සැවැත්නුවර සිටු දියණියක වූ පටාචාරා විවාහයෙන් පසු දුක්ඛිත ජීවිතයකට උරුමකම් කියමින් අපා දුක් වින්දාය. සැමියා සමඟ වනවැදුණු අවස්ථාවක ඇය විළි රුදාවෙන් කෑගසද්දී දරුවන් වදන්න තැනක් හදන්න ලී දඬු කපන්න තුඹසකට නැගි සැමියා නාගයකුගේ දෂ්ඨනයකින් මිය ගියේය. අකාල මහ වරුසාවේ වැදූ දරුවා අතින් ගෙන අචිරවතී ගඟ තරණයට ගිය පටාචාරාගේ කුළුඳුල් බිළිඳා උකුස්සකු පැහැරගත් අතර අනෙක් දරුවා ගඟට බිලිවිය. දරුවන් සහ සැමියා නැති සොවින් ඇවිද ගිය පටාචාරා කතා වස්තුව යළිත් සිහිගන්වන පුවතක් අසන්නට ලැබුණේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙනි.
එකී නූතන පටාචාරා නමින් කැබිතිගොල්ලෑව පදවිය පාරේ පී. අනුරාධා ස්වර්ණමාලි නමැති 33 හැවිරිදි සිවුදරු මවකි.
ඇයට පාසල් යන වයසේ දරුවන් දෙදෙනකු සිටින අතර වැඩිමල් පුත්‍රයා හයවැනි ශ්‍රේණියේය. වැඩිමල් දියණිය හතරවැනි ශ්‍රේණියේය. අවුරුදු දෙකක් වයසැති පුතකු සහ දින හතළිහක කිරිකැටියකුද සමඟින් ඇය සහ සැමියා ජීවන අරගලය ගෙන ගියහ. සැමියාගේ රුකියාව වූයේ කුලී රුකියාවය. දරුවන් හතර දෙනකුගේ බරක් දරමින් ජීවන අරගලයේ උච්චතම අවස්ථාවක් ගත කරමින් සිටියදී දරුවන්ගේ පියා උදුරාගෙන ගියේ මහමග මරුවෙකි. ලැබෙන්නට තිබූ කුලී මුදලක් ඉල්ලා ගැනීමේ අදහසින් සැමියා කැබිතිගොල්ලෑව නගරයට පිටත් වූයේ අසල්වැසියකුගෙන් ඉල්ලාගත් යතුරුපැදියකිනි. නගරයට යන අතරමගදී මාර්ගය හරහා ගවයකු පැන සිදුවූ අනතුරකින් සැමියා බරපතළ තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත. දින 13ක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පී.කේ. චතුරංග නමැති 34 හැවිරිදි සැමියා ඉකුත්දා ජීවන අරගලය සදහටම නිම කරමින් දෙනෙත් පියාගත්තේ කිසිවකුට රහසිනි. සැමියාගේ දේහය නිවෙසට ගෙන එන අවස්ථාවේදී නිවෙසේ විදුලි සහ ජල සැපයුම විසන්ධි වී තිබිණ. ඒ දැරිය නොහැකි මුදලක් බිල්වල ඒකරාශී වී තිබීමෙනි. එහෙත් එම අවස්ථාවේ ගමේ සහාය ලබාගෙන එම විසන්ධි කිරීම්වලට බරපැන දරා යළි සේවා ලබාගත්තේ ගමේ මිනිසුන්ගේ එකමුතුකමේ හයියෙනි.
සිවුදරු මව වන අනුරාධා ස්වර්ණමාලි පැවසූයේ මෙවැනි කතාවකි.
“මාස හතරකට කලින් ඇවිත් ලයිට් කැපුවා. සති දෙකකට කලින් වතුරත් කැපුවා. මම දන්න විදිහට ලයිට් බිල හතළිස් හතර දහසක් විතර තිබුණා. ජල බිල විසි තුන්දහසක් විතර තිබුණා. මගේ මහත්තයා කුලී වැඩට ගිහින් තමයි අපිට කන්න දුන්නේ. දරුවන් පාසල් යැව්වේ. ඒත් කුලී වැඩ හැමදාමත් නෑ. දරුවන් සමඟ ජීවත් වුණේ හරිම අමාරුවෙන්. ඒ නිසා අපට බිල් ගෙවන්න බැරිවුණා. බඩගින්නෙ හිටපු අවස්ථා ඕනෑ තරම්. අපට කුඹුරු වතුපිටි නෑ. තියෙන්නේ මේ ගේ කෑල්ල විතරයි. මොන තරම් ප්‍රශ්න තිබුණත් අපට ආදරයෙන් සලකපු මහත්තයා හදිසි අනතුරකින් අපිව දාලා ගියා. මගේ මහත්තයගේ හත් දවසේ දානයත් පුළුවන් විදිහට කරනවා. අපි ජීවත් වුණේ කටුමැටි පැලක. පසුගිය කාලයේ අපිට ගෙයක් හදාගන්න රජයෙන් ලක්ෂ හයක් දුන්නා. ඒක අරගෙන මහත්තයා මහන්සිවෙලා තමයි මේ ගේ බාගෙට හදාගත්තේ.”
මෙම පුවත අසා දානපතීන්ගේ උදව් උපකාරවලින් විදුලි බිල සහ වතුර බිලට අදාළ හිඟ මුදල වන රුපියල් අසූදාහක මුදල ගෙවා විදුලිය සහ ජල සැපයුම ලබාගැනීමට හැකිවූ බව ස්වර්ණමාලි පැවසුවාය.
මෙම පවුල සම්බන්ධව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 071-8358999 ධම්මකිත්ති හිමියන්ගෙන් හා අප පුවත්පතට (011-2479212) ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
පී. අනුරාධා ස්වර්ණමාලා කීර්තිරත්න නමින් කැබිතිගොල්ලෑව මහජන බැංකු ශාඛාවේ අංක 150200130046791 දරන අංකයට ආධාරයක් කිරීමෙන් ඇයට පිහිටක් විය හැකිය.
මෙම සිද්ධිය මෙරට ආර්ථික අර්බුදයේ සැබෑ මුහුණුවර පෙන්වන එක් අවස්ථාවක් පමණකි. ප්‍රභූ පන්තියේ ඇතැමුන් වයින් වීදුරුවලින් සෙල්ලම් කරද්දී එදාවේල නොමැති පවුල් ඕනෑ තරම් මේ මිහිපිට වෙති. ඇතැම්හු දරුවන් වෙනුවෙන් ජීවත් වන්නෝද වෙති. අධ්‍යාපනයේ කඩඉමක් වන සා.පෙළ විභාගය අභියස තබාත් විදුලිය විසන්ධි කළ රටක විදුලි බිල හිතුමතේ වැඩි කිරීමේ විපාකය මෙවැනි ආකාරවලට මේ සමාජයට ඉතිරි වන බව නොකියාම බැරිය. විදුලි මණ්ඩලයේ ලොකු ලොක්කන් මාසික වැටුප ගන්නේ ජනතා බදු මුදලින් බව ඔවුනට ඒ ඔටුන්න ලාගත් පමණින් අමතකය. එමෙන්ම ඇතැම් විදුලි ඉංජිනේරුවන්ගේ ක්‍රියා කලාපවලින්ද ඒ බව පැහැදිලිය. විදුලිය ජලය නොමැති මෙවැනි පවුල් ඕනෑ තරම් මේ මිහිපිට වෙසෙති. එසේම කුසට අහරක් නොමැති සේම සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් නිවෙසේ වැසිකිළියක් නොමැති පවුල් දහස් ගණනක් මහවිලච්චියේ අදටත් සිටින බව පාලකයෝ නොදනිති. අද බොහෝ දෙනා ස්වර්ණමාලි සහ දරුවන් සිවුදෙනාගේ දුක සැප විමසුවද හෙට දිනයේත් ඇය සිය දරුවන්ගේ බඩ පුරවන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුමය. පටාචාරාව බුදුන් සොයා ගොස් ධර්ම මාර්ගය තෝරාගත්තාක් මෙන් ස්වර්ණමාලිට එසේ කළ නොහැකිය. ඇය සිය දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට වුවමනාය. දුප්පත්කම තුරන් කරනවා යන්න පාරම් බාන පාලකයන් සිටින රටක ඔවුන් ජීවත් වන සිහින ලෝකයෙන් බැස මහ පොළොවේ පය ගසන්නට හැකි නම් මේ රටේ තත්ත්වය බොහෝ දුරට වෙනස් වනු නිසැකය.
I සසංක චලන ගිම්හාන