2024 ජුනි 08 වන සෙනසුරාදා

මේ උද්ධමනය කන්නද?

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 97

''අපි අපේ සාක්කුවල මුදල් දමාගෙන වෙළෙඳපොළට ගොස් මිලට ගත් ආහාර ද්‍රව්‍ය කූඩයේ දමාගෙන ගෙදර ගෙන ඒමට පුරුදු වී සිටියෙමු. දැන් අපි මුදල් කූඩයේ දමාගෙන වෙළෙඳපොළට ගොස් මිලට ගන්නා ආහාර ද්‍රව්‍ය අපේ සාක්කුවලට දමාගෙන ගෙදර එමු. මුදල් හැරුණුවිට අන් සැම දෙයම හිඟය. නාට්‍යයක් බැලීමට ගන්නා ටිකට්පතක මිලට සමානව පැවති ආහාර වේලක් දැන් එමෙන් විසි ගුණයක් පමණ වෙයි.''

ඉහත විස්තරයෙන් දැක්වෙන්නේ සිවිල් යුද්ධ සමයේදී ඇමෙරිකානු ප්‍රාන්ත රාජ්‍ය සමූහය තුළ ජනතාවට අත්විඳින්නට සිදුවූ ඉරණමයි.

මෙවැනි තත්ත්වයක් නොවුවත් එයට යම් විදියකින් සමාන පරිසරයක් 2022 – 2023 වසර තුළ අපේ රට තුළද දැකගන්නට හැකි විය. එයට හේතුව අපේ උද්ධමනය සියයට 58ක් තරමට ඉහළ නැග තිබීමය. මේ කාලය තුළ භාණ්ඩ හා සේවා මිල ශීඝ්‍රයෙන් ඉහළ නැග්ග අතර ජනතාවට විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබුණි. එහෙත් 2022 අවසන් වනවිට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට මහ බැංකුව ගත් උත්සාහය සාර්ථක වූ අතර උද්ධමනය සියයට 2 දක්වාම පහළ ගොස් තිබුණි. 2024 වසරේ දෙවැනි කාර්තුව අවසන් වීගෙන එන විට අපේ රටේ උද්ධමනය 1 ද ඉකුත්ව පහළ ගොස් සියයට දශම 9 දක්වා පහත වැටී තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. ඇත්ත වශයෙන්ම මේ තත්ත්වයට පත් කිරීම විශාල ආශ්චර්යක් ලෙස පෙනෙන්නට තිබේ. අද වනවිට අපේ රට උද්ධමනය අතින් ඇමෙරිකාව වැනි දියුණු රටවල තත්ත්වයට පත්ව තිබේ.

භාණ්ඩ හා සේවාවල මිල මට්ටම ඉහළ යාමේ වේගය අප උද්ධමනය ලෙස හඳුන්වමු. භාණ්ඩ හා සේවාවල මිල දිනපතා ඉහළ යාම විවෘත අර්ථ ක්‍රමයක ලක්ෂණයක් වුවද එය වේගයෙන් ඉහළ යාම උද්ධමනය වෙයි. ඕනෑම ආර්ථිකයක කිසියම් මට්ටමක උද්ධමනකාරී තත්ත්වයක් තිබිය හැකිය. එහෙත් අප උද්ධමනය යැයි කියන්නේ එය එක්තරා ඇඟට දැනෙන මට්ටමකට වැඩි වූ විටය. දියුණු රටවල උද්ධමනය ඉතාම අඩුවන අතර සංවර්ධනය නොවූ හා ඌන සංවර්ධිත රටවල එය සාපේක්ෂ වශයෙන් ඉහළ අගයක් ගනී. රටේ ජනතාවට බලපාන උද්ධමනය මුළු රටටම බලපායි. මෙකල අධික උද්ධමනයක් ඇතිවීමට අන්තර්ජාතික ආර්ථික සාධක යම් පමණකට බලපෑවද භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඛණ්ඩව ඉහළ යාම හා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමද තදින් බලපා තිබුණි. එසේම රාජ්‍ය මූල්‍ය කටයුතුද මිල මටට්ම ඉහළ යාමට හේතු විය. රටේ මූල්‍ය සැපයුම ඉහළ යන විට සමස්ත භාණ්ඩ හා සේවා සැපයුම ඒ හා සමාන්තරව ඉහළ නොයන්නේ නම් දේශීය මිල මට්ටම ඉහළ නැගීම වැළැක්විය නොහැකිය. ඒ කාලයේ සිදුවූයේ එයයි. මුදලේ මූර්ත වටිනාකම හෙවත් භාණ්ඩ මිලට ගැනීමේ ශක්‍යතාව පහළ බැසීම නිසා අතැති විශාල වටිනාකමකින් යුතු මුදලට මිලදී ගත හැකි ප්‍රමාණය විශාල ලෙස අඩු වෙයි. 2022 වසරවල සිදුව තිබුණේ එයයි.

මිල ස්ථායිතාවයට පත්වූයේ නම් උද්ධමනයේ අගය '0' දක්වා පහළ බසී. මිල ස්ථායිතාව යනු භාණ්ඩ මිල ගණන් වේගයෙන් ඉහළ යාමක් හෝ පහළ යාමක් නොමැතිව එක මට්ටමේ පැවතීමයි. කෙසේ වුවද උද්ධමන කාලවල භාණ්ඩ හා සේවාවල මිල ගණන් එක හා සමාන අනුපාතිකයකින් ඉහළ යන්නේ නැත. ඒ ඒ භාණ්ඩවලට ආවේණික මිලක් තිබේ. උද්ධමන කාලය යනු පාරිභෝගික හෝ නිෂ්පාදන භාණ්ඩවල සාමාන්‍ය මිල අදාළ කරගත් මිල දර්ශකයක් මගින් මැනීමේදී ලැබෙන සාමාන්‍ය මිල මට්ටම ඉහළ යන කාලයයි.

අද වනවිට රටේ උද්ධමනය සියයට 1 ටත් වඩා අඩු වී දශම 9 ට පත්ව තිබීම ගැන අපට සතුටු විය හැකිද? ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිනුම් ක්‍රමවේදය අනුව ලබාගන්නා ජීවන වියදම් දර්ශකයට අනුරෑපව ලැබෙන උද්ධමනය සැමවිටම නිවැරදිද යන්න සාකච්ඡාවට භාජනය කළ යුත්තකි. ජීවන වියදම මැනීමට ඔවුන් පාවිච්චි කරන භාණ්ඩ පැස පිළිබඳවද දැඩි විවේචන එල්ල වේ. එම ක්‍රමවේදය නිවැරදි නොකර නිවැරදි ජීවන වියදමක් සහ උද්ධමනයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීම උගහට බව පැවසේ. මෙවැනි අඩුපාඩු නිසා අද දැක්වෙන උද්ධමන දර්ශකය පිළිගත නොහැකි බවට විවේචන එල්ල වේ. එහි ඇත්තක නැතුවා විය නොහැකිය.

අනෙක් අතට භාණ්ඩ හා සේවා මිල කොතරම් අඩු වුවද පවතින භාණ්ඩ හා සේවා මිලේ ප්‍රතිඵලය පාරිභෝගිකයාට ලැබේද යන්න ගැටලුවකි. වෙළෙඳපොළේ පවතින ඇතැම් භාණ්ඩවල ඒකාධිකාරය හා වෙළෙඳ මාෆියාව නිසා නියම මිල පවතින්නේ නැත. බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ කෙරෙහි බලපානුයේ කෘත්‍රිම මිලකි. එය වෙළෙන්දාගේ මිලයි. නියම මිල ලබාදීමට රජය ගන්නා උත්සාහයද ව්‍යර්ථ වී ඇත. රජය ඒ පිළිබඳ තම වගකීම නිසි ලෙස ඉටු නොකරයි. ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල ගණන් අනුව සකස් කළ උද්ධමනයෙන් වෙළෙඳපොළේ නියම තත්ත්වය අනාවරණය නොවේ.

අද පවතින දශම 9 යේ උද්ධමනය නිවැරදි නම් ජනතාවට මෙයට වඩා සහනයක් ලැබෙනවා ඇත. එහෙත් එවැන්නක් දැනගන්නට නැත. එසේ නම් උද්ධමනය දශම 9 යැයි පරිගණක පුවරුවල හා ලිපි ගොනුවල සඳහන් වූවාට ජනතාවට එම තත්ත්වය පිළිගන්නට ක්‍රමයක් නොමැත. ඒ නිසා රජය පවසන උද්ධමනය පිළිබඳ ජනතාව විශ්වාසය තබන්නේ නැත. ''අනේ ඕවා බොරු. අපට සහනයක් නැහැ'' යනුවෙන් ජනතාව පවසන කතාවේ සත්‍යතාවක් තිබේ. වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා මිල ඉහළ නම් උද්ධමනය පහළ යැයි උද්දාමයට පත්වීමෙන් ඇති ප්‍රතිඵලයක් නොමැත.

අනික් අතට මෙලෙස උද්ධමනය පහළ අගයක ඇතැයි ප්‍රකාශ නිකුත් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීමට යැයි ජනතා මතයක් බිහිවී තිබේ. මූල්‍ය අරමුදල කියන මට්ටමට උද්ධමනය පෙන්වා ඉතිරි ණය වාරික ලබාගැනීමට රජය දරන උප්පරවැට්ටියක් යැයි සැක සිතීමට ඇති ඉඩ වැඩිය. කෙසේ වුවද අද ඇති උද්ධමනයෙන් රටේ ප්‍රායෝගික තත්ත්වය නිරෑපණය නොවන බවට කියන කතාවද පිළිගත හැකි තැනට පත්ව තිබේ. එයට හේතුව උද්ධමනයට සාපේක්ෂව වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා මිල පහළ ගොස් නොතිබීමය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගන්නා මිල රටේ ඇත්තටම දර්ශනය වන මිලද යන්න සැකයට භාජනය වන අවස්ථාවට පැමිණ තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන කැලණිය විශ්වවවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ විමසන්නේ භාණ්ඩ මිල තීරණය කිරීමට වෙළෙඳුන්ට ඉඩ ලබා දී උද්ධමනය පමණක් රජය තීරණය කිරීම කොතරම් දුරට සාධාරණද යන්නය. රටේ භාණ්ඩවල පවතින සත්‍ය මිල උද්ධමනය තීරණය කිරීමට පාවිච්චි කරනවාද යන්න පිළිබඳ ජනතාව සහ විද්වතුන් අතර සැකයක් පවතින බව ඇය කියයි.

''උද්ධමනය තීරණය කිරීමට පාවිච්චි කරන මිල මට්ටම් ඇත්තටම ප්‍රායෝගිකද යන්න ගැටලුවක්. එසේම ඒවා ලබාගන්නා ක්‍රමවේදයද ප්‍රශ්නකාරීයි. දිවයින තුළ එකතු කරන මිල ගණන් යථාර්ථවාදීද? එයින් සත්‍ය මිල මට්ටම නිරෑපණය වෙනවාද කියන එක ගැටලුවක්. 2022 උද්ධමනය සියයට 60 කට ආසන්න අගයක තිබියදී රටේ පැවතුණ ජීවන මට්ටම හා අද සියයට 1 කටත් අඩුවෙන් පවතිද්දී තිබෙන ජීවන මට්ටම අතර එතරම් වෙනසක් නැහැ කියලයි මට හිතෙන්නේ. ජනතාව එදත් පීඩාවට පත් වුණා. අදත් එසේමයි. අද පවතින උද්ධමනය සියයට 1 ට අඩු නම් රටේ භාණ්ඩ හා සේවා මිල සාපේක්ෂව අඩු විය යුතුයි. ජනතාව සුව සේ ජීවත් විය යුතුයි. එහෙත් එහෙම දෙයක් අපට නම් පෙනෙන්නේ නැහැ.

කුස්සියේ පාවිච්චි කරන ආහාර ද්‍රව්‍යවල මිල ගැන බලන්න. මේ වන විට එළවළු, මස්, මාළු, කුළුබඩු මිල අහස උසට නැගලා. ටික කලකින් වෙනස් වෙන්න පුළුවන්. එහෙම නම් ජන හා සංඛ්‍යාලේඛන අංශවලින් මිල පිළිබඳ සමීක්ෂණයක් කරන විට අද පවතින අධික මිල ගණන් හසුවෙනවාද? සමහර විට ඒ අය මිල ගණන් ගන්නා විට එළවළු මිල අන්තයටම අඩුවෙලා තියෙන්න පුළුවන්. ඒත් වැඩි වූ මිල හා අඩු වූ මිලේ සාපේක්ෂ අගය ගන්නේ නැහැ. විකෘති ප්‍රතිඵලයක් එන්නේ ඒ නිසයි. අනිත් දේවල්වල මිලත් එහෙම තමා. ඉතින් කොහොමද කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කරන උද්ධමනය ප්‍රායෝගික වෙන්නේ? සියල්ල විකෘති වෙලයි තියෙන්නේ. උද්ධමනය අගය අවශ්‍ය වන්නේ රජයේ සංඛ්‍යාලේඛන සකස් කිරීමේදී පමණයි.

එහෙම නැතුව එයින් ජනතාවට ඇති වැඩක් නැහැ. අනිත් අතට මිල ගණන් ගන්නා භාණ්ඩ කොතරම් දුරට මිනුම් ගැනීමට යෝග්‍යයද? ඒ සාම්ප්‍රදායික භාණ්ඩ හැර ජනතාව බහුලව පාවිච්චි කරන පාරිභෝගික භාණ්ඩ තවත් තියෙනවාද? ඒවා අඩංගු විය යුතුද? අනික් අතට මේ මිල ගැනිල්ලෙන් රටේ සමස්ත මිල මට්ටම නිරෑපණය වෙනවාද? ආදී ප්‍රශ්නත් තියෙනවා. මම නම් කියන්නේ උද්ධමනය මැනීමට ගන්නා භාණ්ඩ වර්ග සහ මිල ගන්නා ක්‍රමය යථාවත් කළ යුතුයි කියලයි. එවිට තමා සත්‍ය තත්ත්වය නිරෑපණය වෙන්නේ. යථාර්ථයෙන් ඉවතට යනවා නම් කොතරම් උද්ධමනය අඩු වුණත් වැඩක් වෙන්නේ නැහැ. ජනතාව උද්ධමනය කන්ඩද කියලා අහන්නේ මේ හින්දා තමා.''

I යසවර්ධන රුද්රිගූ