු අනුව මෙම කෙටුම්පත ශ්‍රී ලංකාවට ආයෝජන ලබා ගැනීමේ වටපිටාව දියුණු කිරීම වෙනුවෙන් යෝජනා සැලසුම් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයෙහි පිහිටවූ විශේෂ කමිටුවක් විසින් සකස් කර ඇති අතර රාජ්‍ය ව්‍යුහයෙහි සැලකිය යුතු වෙනස්කම් සිදු කර සංවර්ධනය සඳහා තීන්දු ගැනීමට අවකාශ ලබාගැනීම අපේක්ෂා කරන බව දැක්වේ.

නිදහස ලැබුණු දිනයේ සිට ශ්‍රී ලංකාව අණ පනත්, සැලසුම් හා කඩිනම් ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් හඳුන්වා දී ඇත. ආණ්ඩුවක් ඉදිරිපත් කරන සැලසුම් ඊළඟ ආණ්ඩුව පත් වූ වහා විනාශ කෙරේ. අලුතින්ම වැඩපිළිවෙළ සකස් කිරීම අනතුරුව අරඹයි. ආණ්ඩුවක නිල කාලය අවසන් වන තෙක් පනත් වෙනස් කරන අතර අලුත් ආයතන පිහිටුවීමට මැති ඇමැතිවරු පියවර ගනිති. ඡන්දයට එන විට රටට අලුතින් සිදු වූ දෙයක් නැත. දූෂණ, වංචා සහ හොරකම් යන චෝදනා පමණක් රටට ඉතිරි වේ.

• බලය ලැබෙන රාමුව වෙනස් කිරීම

මෙරට ක්‍රමවේද අනුව මෙතෙක් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ස්ථාපිත කර තිබුණි. 1978 දී ඇති කරන ලද පනතක් අනුව විශේෂ බලතල සහිත ආයෝජන මණ්ඩලය ඇති කරන ලදී. පසුව ආයෝජන කලාප ඇති කරන ලද අතර ඒවාට විශේෂ පහසුකම් සපයා ආයෝජන කැඳවා ගැනීමටත්, අපනයනය වැඩිදියුණු කර විනිමය උපයා ගැනීමට පියවර ගැනීමටත් කටයුතු කළේය. දශක හතරහමාරකට පසු මෙම ප්‍රයත්නයෙහි අසාර්ථකභාවය නිරීක්ෂණය වී තිබේ. ආයෝජන මණ්ඩලයේ කටයුතු සොයා බැලීමෙන් පසු ඉතාම සුපිරි වරප්‍රසාද සැපයෙන නමුත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට එකක පමණ හෝ විදේශ ආයෝජන රටට ගෙන්වා ගන්නට අසමත්ව ඇත. නිලධාරීන්ගේ දුබලතා එක පැත්තකින් පවතින අතර අනෙක් පැත්තෙන් විපක්ෂ දේශපාලන කණ්ඩායම්, වෘත්තීය සමිති හා විකල්ප මතධාරීන් ගෙන යන අරගල හේතු කොටගෙන ආර්ථික හා සමාජ ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම දුෂ්කර වී තිබේ. රටට එන ආයෝජකයන්ට විශ්වාසයක් ඇති කරන පියවර ගැනීමට අපොහොසත්ව ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ධනය ඇති පිරිස් රටට පැමිණ මුදල් යොදවන සූදානමක් නැත. 

මෙම පනත් කෙටුම්පත දක්වන පරිදි ආර්ථික අර්බුදයක් ඇතිවීම වළක්වනු ඇත. රජයේ ණය ගෙවීම 2023 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට අනූ පහ දක්වා අඩු කරන පියවර අතට ගනී. මධ්‍යම ආණ්ඩුවේ වාර්ෂික දළ මුදල් සැපයුම පාලනය කරන අතර ණය සේවා කරන අනුපාතය ද පාලනය කරන බව දක්වයි. ආණ්ඩුව ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහකරණය කිරීම, තරගකාරීත්වය වැඩි කිරීම සඳහා ජාතික ආර්ථිකය විවිධාංගීකරණය සහ දැඩි ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට මෙම පනත යටතේ පිහිටුවනු ලබන ආයතනවලට බලය ලැබේ. ඇමැතිවරුන් අමාත්‍යංශ පාලනය කරන අතර දෙපාර්තමේන්තු ඔවුන් යටතේ පවතින නමුත් මෙම පනතින් ස්ථාපිත කරන ආයතන කිහිපයකට ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සිට, ජාතික ආර්ථිකය විවිධාංගීකරණය කරන දැඩි ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට බලය ලැබුණු පසු ඇමැතිවරුන් හෝ කැබිනට් මණ්ඩලයක් අවශ්‍යද?

• මහ බැංකුවේ සිට මුදල් අමාත්‍යංශය දක්වා 

ශ්‍රී ලංකාවේ ආධාර වැඩපිළිවෙළ, ණය ගැනීම හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් බලතල ඇති ආයතන පද්ධතියක් තිබේ. මහ බැංකුව හා මහා භාණ්ඩාගාරය එහි මර්මස්ථානයන්ය. විද්වත් පිරිස් දැනටමත් පෙන්වා දී ඇති පරිදි මෙම ආයතන හසුරුවන ආර්ථික පද්ධතියෙන් සැලකිය යුතු පරාසයක් අලුත් ජාතික ආර්ථික පරිවර්තන ප්‍රතිපත්ති පනත් කෙටුම්පත යටතේ ඇති කරන ක්‍රමවේදවලට නීතිගත කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කිරීම යෝජනා වී ඇති අතර දස දෙනකුගෙන් සමන්විත ‘ආර්ථික කොමිසමක්’ ස්ථාපිත කෙරෙන බව දක්වයි. කොමිසමේ දස දෙනා අතරින් ජනාධිපතිවරයා පත්කරන නියෝජිතයා සභාපතිවරයා වශයෙන් පත්වනු ඇත. අනෙක මෙම කොමිසම අවම වශයෙන් මාස තුනකට වතාවක් මුණගැසෙන අතර පස්දෙනකුගේ හමුවකින් තීරණගත හැකි වේ. ජනාධිපතිවරයා පත්කරන පුද්ගලයකු ඇතුළු අවම වශයෙන් හතර දෙනකුට සමහරවිට මාස තුනකට වතාවක් මුණගැසී ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධන සැලැස්මකට ඇතුළු කිරීම මෙම පනත මගින් අරමුණු කරන බව පෙනේ. කෙසේ වෙතත් හිටපු දේශපාලනඥයන්ට සහ බංකොලොත් පුද්ගලයන්ට ආර්ථික කොමිසමට සම්බන්ධ විය නොහැකි බවට වගන්තියක් ඇතුළු කර තිබීම සැලකිය යුතු කරුණකි. කෙසේ වෙතත් ජාතික ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇමැතිවරයාට උපදෙස් දීමට, එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෝජිත ආර්ථික කොමිසම යටතේ තවත් ආයතන සතරක් පිහිටුවනු ලැබේ. මෙම අලුත් ආයතනවලටද පත්වීම් කෙරෙන අතර ඔවුන්ගේ වැටුප්, දීමනා, කාර්යාල නඩත්තුව රජයේ අයවැය ලේඛනයෙන් බව දැක්වේ.

මෙම පනත මගින් සිදු කරන වෙනස්කම්වලින් පසු විශේෂ පනතකින් බලගන්වා ස්වාධීන කරන ලද මහ බැංකුවේ වගකීම කුමක්ද යන්න පැහැදිලි නැත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය හදන්නට විද්වතුන් අවශ්‍ය අතර එම විද්වතුන් මහ බැංකුව හැර යාම වළක්වනු අරමුණෙන් අධික වැටුප් සහිත රාමුවක් සකස් කිරීමෙන් පසු පවා එම විශේෂිත අංශවලින් ස්වාධීනව ලබාගන්නා උපදේශ හා මෙම යෝජිත ආර්ථික කොමිසම හා මුදල් අමාත්‍යංශය යා කෙරෙන නවීන ක්‍රමවේදය රටට හඳුන්වා දිය යුතුය.

• පනත් වෙනස් කරන හදිසිය 

මෙම පනත සම්මත කිරීමෙන් පසු  ශ්‍රී ලංකාවේ තීරණ ගැනීමේ පසුබිම සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම් සිදුවන බව පෙනේ. ජනාධිපතිවරණයකට මාස කිහිපයක් තිබියදී මෙවැනි අතිශය බරපතළ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිකරන පනතක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පෞද්ගලීකරණය නතර කරන අතර ඉදිරි මැතිවරණයකින් ජනවරමක් ලබන කණ්ඩායමට රජය සතු ව්‍යාපාර ගැන තීරණ ගැනීමට ඉඩ දෙන ලෙස යෝජනා කළේය. එවැනි පසුබිමක් දේශපාලන මතවාද අතර තිබියදී  ජාතික ප්‍රතිපත්ති පරිවර්තනයකට ලක් කිරීමට යෝජනා කිරීම සාධාරණ තත්ත්වයක් නොවේ.

පනත් කෙටුම්පත අනුව යෝජිත රාමුවට ලැබෙන බලතල ප්‍රකාරව මෙරට සියලුම රජයේ ආයතනවලට සහයෝගයෙන් ක්‍රියා කරන්නට සිදුවේ. දෙස් විදෙස් ආයෝජන සඳහා ඍජුව ක්‍රියාත්මක වන බලය ඇති අතර අනුමත අවසර පත්‍ර නිකුත් කළ හැකි වේ. ආයෝජනයක් සඳහා අවසර ඉල්ලා දින දහහතරක් ඇතුළත අදාළ ආයතනය පිළිතුරු ලබා දිය යුතු අතර එය කළ නොහැකි නම් දින විසි එකක් ඇතුළත කළ නොහැකි හේතුව දක්වන්නට අවශ්‍යය. 

පනත අනුව ඉන්වෙස්ට් ශ්‍රී ලංකා යනුවෙන් ආයතනයක් ද පිහිටුවනු ඇත. මෙම ආයතනයට විදේශ ආයෝජන සම්බන්ධ පුළුල් වගකීමක් බාර වී ඇත. සංවර්ධන අභිලාෂ මුදුන් පමුණුවා ගැනීම අරමුණු කරගෙන දෙස් විදෙස් ආයෝජන සඳහා ඉඩ දීම, ඒවාට ලැබෙන පහසුකම්, බදු සහන යනාදිය තීරණය කරගත හැකි පරිදි වපරිසය දක්වන අතර රජයේ නිලධාරීන් වශයෙන් දූෂිත තත්ත්වයන්ට ගොදුරු වීම වළක්වන විශේෂ උපමාන දක්වා ඇති බවද පනත පෙන්නුම් කරයි.

• ඉලක්කම් ගැන කරන අනාවරණ

ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩුම වශයෙන් සියයට පහක වේගයෙකින් පවත්වා ගැනීම ගැන මෙම පනත බලාත්මක කර ඇත. මහ බැංකුව දක්වන පරිදි 2024 වසරේ දී ද සියයට දෙකක පමණ වර්ධනයක් පුරෝකථනය කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ සංවර්ධනය 2024 වසරේ දී සියයට 1.9 ක් විය හැකි අතර ඉදිරියේ දී ද සියයට තුන ඉක්මවීම අපහසු බව දක්වා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන දර්ශනය අනුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය වසර 2048 දක්වා ඈතට විහිදෙන බව මෙහිදී මතක් කළ යුතුය. එසේ තිබිය දී පනත් කෙටුම්පතක් මගින් බලය පවරන රාමුවකට සියයට පහක ආර්ථික වර්ධනයක් රටට ළඟා කර දිය යුතු බවට කරන සඳහන ගැටලුවකි. ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය හා එයට වගකිවයුතු අංශ අනාවරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව විශේෂ කමිටුවක් පත්කර කරුණු සොයා බැලීය. මෙම අලුත් පනත අනුව කටයුතු කර පනත බල කරන සියයට පහක ආර්ථික වර්ධනය ළඟා කරගත නොහැකි වුවහොත් එහි වගවීම ගැන විනිශ්චය කුමක් විය හැකිද?
පනත අනුව අලුතින් ආයෝජන කලාප පිහිටුවනු ඇත. මෙම කලාපවල ලබාදෙන පහසුකම් සහ ස්ථාපිත කරන ප්‍රදේශ තීරණය කරන්නට නියමිතය. විදුලිය, ජලය, මාර්ග, නවීන තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම ආණ්ඩුවේ වගකීමකි. ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශවලට දුරකථන හා අන්තර්ජාල පහසුකම්වල පවතින දුබලතා නොදන්නෝ නොවෙති. පහසුකම් වැඩිදියුණු කරනු සඳහා වැය කරන්නට ආණ්ඩුවට වත්කමක් නැති බවද නොරහසකි. කොළඹ වරාය නගරයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට රජයට සැලකිය යුතු වෑයමක් දරන්නට සිදුවී තිබේ. මේවා රටක් වශයෙන් දැනට මුහුණ දී ඇති සංකීර්ණතා වන අතර අතිරේක කාරණා කෙසේ වෙතත් ආණ්ඩුව හා අමාත්‍යංශවල බලතල සැලකිය යුතු ප්‍රමාණයකින් අධි ශ්‍රේණිගතව සුළු කණ්ඩායමකට පැවරීම තුළින් ඇතිවිය හැකි වාසි අවාසි දීර්ඝව සාකච්ඡා කර තීරණ ගතයුතු බව පෙන්වාදිය යුතුය.

I සාරා කන්දෙගොඩ