සති ගණනාවක් පුරාවට දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනය පසුගිය සතිය වන විට අඩුවීමක් වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළද පසුගිය සතියේ දින කිහිපයක් පුරාවට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක බොහොමයක ගංවතුර සහ නාය යෑම් වාර්තා විය. එයින් මේ වන විට සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව විසි එකකි.
මෙයින් වැඩිම ආපදා හා ජීවිත හානි සිදුව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයටය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිවැරදි දත්ත ලබා දුන්නේ නම් මෙම ජීවිත හා දේපළ හානි මීට වඩා අවම වීමට තිබූ බවට ජනතාව චෝදනා කරති. මෙම විපතින් දේපළ, මිනිස් ජීවිත, පමණක් නොව සත්ව ජීවිත බොහොමයකටද බලපෑම් ඇතිවිය. නිවෙස්වල හුරතලයට ඇතිදැඩි කළ සුරතල් සතුන් බොහොමයක් අදටත් ආ ගිය අතක් නොමැත. මහ ගංවතුරත් සමඟ ඇතැම් සතුන් ගසාගෙන ගොස් ඇති අතර, එයින් බොහොමයකට සිදුවූයේ තම අහිංසක ජීවිතවලින් වන්දි ගෙවන්නටය. ජල මට්ටම ඉහළ යාමත් සමඟ තමා සතු වටිනා කියන දෑ ගෙන හෝ නොගෙන තම නිවැසියන් සමඟ ආරක්ෂිත ස්ථානවලට ගිය මිනිසුන්ට එතෙක් තම සෙවණේ හැදී වැඩුණු සුරතලුන් අමතක විය. ඒ ඇතැම් සුරතලුන්ගේ ජීවිතය මහ වතුරට යට වූයේ ගෙලේ බැඳි දම්වැල්ද සමඟිනි. යම් හෙයකින් එම දම්වැල් ගලවා හෝ නිවැසියන් ආරක්ෂිත ස්ථානවලට ගියේ නම් මෙම අහිංසක සුරතලුන් කෙසේ හෝ තම ජීවිත බේරාගන්නට ගංවතුරත් සමඟ පොර බදිනු ඇත. එසේ ජීවිත බේරාගත් සුරතලුන්ද නැතුවාම නොවේ.
“කලූ" අගලවත්ත බෙල්ලන ප්‍රදේශයේ නිවෙසක ජීවත් වූ සුනඛයෙකි. කලූගෙ ඉව නිසාවෙන් ජීවිත පහක් බේරී හමාරය. ජූනි මස හතරවැනිදා රාත්රියේදී මහ වැසි මැද "කලූ" එකදිගට බුරන්නට විය. නිවැසියන් කලූව නිශ්ශබ්ද කරලන්නට උත්සාහ දැරුවද "කලූ" එයින් නතර වූයේ නැත. ඒ හඬෙහි වේගය එන්න එන්නම වැඩි විය. අවසානයේදී ගෙහිමියා නිවෙස පිටුපස දොරෙන් පිටවී "කලූ" ළඟට ගොස් බැලුවේය. ඔහු දුටු දෙය අදහගන්නට නොහැකි විය. එතෙක් "කලූ" නොනවත්තා බුරා ඇත්තේ නිවෙස පිටුපස කන්දේ මැදින් ගලා හැලෙන බොර පැහැති ජල ධාරාවටය. කලූට මෙන්ම ගෙහිමියාටද යම් අනතුරක සේයාවක් දැනුණි. හනික නිවෙස තුළට දිව ගිය ගෙහිමියා තම අංශභාග පියාව දෝතට ගෙන තම බිරිඳ, මව සහ දියණියත් රුගෙන ඉතා ඉක්මනින් පිටතට පැමිණියේය. ඒ ගමනට කලූ ද එකතු විය. ගතවූයේ විනාඩි කිහිපයක් පමණි. එක්වරම නිවෙස කන්දට යට විය. කලූ නොසිටින්නට, ඒ ඉව නොදැනෙන්නට, මේ ජීවිතද ඒ කන්දට යටවන්නට තිබුණි.
“කලූ" එලෙස ජීවිත පහක් බේරා ගනිද්දී දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ජීවිත හතරක් බේරාගත් පුවතක් හංවැල්ල වග ඉරිදා පොළ ප්‍රදේශයෙන් වාර්තා විය. මදුරංග තම බිරිඳ සහ දරු දෙදෙනා සමඟ නිවෙසේ සිටියදී නිවෙස අවට පැවති ගංවතුර තත්ත්වය එන්න එන්නම වැඩි විය. මේ නිසාම මදුරංග තම දරු දෙදෙනා ඉක්මනින් නිවෙසින් පිටතට ගෙන පිහිනාගෙන ගොස් ඔවුන්ව යම් උස් ප්‍රදේශයක රඳවා නැවතත් නිවෙස වෙත පැමිණියේය. ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව වූයේ නිවෙසේ සිටින බිරිඳව නිවෙසින් පිටතට රුගෙන යාමය. නමුත් ඔහු සිතූ තරම් එය ලෙහෙසි වූයේ නැත. ජල මට්ටම තවත් ඉහළ ගියේය. තම නිවෙසට පිහිනා ගිය මදුරංගත් ඔහුගේ බිරිඳත් උළුවස්සේ එල්ලුණේ ඒ අවසන් බලාපොරොත්තුව යැයි සිතමිනි. මවගේත් පියාගේත් ජීවිතය දැඩි අවදානමට ලක්ව ඇති බව දුටු දරු දෙදෙනා පිහිට පතා වර්ෂාවේ හඬ පරදා මහ හයියෙන් කෑ ගැසූහ. නිවෙස අසල නිවෙසක සිටි චරිත්මා ජිතේන්ද්රිට මේ අසරණ හඬවල් ඇසුණි. ක්ෂණයකින් ඇයට සියල්ල වැටහුණි. ඇයට මහ ගංවතුරේ අවදානමටත් වඩා ජීවිත දෙකක වටිනාකම දැනුණි. ඒ වනවිටත් මුළු පළාතම තිබුණේ දැඩි අඳුරිනි. ඇය ක්ෂණිකව ගංවතුරේ පිහිනා යමින් මදුරංගත් ඔහුගේ බිරිඳත් සමීපයට ගියාය. ඇය ඔවුන්ට අල්ලා ගන්නට රිටක් දිගු කළද ඒ පළමු උත්සාහය අසාර්ථක විය. ඇය උත්සාහය අතහැරියේ නැත. අවසානයේදී ඇයට එම ජීවිත දෙක මෙන්ම අනාරක්ෂිත ස්ථානයක සිටි මදුරංගගේ දරුවන්ද බේරාගන්නට හැකිවිය. තවමත් පාසල් අධ්‍යාපනය හදාරන චරිත්මා පානදුර පියරතන විද්‍යාලයේ ඉගෙනුම ලබයි.
වයස අවුරුදු තුනක් වූ මතීෂ් පස් කන්දට යට වූයේ ගමක් පමණක් නොව රටක් හඬවාලමිණි. කෑගල්ල ප්‍රදේශයේ ජීවත් වූ මතිෂ්ගේ නිවෙස පිටුපස මීට දින කිහිපයකට පෙර පැති බැම්මක් ඉදිකිරීම සඳහා කාණුවක් කපා තිබුණි. මතීෂ් මෙම අනාරක්ෂිත කාණුව තුළට ගොස් සිටියේ සෙල්ලමටය. නිමේෂයකින් නිවෙසේ සිටි මාතීෂ්ගේ මවට මුළුතැන්ගෙයි පිටුපසින් විශාල සද්දයක් ඇසුණි. ඒ වන විටත් මතීෂ් නිවෙස තුළ නොමැති බව මව තේරුම් ගත්තාය. ඉක්මනින්ම නිවෙස පිටුපසට ගිය මවට දැකගත හැකි වූයේ මෙලොව කිසිදු මවකගේ නෙත නොගැටේවායි ප්‍රාර්ථනා කරන දසුනකි. කැපූ කාණුවක කිසිදු සලකුණක් නැත. නිවෙස පිටුපසට ගීය මතීෂ්ගේ සේයාරුවක් නැත. ඒ සියල්ල වෙනුවට හිත් පිත් නැතිව කඩා වැටුණු කන්දේ සුන්බුන් පමණක් මවගේ නෙත ගැටුණි. අහළ පහළ පිරිස් එක්ව මතීෂ්ව සෙවූහ. සුවසැරියෙන් මතීෂ්ව කෑගල්ල ශික්ෂණ රෝහලට ගෙන ගියද ඒ වනවිටත් පුංචි මතීශ් තම අවසාන හුස්ම හිත් පිත් නැති මහ කන්දේ සුන්බුන් අතරට එක්කොට හමාරය.
පැවති ගංවතුර නිසා ජීවිත දේපළ විනාශ වී පවුල් ගණනාවක් අසරණ වෙද්දී, ගංවතුරේ ක්‍රීඩා කරමින් ප්‍රීති වන ආත්මාර්ථකාමී පිරිස්ද අදටත් අප රටේ ජීවත් වෙති. කෙනකුගේ දුකක් තව කෙනකුට සතුටක් ගෙන දුන්නද ඒ සතුට තාවකාලික බව ඔවුහු නොදනිති. කැලණිය ප්‍රදේශයේ ගංවතුරෙන් බොහෝ දෙනා පීඩා විඳිද්දී ගලා යන සැඩ පහරට පැන තම දස්කම් පෙන්වීමට අහළ පහළ පිරිසගෙන් රුපියල් පන්සීයක් ඉල්ලා සිටින වැඩිහිටි පුද්ගලයකු පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකිය. ඒ කිසිවකු මුදල් නොදුන්නද ඔහු ඒ කිසිවක් නොසලකා එක්වරම ගලා යන ගංවතුරට පැන්නේය. මත් වතුරට තම ජීවිතය උගස් කළද සතුරකුටවත් දුකක් කරදරයක් වූ විට බලා සිටීමට පුරුද්දක් නැති සංවේදී මිනිසුන් ලහිලහියේ ඔහුව බේරා ගත්හ. එසේ නොවන්නට ඔහුද සැර පහරට හසුවූ බිල්ලක් වන්නට ඉඩ තිබුණි.
ගංවතුර පවතින කාලවලදී ඇතැම් පාසල් සිසුන්ට රජ මඟුල්ය. තම පොත්පත් විශාල පරිශ්‍රමයක් දරා බේරාගත් දරුවන් අතරේ කිසිවක් ගැන නොසිතා ගංවතුරේ සෙල්ලම් කරමින් තම ජීවිත අවදානමට දැමූ හිතුවක්කාර සිසු සිසුවියන්ද මෙවරත් අපට දැකගත හැකි විය. එලෙස ඔරුවකින් ගංවතුරේ සිරි බලන්නට එහා මෙහා යමින් සිටි තරුණයකුගේ අතේ තිබූ රිටක් ජලයේ සැඟවී තිබූ විදුලි රුහැනක පැටලීමත් සමඟ ඔහුට විදුලිය වැදී එක්වරම මහා ජල පහරට වැටී තිබුණි. පිරිස මහත් පරිශ්‍රමයක් දරා ඔහුව බේරාගත්තද ඒ වන විටත් ඔහු ජීවිතය හැර ගොස් තිබුණි. මේ අතර තම පාසලේ යහළු යෙහෙළියන් සමඟ ඉණවටක් උසට තිබූ ගංවතුරේ එහා මෙහා ගිය පිරිසක් කාණුවකට ඇද වැටීමෙන් මරු කටට යන්නට ඉඩ තිබියදී ඒ අසලින් ගමන් ගත් නාවික හමුදාවේ සහන යාත්‍රාවක් මුණගැසීම නිසා ඔවුන්ට ජීවිතය බේරාගැනීමට හැකි විය.
රටේ සිදුවූ සෑම ආපදාවකදීම පිහිටට එන ආරක්ෂක අංශ මෙවරද තම වගකීම නිසි පරිදි ඉටුකිරීම හේතුවෙන් මෙම වැසි සුනාමියෙන් විපතට පත් වූ ජීවිත සංඛ්‍යාව අඩුකර ගන්නට හැකියාව ලැබුණි. පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන "මී උණ" වැනි රෝග බෝවීමේ ප්‍රවණතාවය වැඩි වුවද ඒ සියල්ල නොතකා ඔවුන් මේ විපතින් මුදවා ගනු ලබන්නේ මේ රටේ අසරණ වූ අහිංසක මිනිසුන්ය. ආරක්ෂක අංශ යුහුසුළුව එලෙස කටයුතු කරද්දී රටේ ඉහළ පුටුවල සිටින දේශපාලනඥයන් මේ සම්බන්ධයෙන් සොයා නොබැලීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ විශාල කලකිරීමකි. නම හෙළි නොකළ රාජ්‍ය නිලධාරියකු පැවසුවේ මෙවර ඡන්දයට ඉදිරිපත් වන දේශපාලනඥයන්ට ගමේ මිනිසුන්ගෙන් අමතක නොවන සැලකීමක් ලැබෙනු ඇති බවය. ඒ තරමටම ජනතාව සිටින්නේ තමන් ගැන සොයා නොබැලූ දේශපාලනඥයන් සම්බන්ධයෙන් දැඩි කලකිරීමකිනි.
මිනිස් ජීවිත පමණක් නොව හිත් පිත් නැති යකඩ ගොඩක් වූ වාහනවලටද මේ ආපදාවෙන් විශාල හානි සිදුවී තිබුණි. දහසකුත් බලාපොරොත්තු සමඟ තමන් මහන්සියෙන් ණය වෙමින් මිලදී ගත් රථවාහන එක් නිමේෂයකින් දිය රකුසාට ගසාගෙන යද්දී හැකි පමණින් හෝ ඒවා බේරා ගැනීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. එවැනි යකඩ ගොඩක් රියැදුරු අසුනේ සිටි පුද්ගලයා සමඟින් ගසාගෙන යද්දී අධික වර්ෂාවටද තෙමෙමින් දණහිසටත් ඉහළට ගංවතුර තත්ත්වයක් පවතිද්දී යකඩ ගොඩ තල්ලු කරමින් එම ජීවිතය බේරාගැනීමට ඉදිරිපත් වූ තරුණයන් පිරිසකගේ වීඩියෝවක් මේ දිනවල මාධ්‍ය ඔස්සේ අපට දැකගත හැකිය.
බාල, මහලු, තරුණයන්ගේ පමණක් නොව කිසිවක් නොදන්නා පුංචි බිළිඳියන්ගේ ජීවිත දහස් ගණනාවක් මේ වන විට සහන යාත්‍රා මගින් ආරක්ෂිත ස්ථානවලට යොමුකොට තිබිණි. ගංවතුරෙන් පීඩා විඳිමින් සිටි මවක සහන යාත්‍රාවට ගොඩ වූ සැණින් අත දිගු කොට අසල සිටි නිලධාරියාගෙන් ඉල්ලා සිටියේ රෝස පැහැති රෙද්දකින් ඔතා සිටින තම බිළිඳිය බේරාදෙන ලෙසයි. එතෙක් ඇය සිටින්නට ඇත්තේ බිළිඳියගේ ජීවිතය පිළිබඳව දෙඟිඩියාවෙන් වන්නට ඇත. මේ අතර අකුරුස්ස ප්‍රදේශයේ ජීවත් වූ තවත් එක්තරා තරුණයන් පිරිසක් දරු ප්‍රසූතියෙන් වේදනා විඳිමින් සිටි ගැබිණි මවක රුගෙන රෝහලට ආවේ බැකෝ යන්ත්‍රයක් මගිනි. එහි ඉදිරිපස කොටසේ තුන්දෙනකුගේ ආධාරයෙන් රුගෙන ආ ගැබිණි මව රෝහලට එන විටත් රෝහල් සේවක කණ්ඩායම යුහුසුළුව සූදානම් වී සිටියේ මේ අසරණ මවත් බිළිඳාත් බේරා ගන්නටය. ගංවතුර හමුවේ සේදී නොගිය අපේ රටේ මිනිසුන්ගේ මනුස්සකම හේතුවෙන් ඔවුන්ගේ ජීවිතද බේරා ගැනීමට හැකි විය.
I දිශානි ජයමාලි කරුණාරත්න