2024 ජුනි 01 වන සෙනසුරාදා

Youtube සාස්තර සූත්තර

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 206

ලොතරැයි මණ්ඩලයේ දැන්වීම් මෙන් වැඩිම දැන්වීම් ප්‍රමාණයක් ප්‍රචාරය වන්නේ යූ නළයේය. ඒ යන්නේ ලොතරැයි මණ්ඩලයටත් හොරෙන්ය. ඒ තරමට යූටියුබයේ ජ්‍යෙතිෂ නාළිකා වැහි වැහැලාය. විවිධ නම්වලින් විවිධ මුහුණුවලින් පෙනී සිටිමින් දවසේ ලග්න පලාඵල, සතියේ ලග්න පලාඵල, මාසේ ලග්න පලාපල, විශේෂ ග්‍රහ මාරු සහ වාර්ෂික ලග්න පලාඵල ඉදිරිපත් කරන්නෝ බොහෝ වෙති. 

ඒ අතරින් මෙරට ජ්‍යෙතිෂවේදීන් විසින් ඉදිරිපත් කරනු ලබන වැඩසටහන්වලට අමතරව වෙනත් මාධ්‍යයේ යන ලග්න පලාඵල කිසිදු මූලාශ්‍ර දැක්වීමකින් තොරව උපුටාගෙන ඒවා හඬ කවා ඉදිරිපත් කරන නාළිකා ද පඳුරකට ගැහුවොත් විසිවෙන තරමට වැහි වැහැලාය. 

එක රුයෙන් කෝටිපතියන් බිහි කරන, මධ්‍යම රාත්‍රියෙන් පසු ධන කුවේරයන් කරන ප්‍රකාශ අහන දකින්නන් ඒ තරමටම එක රුයින් කෝටිපතියන් වනවාද යන්න ප්‍රශ්නයකි. මෙවැනි බොහෝ නාළිකාවල කියන දේවල් අසන ශ්‍රාවකයාට ලබාදෙන ආනන්දයට වඩා සතුටක් ලැබෙන්නේ මෙවැනි නාළිකාවලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කියවද්දීය.

ජ්‍යෙතිෂ යනු ආසියාවේ අසිරිමත්ම විද්‍යාවකි. මෙලෙස විහිළුවට ලක් වී ඇත්තේ ශුද්ධ විද්‍යාත්මක පදනමක පිහිටා හැදෑරිය යුතු විෂයයකි. ජ්‍යෙතිෂ විද්‍යාත්මක විෂයයක් නම් එයින් කියන අනාවැකි වරදින්නේ කෙසේදැයි ප්‍රශ්නයකි. එයට හේතුව සොයන්නට අපි මෙවර දේශයෙන් ඉඩ වෙන් කළෙමු. 

ජ්‍යෙතිෂයේ පැවසෙනුයේ සූර්යයා සහ චන්ද්‍රයා මූලික කරගත් ග්‍රහ මණ්ඩලයක හැසිරීම සහ පිහිටීම අනුව කරන පලාඵල විග්‍රහයකි. එහි ජනප්‍රියම කොටස වන්නේ පුද්ගල කේන්ද්‍රීය පලාඵල විග්‍රහවලදීය. කෝටි ගණන් දෙනවා යැයි කියන නාළිකාවල කියැවෙන දේට වඩා නොකියැවෙන දේ අවබෝධ කර ගැනීම වටී. රාශියක සිට තවත් රාශියකට ග්‍රහයකු මාරුවීමට යම් කාලයක් ගතවන අතර එම කාලය ග්‍රහයාගෙන් ග්‍රහයාට වෙනස් වෙයි. වැඩිම කාලයක් රාශියක සිටින ශනි හෙවත් සෙනසුරු රාශියක් මාරුවීමට වසර දෙකහමාරක් ගතවෙයි. සුරගුරු ලෙස හඳුන්වන ගුරු වසරක කාලයක් ගතවන අතර රාහු කේතු යන ඡායා ග්‍රහයන් මාස 18 ක කාලයක් ගත වෙයි. රවි, බුධ, සිකුරු මාසයක කාලයක් ගත වුවද අඩුම කාලයක් රාශියක සිටින චන්ද්‍රයා දින දෙකෙන් දෙකට රාශි මාරු කරයි. ඒ වගේම ග්‍රහයන්ට චාරයේදී ශුභාශුභ ස්ථාන තිබේ. ඒ නියම සුබ ඵල ලැබීමට නම් ස්ථානගත වීමත් වැදගත්ය. සෙනසුරු සහ ඡායා ග්‍රහයන් වන රාහු - කේතු කේන්දරයේ 3, 6, 11 කොටුවලදීද, රවි සහ කුජ ග්‍රහයන් කේන්දරයේ 3, 6, 10, 11 කොටුවලදීද, ගුරු ග්‍රහයා 2, 5, 7, 9, 11 කොටුවලදීද, සිකුරු ග්‍රහයා 1, 2, 3, 4, 5, 8, 9, 11, 12 කොටුවලදීද, බුධ ග්‍රහයා 1, 2, 4, 6, 8, 10, 11 කොටුවලදීද වඩා සුබ ඵල ලබාදෙන බව ජ්‍යෙතිෂ මූලාශ්‍රවල සඳහන්ය.උදාහරණයක් විදිහට ගතහොත් සෙනසුරු ග්‍රහයා මේ වනවිට ගෝචරයෙන් හත්වැනි භාවයේ සිටී නම් යළිත් සෙනසුරුගෙන් සුබ ප්‍රතිඵලයක් ලැබීමට නම් සෙනසුරා ග්‍රහයා ගෝචරයෙන් 11 වැනි භාවයට පැමිණිය යුතු අතර ඒ සඳහා වසර 10ක් ගත වෙයි. එසේ ලැබුණත් සුබ ප්‍රතිඵල ලැබීමට තවත් බොහෝ කාරණා සපුරාලිය යුතු අතර මෙකී සියල්ලම තමන් පෙර සසරෙන් ගෙනා කුසල් අකුසල් මත තීරණය වන බව නම් නොකියාම බැරිය.

ඒ වගේම පලාඵල සහ අනාවැකි ඉටුවීමේදී ලග්නාධිපති බලය, යෝගකාරක බලය, තමන් තත්කාලයේ ගත කරන මහදසා - අතුරු දසා, උත්පත්ති ලග්න කේන්දරයේ සහ නවාංශක කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම - බල දුබලතා, ග්‍රහයන් පිහිටි නැකැත්වල පිහිටීම, 22 දෙර්කාණාධිපති - 64 නවාංශකාධිපති තත්ත්ව, ඒරාෂ්ඨක තත්ත්ව, ග්‍රහ දෘෂ්ටි මෙන්ම ගෝචරයේදී ග්‍රහ පිහිටීම, රාශි බලය, දිශා බලය සහ දෘෂ්ටි ආදී බහුතරයක සාපේක්ෂ එකතුව ඍජුවම බලපායි. 

බොහෝ අවස්ථාවල දවසේ ලග්න පලාඵල පවසනුයේ සඳුගේ පිහිටීම සලකා බලාය. මාසික සහ වාර්ෂික ලග්න පලාඵල පවසනුයේ ප්‍රධාන ග්‍රහ මාරු සලකා බලාය. උදාහරණයක් වශයෙන් පැවසුවහොත් පොදු මාධ්‍යයක පවසනුයේ ඕනෑම ලග්නයක පොදු පලාඵලයකි. එකම ලග්නයකින් 10 දෙනකු සිටිනවා නම් ඒ දහ දෙනාගේ කේන්ද්‍රවල ඉහත කී ලක්ෂණ සහ ග්‍රහ පිහිටීම් එකිනෙකට වෙනස්ය. එහෙයින් කෙනකුට නිවැරුදි වන පලාඵලයක් තවකකුට නිවැරුදි නොවීමට පුළුවන. යූටියුබ් නාළිකාවලදී පොදු පලාඵල පැවසීමේදී කියන තරමට කෝටිපතියන් නොවන, ධන කුවේරයන් නොවන වගේම පරම්පරා හතම එක රුයින් ගොඩ නොයන හේතුවත්, කියන තරමට නරකක්ද ඇති නොවන‌ හේතුව මෙය වෙයි. බොහෝ යූටියුබ් නාළිකා ව්‍යාපාරමය අදහසකින් පවත්වාගෙන යන හෙයින් ඉහත කී කාරණා සැබෑ ලෙසම පැවසීමෙන් වළකිනුයේ ප්‍රේක්ෂකයන් නැතිවේ යන අදහසකින් විය හැකිය. එහෙත් යූටියුබ් නාළිකාවල ඇතැම් ප්‍රවීණ ජ්‍යෙතිෂවේදීන්ගේ පලාඵල කථනවලදී අප ඉහතින් පැවසූ කාරණා මතු කර පෙන්වා දෙනු දැකිය හැකිය.

ජ්‍යෙතිෂ ශාස්ත්‍රයේදී බොහෝ දෙනා ගුරු කොට පිළිගන්නා හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතාගේ ජීවිතය සහ ග්‍රහයෝ කෘතියේ 6 වැනි පරිච්ඡේදය ආරම්භයේදී ජ්‍යෙතිෂය සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසයි.

“තාරකා ශාස්ත්‍රඥයාට ජ්‍යෙතිෂ ශාස්ත්‍රය අමුතුම දෙයකි. තාරකා ශාස්ත්‍රඥයා ගණිත ක්‍රමයෙන් ග්‍රහ තරුවල ගමන් නිශ්චය කරයි. ජ්‍යෙතිෂ ශාස්ත්‍රඥයා ඒ ඒ ගමන්වලින් පෘථිවියටත් ඊට අයත් සෑම දෙයකටත් සිදුවන පලාඵල කියයි. දැනට ලෝකයේ කවුරු භාවිත කරන්නේත් පුරාතනයන් කී කරුණුමය. අලුතෙන් බෙහෙත් බඩු වර්ග සොයා සංයෝග කරගෙන රෝග සුව කරන්නා සේ ජ්‍යෙතිෂ ශාස්ත්‍රයට පලාඵල කීමේ අලුත් ක්‍රම තවම සැලකිය යුතු පමණ ඇතුළත් වී නැත. එය මේ සම්බන්ධ පරික්ෂණ බලවත් අය විසින් වියදම් කර නොපවත්වන නිසයි.” 

ඇත්තටම යූටියුබයෙන් කියන පලාඵල අමූලික බොරුද? මේ සම්බන්ධයෙන් අපි යූටියුබ් නාළිකාවේ ජ්‍යෙතිෂ පලාඵල කථන කරන ජ්‍යෙතිෂවේදීන් කිහිප දෙනකුගෙන් විමසුවෙමු. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී රුක්ෂාන් ජයසේකර මහතා මෙසේ පැවසුවේය.  

“කෙනකුට හිතෙන්න පුළුවන් පෞද්ගලික ජන්ම පත්‍රය බලලා කරන එක තමයි සාර්ථක කියලා. මෙතැන තියෙන්නේ සම්භාවිතාවක්නෙ. පෞද්ගලික පලාඵලයක් කිව්වත් ඒකෙත් සාර්ථක අසාර්ථක වීමේ යම් සම්භාවිතයක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට සියයට සියයක් හරියන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා. පොදු පලාඵල විස්තරයකදී ඒකෙ තියෙන එක කාරණයක් හරි කාට හරි හරියන්න පුළුවන්. යූටියුබ් එකේ දවසේ පලාඵල කියද්දී ඒවාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අරන් බැලුවාම ගොඩක් අය කියනවා එක කරුණක් හරි හරි ගිය අය ගොඩක් ඉන්නවා. සමහර වෙලාවට මුළු පලාඵල විස්තරයම හරි ගිය අයත් ඉන්නවා. සමහර වෙලාවට මටත් පුදුමයි. ඒ නිසා සම්භාවිතාවක් විදිහට පොදු පලාඵලය බොහෝ පිරිසකට හරියන්නත් ඒක තවත් කිහිප දෙනකුට නිවැරුදි නොවෙන්නත් පුළුවන් ඔවුන්ගේ ජන්ම පත්‍රවල වෙනස්කම් අනුව.”

තවත් ජ්‍යෙතිෂවේදීන් කිහිප දෙනකු සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තද කාර්යබහුලතාව මත එකී උත්සාහ ව්‍යර්ථ විය.

යූටියුබ් නාළිකාවලින් කියන පලාඵල අහනවාද නැද්ද යන්න සහ ඒවායෙහි ගුණාත්මකභාවය තීරණය පාඨක ඔබට බාර කරමි.

I සසංක චලන ගිම්හාන