ශ්‍රී ලංකාවේ කම්කරු ජනතාව අතරින් ඉතාමත් දුෂ්කර දිවිපෙවෙතකට හිමිකම් කියන්නෝ වතු කම්කරුවෝය. තමන්ට ජීවත්වන්නට තරම් ප්‍රමාණවත් වැටුපක් ලබාදෙන ලෙසට ඔවුහු සියලු බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ බොහෝ කලක සිටය. තමන්ට දැනට දිනකට ලැබෙන රුපියල් 1000 වැටුප රුපියල් 1500ක් දක්වා වැඩි කරන ලෙස ඔවුහු කලක සිට ඉල්ලීම් කළහ. රුපියල් 1000 දෛනික වැටුප හිමිවන්නේ දිනකට තේ දලු කිලෝ 18ක් සැපයුවහොත් පමණක් වන අතර රුපියල් 1000ක් හිමි නොවන වතු කම්කරුවන් විශාල පිරිසක් සිටින බවද වාර්තා වේ. වතු කම්කරුවන්ට වැඩ ලැබෙන දින ගණන තීරණය වන්නේ වත්තේ ස්වභාවය අනුවය. ඇතැම් වතුවල කම්කරුවන්ට මාසයකට දින 14ක්වත් වැඩ ලැබෙන්නේ නැත. එහෙත් සමහර වතු සමාගම් රුපියල් 1200ක් වැනි දෛනික දීමනාවක් ගෙවීමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ.
තේ වැවීමේ සහ සැකසීමේ සහ රබර් වැවීමේ සහ රබර් සැකසීමේ නියුතු කම්කරුවන්ට ගෙවිය යුතු අවම වැටුප නියම කිරීම සඳහා කම්කරු හා විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් කම්කරු කොමසාරිස්වරයා වෙත බලය පැවරීමට පියවර ගත්තේ පසුගියදාය. ඒ අනුව පසුගිය අප්‍රේල් මස 30 වැනිදා සිට බලාත්මක වන පරිදි කම්කරු කොමසාරිස් එච්.කේ.කේ.ඒ. ජයසුන්දර මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය. එම ගැසට්ටුව පරිදි දෛනික වැටුප රුපියල් 1350ක් සහ දෛනික විශේෂ දීමනාව රුපියල් 350ක්ද වශයෙන් රුපියල් 1700ක දෛනික ගෙවීමට තීරණය වී තිබිණි. ඒ හැර වැඩිපුර ගෙනෙන සෑම කිලෝවක් සඳහා රුපියල් 80ක ගෙවීමක් ලබා දීමටද පියවර ගෙන තිබේ.
මෙරට තේ වතුවලින් 75% ක් වතු සමාගම් සතුව ඇති අතර 25% ක් පමණ කුඩා තේ වතුය. තේ නිෂ්පාදනය සලකා බැලීමේදී කුඩා තේවතු සමස්ත නිෂ්පාදනයෙන් 75% ක් ද සමාගම් යටතේ ඇති වතුවලින් 25% ක්ද නිෂ්පාදනය කෙරෙන බව වාර්තා වේ.
වතු කම්කරු වැටුප වසර දෙකින් දෙකට ඉහළ දැමීම සඳහා වන ගිවිසුමටවතු වෘත්තිය සමිති හා වතු හාම්පුතුන්ගේ සංගමය අත්සන් තැබුවේ වසර 1999 දීය. එම ගිවිසුම ප්‍රකාරව වතු කම්කරු වැටුප 2015 අප්‍රේල් මස ඉහළ දැමිය යුතුව තිබුණද, වතු පාඩු ලබන බව කියමින් වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බව හාම්පුතුන්ගේ සංගමය පැවසුවේය. අවසානයේ එම වැටුප් වැඩිවීම සිදුවූයේ 2016 ඔක්තෝබර් මස 15 දිනය. ඒ අනුව වතු කම්කරු ජනතාවගේ ඊළඟ වැටුප් වැඩිවීම සිදු කළ යුතුව තිබුණේ 2018 ඔක්තෝබර් මස 15 දිනය. එහෙත් එම වැටුප් වැඩිවීම සිදුවූයේ ඊට මාස තුනකට පසුවය.
අවසන් වරට වැටුප් වැඩිවීමට පෙර වතු කම්කරුවකුගේ දෛනික මූලික වැටුප වූයේ රුපියල් 500.00 කි. අර්ථසාධකයට, සේවා භාරකාර අරමුදලට, ප්‍රසූත හා පාරිතෝෂික දීමනා ආදී සියල්ලට අදාළ මුදල් ගෙවීම් කරන්නේ මෙම මුදල පාදක කර ගනිමිනි. මාසයක වැඩ කරන දින ගණනින් 75% ක් ආවරණය කළ පසු පැමිණීමේ දීමනාව වශයෙන් දෛනික වැටුපට රුපියල් 60.00 ක් එකතු විය.
මිල මත පදනම් වන දීමනාව ලෙස රුපියල් 30.00 ක් හා වැඩ ඉලක්ක සපුරාලූ විට තවත් රුපියල් 140.00 ක මුදලක් එකතු වූ අතර මේ සියල්ල ගත්විට දෛනික කම්කරු වැටුප රුපියල් 730.00 ක් විය. අමතරව කඩන තේ කිලෝවක් වෙනුවෙන් රුපියල් 25.00 බැගින් ලබාදීමට වතු පාලනාධිකාරිය කටයුතු කරන බව පැවසුවත් අදාළ ඉලක්ක සැපිරුවේ සමස්ත වතු කම්කරුවන්ගෙන් 35% ටත් අඩු පිරිසක් බව පැවසේ. තම වැටුප රුපියල් 1000 කරන ලෙසට වතු කම්කරුවන් හා වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව 2021 අප්‍රේල් 10 දා සිට ඔවුන්ගේ වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමිණි.
2024 මැයි 1 දින ජනාධිපතිවරයා වතු ජනතාව අමතමින් ඔවුන්ගේ වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගත් බව ප්‍රකාශ කළේය. මෙම තීරණය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය කරමින් වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ රුපියල් 1000 ලෙස පවතින වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගත්තද තේ නිෂ්පාදනය සඳහා වන ඉහළ පිරිවැය හමුවේ තමන්ට මෙම වැඩි කළ වැටුප ලබා දිය නොහැකි බවටය. අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අධිකරණ පියවර ගැනීමට තමන් කටයුතු කරන බවද එම සංගමය ප්‍රකාශ කළේය.
වැඩි කළ වැටුප නොගෙවන වතු සමාගම්වල බදු ගිවිසුම් අහෝසි කොට වෙනත් සමාගම්වලට ලබා දීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ මේ අතරය.
''රජයේ වතු බද්දට ගත්ත වැවිලි සමාගම් 24ක් විතර තිබෙනවා. රජය විසින් වැඩි කළ අවම වැටුප ගෙවිය නොහැකි යැයි ඇතැම් වතු සමාගම් ප්‍රකාශ කරනවා නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යංශයෙන් කමිටුවක් පත් කරනවා. එම කමිටුව මගින් සොයා බලන්නේ මෙය බාහිර ප්‍රශ්නයක්ද නැතිනම් ඔවුන්ගේ කළමනාකරණයේ දුර්වලතාවක්ද කියලයි. ඔවුන්ගේ කළමනාකරණයේ දුර්වලතාවක් නිසා මෙම තත්ත්වය නිර්මාණය වී ඇත්නම් ඔවුන් සමඟ පවතින බදු ගිවිසුම් වෙනස් කරලා අලුත් ආයෝජකයන්ට එම වතු සමාගම් ලබා දීමට කටයුතු කරනවා.'' යනුවෙන් සඳහන් කළේය.
ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රෝෂාන් රාජදුරේ මහතා ප්‍රකාශ කළේ තමන් සමඟ සාකච්ඡාමය එකඟතාවකට නොපැමිණ ආණ්ඩුව රුපියල් 1700ක දෛනික වැටුපක් යෝජනා කර ඇති බවටය.
''ආණ්ඩුව මේ වන විට යෝජනා කර ඇති වැටුප ගෙවුවහොත් තේ කිලෝවක නිෂ්පාදන වියදම අවම වශයෙන් රුපියල් 1500ක් වැනි අගයකට යනවා. ගිය වසරේ දෙසැම්බරයේ අපට තේ කිලෝවකට ලැබුණේ රුපියල් 1072යි. යම් හෙයකින් තේ වෙන්දේසියේදී තේ කිලෝවක මිල අවම වශයෙන් රුපියල් 1500 වැනි අගයක පැවතියහොත් වතු සමාගම්වලට ආණ්ඩුව ගැසට් කර ඇති දෛනික වැටුප ගෙවීමට හැකි වේවි. එය ලෝක වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම අනුව තීරණ වන්නක්. ආණ්ඩුව අපේක්ෂා කරන වැටුප ලබා දීමට නම් කුඩා තේ වතු අංශය කරනවා වගේ නිෂ්පාදන ඵලදායිතාව වැඩි කළ හැකි ආදර්ශකයක් අපි ආණ්ඩුවට ඉදිරිපත් කළා. කුමන හේතුවක්ද මත ද දන්නේ නැහැ ඔවුන් එය පිළිගන්නට කැමැති නැහැ. එහෙත් එම ආදර්ශකය දැනටමත් ඇතැම් වතුවල ක්‍රියාත්මක වෙනවා. ඇතැම් වතු සේවකයන් මසකට රුපියල් 45,000ක් 50,000ක් වගේ වැටුපක් ගන්නවා මේ ක්‍රමය යටතේ. ගෙව්වෙ නැත්නම් නඩු දානවා. නැතිනම් සමාගම්වල බදු ගිවිසුම් අහෝසි කරනවා කියන එක ඉතා අසාධාරණයි.'' යනුවෙන් සඳහන් කළේය.
වතු සේවක වැටුප සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සේනක අලවත්තේගම මහතා ප්‍රකාශ කළේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා සමඟ අවස්ථා තුනකදී සාකච්ඡා කළ බවයි.
''ඒ සෑම සාකච්ඡාවකටම කම්කරු ඇමැතිවරයත් සහභාගි වුණා. ඔවුන්ට වැවිලිකරුවන් වශයෙන් අප මුහුණ දෙන ගැටලු සියල්ල ඉදිරිපත් කළා. රජය විසින් නිර්දේශ කර ඇති වැටුප ගෙවීමට ඇති බාධක අප පැහැදිලි කළා. අපි කම්කරු ඇමැතිවරයාට ප්‍රකාශ කළා අසීරුවෙන් හෝ රුපියල් 200යේ දීමනාව මූලික වැටුපට එකතු කරන්නම් කියලා. ඒ අනුව රුපියල් 200ක වැටුප් වැඩිවීමක් දිය හැකි බව පෙන්වා දුන්නා. එවිට වතු සේවකයකුගේ දෛනික අවම වැටුප රුපියල් 1380ක් වෙනවා. නියමිත ප්‍රමාණයට වඩා ගෙනෙන දලු කිලෝවක් සඳහා ගෙවන රුපියල් 40ක ගෙවීම රුපියල් 80ක් දක්වා ආණ්ඩුව සියයට සියයකින් වැඩි කර තිබෙනවා. අපි යෝජනා කළේ එය සියයට 50කින් වැඩි කරන ලෙසටයි. මෙම කර්මාන්තය දිගටම පවත්වාගෙන යෑමට නම් එය රුකගත යුතුයි. රුපියල් 1700ක අවම වැටුපක් ලැබෙන බව දැනගත්තම වතු සේවකයන් නියමිත ප්‍රමාණයට දලු ලබා දීමෙන් වැළකී සිටිය හැකියි. ඒ කියන්නේ ඔවුන් දලු කිලෝ 5ක් කැඩුවත් 10ක් කැඩුවත් ඔවුනට රුපියල් 1700ක වැටුප ලැබෙන බව දන්නවා. එවිට ඔවුන් අවම දලු ප්‍රමාණයක් කඩල උපරිම වැටුප ලබා ගැනීමට පෙළඹෙනවා. අපි ඉල්ලා සිටින්නේ ඵලදායිතාව වැඩි කරන්න. ඒ අනුව වැඩිපුර වැටුපක් ඔවුනට ලබාගත හැකියි.'' යනුවෙනි.
මැතිවරණයක් ආසන්නයේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ හුදෙක් දේශපාලන අරමුණකින් යැයි ද එය හුදු රඟපෑමක් පමණක් බවද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් සඳහන් කරයි.
''වතු හාම්පුතුන් කියල තියෙනවා ඔවුන් අධිකරණයට යනවා කියලා. නඩුවක් ගියොත් විසඳුමක් ලැබෙන්න අවුරුදු දෙකක්, දෙකහමාරක් විතර ගත වේවි. අපිට සැකයක් තියෙනවා වතු සමාගම් සහ ආණ්ඩුව එකතුවෙලා කරන කුමන්ත්‍රණයක්ද කියලා. වෘත්තිය සමිති මේ ගුණ්ඩුවට අහුවෙන්න හොඳ නැහැ.''
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා