2024 ජුනි 08 වන සෙනසුරාදා

නුවරඑළියේ පිස්සු කෙළින ඇමැති ජීවන්

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 176

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේ වතුයායක ප්‍රධාන කාර්යාලයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරෙමින් එහි ප්‍රධාන විධායක නිලධාරියකු ඇතුළු පිරිසක් කාර්යාල අඩස්සියට ගෙන සිදු කළ පීඩාව සහ සිය නිෂ්පාදන කොළඹ තේ වෙන්දේසියට ගෙන යාමට ඉඩ නොදෙන බවට කළ තර්ජන හේතුවෙන් කොළඹ තේ වෙන්දේසිය වර්ජනය කිරීමට ඇතැම් වතු සමාගම් කටයුතු කරමින් සිටින බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ඔවුන් සිය සමාජ මාධ්‍ය ජාල හරහා මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත්, තේ වෙන්දේසියට තේ ඉදිරිපත් නොකිරීමට සහ දේශපාලන අධිකාරියෙන් සිය ජීවිතවලට ඇති තර්ජනයට ආරක්ෂාව ලබාදෙන තුරු ආපසු වතු වෙත නොයාමටත් තීරණය කර ඇතැයි එම වාර්තාවල සඳහන් විය.

අප මේ සම්බන්ධයෙන් කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ හිටපු සභාපති ජයන්ත කරුණාරත්න මහතාගෙන් විමසීමක් කළෙමු. ඒ මහතා සඳහන් කළේ එය සාවද්‍ය ප්‍රකාශයක් බවයි. 

"තේ වෙන්දේසිය වර්ජනය කරන්නට සූදානම් වනවා යන්න කිසිවකු විසින් කරන ලද බොරු ප්‍රචාරයක්. මමත් දැක්කා සමාජ මාධ්‍යවලත් එහෙම වාර්තා වී තිබෙනවා. එහෙම තේ වෙන්දේසිය වර්ජනය කළොත් ලංකාවේ තේ කර්මාන්තය සදහටම නැතිවී යාම වළක්වන්න බැරි වේවි. ජීවන් තොණ්ඩමන් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස වතු සමාගම් ජනාධිපතිවරයාට හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් වෙත පැමිණිලි කිරීමට කටයුතු කර තිබෙනවා.  ඇමැති තොණ්ඩමන්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් නම් වැඩි දෙනෙක් තුළ පැහැදීමක් නැහැ. ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලනවා. බලවත් අමාත්‍යවරයෙක් විදිහට කිසියම් වැරුද්දක් සිදුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ක්‍රමයක් තිබෙනවා. එහෙත් මේ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය හැමෝම දැක්කා. කිසිම පුද්ගලයකුට ඔය විදිහට කෑ ගහල බලපෑම් කරන්න ඔහුට හැකියාවක් නැහැ." යනුවෙන් සඳහන් කළේය.

සතියකට තේ කිලෝ මිලියන 5000ත් 6000ත් අතර ප්‍රමාණයක් වෙන්දේසියේදී අලෙවි වේ. සාමාන්‍යයෙන් තේ කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 1200 වැනි අගයකටය. යම් හෙයකින් තේ වෙන්දේසිය එක් සතියකින් නැවතුණහොත් ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වනු ඇත. ඊට වඩා බලපාන විශාලතම ගැටලුව වන්නේ ලංකාවෙන් තේ මිලදී ගන්නා රටවල් මෙරටින් තේ මිලට ගැනීම අතහැර දමා වෙනත් රටවල් කරා යොමුවීමට එමගින් මග පෑදීමය. කිසිදු හේතුවක් නිසා හෝ තේ වෙන්දේසියට තේ  ඉදිරිපත් නොකර සිටින්නට කිසිදු තේ සමාගමක් පියවර නොගන්නා බවද ජයන්ත කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

මේ අර්බුදය නිර්මාණය වූයේ කැලණිවැලි තේ වතු සමාගමට අයත් සියලු වතුවල නිමි තේ කොළඹ තේ වෙන්දේසියට රුගෙන යාම ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම්  පිළිබඳ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් තහනම් කිරීමට පියවර ගැනීමත් සමඟය. නානුඔය රදැල්ල වතු යායේ වතු අධිකාරිවරයා විසින් තේ වගාවෙන් කොටසක් ඉවත් කොට එහි කෝපි වගා කිරීමට ගත් පියවරට එරෙහි වූ එම වතුයායේ සේවකයන් පිරිසකගේ වැඩ තහනම් කිරීමට පාලන අධිකාරිය පියවර ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් නුවරඑළිය සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයේ සාකච්ඡාවක් පැවැති නමුදු වැඩ තහනමට ලක්වූ වතු සේවකයන් යළි සේවයේ යෙදවීමට වතු සමාගම අකමැති වූ බැවින් එම සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් විය. ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් එම වතුයායේ නිෂ්පාදන තේ වෙන්දේසියට යැවීම තහනම් කරන බව එහිදී ඇමැතිවරයා සඳහන් කර ඇත. එමෙන්ම සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන ලෙසටද අමාත්‍යවරයා වතු වෘත්තීය සමිතිවලට උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ ජීවන් තොණ්ඩමන් ඇමැතිවරයා "වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මක කරන්න කියලා මම වතු වෘත්තීය සමිතිවලට උපදෙස් දුන්නා. වැඩවර්ජනයට පොලිසියට බාධා කරන්න බැහැ. ඒ නිසා මම පොලිසියට ඇවිත් ඉල්ලීමක් කළා මෙය වතු සමාගම් සහ වෘත්තීය සමිති අතර ගැටලුවක් බැවින් අප කරන වර්ජනයට බාධා කරන්න එපා කියලා." යනුවෙන් සඳහන් කළේය.

සහකාර කම්කරු කොමසාරිස්වරයා සමඟ පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වීම මත කෝපයට පත් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා අනුගාමිකයන් පිරිසක් ද කැටුව එම තේ කර්මාන්ත ශාලාවට පැමිණි අතර එහිදී ඔවුහු එහි ප්‍රධාන විධායකවරයා, වතු අධිකාරි සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු පැය කිහිපයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටියහ. එයට සමගාමීව ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය නානුඔය නගරයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. ඇමැතිවරයාගේ බලහත්කාරී තර්ජනය හේතුවෙන් වැඩ තහනම් කර සිටි වතු සේවක පිරිස යළි සේවයේ පිහිටුවීමට එම වතු සමාගම පියවර ගත්තේය. එහෙත් අමාත්‍යවරයාගේ බලහත්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වතු අධිකාරිය විසින් නුවරඑළිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබිණි. එලෙස පැමිණිලි කිරීම සම්බන්ධයෙන් උරණ වූ ඇමැතිවරයා යළි පිරිසක් සමඟ පැමිණ නුවරඑළිය පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. ඉන්පසු ඔහු තම ආධාරකරුවන්ට කියා සිටියේ වතු අධිකාරිවරයා තමන් කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගත් බවටය. ඒ අනුව පිරිස විසිර ගියද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම පැමිණිල්ල මෙතෙක් ඉවත් කරගෙන නොමැති බව අනාවරණ වේ. ආදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් කොට අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

තොණ්ඩමන් ඇමැතිවරයා තමන් සමඟ ගොස් ගැටුම් ඇතිකර ගන්නා හෙයින් තවදුරටත් ඔහුට සේවය කළ නොහැකි යැයි පවසමින් ඔහුගේ ආරක්ෂකයන් පසුගියදා ඇමැති ආරක්ෂක සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබිණි.

තොණ්ඩමන් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් ප්‍රකාශ කළේ වතුකරයට වැඩක් නොකරන පුද්ගලයන් මෙවැනි සුළු දේවල් උලුප්පා පෙන්වමින් චණ්ඩින් මෙන් කටයුතු කරන බවයි. "එවැනි චණ්ඩි පාට් දැම්මොත් තමයි මිනිස්සු තමන්ට සහාය දක්වන්නේ. තමන් සමඟ  තියාගන්න පුළුවන් කියල ඒ අය සිතනවා. දැන් තියෙන්නේ ඉස්සර තිබුණු වතුකරය නෙමෙයි. වතුකරයේ ඉන්න වැඩි දෙනෙක් උගත් අයයි. එවැනි චණ්ඩි පාට් දාල බොරු රඟපෑම් කරල දැන් ඡන්ද ගන්න බැහැ. මේවා, "මම තමයි වතුකරයේ නායකයා" කියල පෙන්නන්න කරන බොරු රඟපෑම්. දැන් පොලිසියටත් ගිහින් පාට් දානවා. නහයට අහන්නේ නැති පොලිස් නිලධාරියෙක් ඉඳල තුවක්කුවක් අරන් වෙඩි තිබ්බොත් මොකද වෙන්නේ. මම හිතන්නේ ආණ්ඩුව කියල ඇති මේ වගේ සංදර්ශන ටිකක් දාන්න, එතකොට මිනිස්සු ඔයා එක්ක ඉඳියි, ඡන්ද වැටෙයි කියලා. ඒවට වතුකරයේ දැන් සිටින ජනතාව රුවටෙන්නේ නැහැ." යනුවෙන් ප්‍රකාශ කළේය.

කලක් වතුකරයේ රජුන් තනන්නන් වූයේ තොණ්ඩමන්ලාය. දැන් ඒ තත්ත්වය වෙනස් වී තිබේ. කලක් තොණ්ඩමන්ලාගේ රාජ්‍යය වූ වතුකරය මෙරට දේශපාලනයේ එක්තරා සාධකයක් ලෙස පැවතියේ ජීවන් තොණ්ඩමන්ගේ මුත්තා වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ කාලයේය. වතුකරයේ ජනතාවට ඔහු දෙවියකු බඳු වූ අතර ඔහුට පිටින් කිසිවක් කිරීමට වතුජනයා කටයුතු කළේ නැත. බලයට පත්වන සෑම රජයකටම වතුකරයේ ඡන්ද ලබාගැනීම සඳහා ඔහු කේවල් කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළේය. කුමන රජයක් බලයට පත් වුවද එම රජය යටතේ ඇමැතිකම් ලබා ගැනීමට ඔහුට හැකිවූයේ එකී කේවල් කිරීමේ බලය තොණ්ඩමන්වරුන් අතර පැවතීම හේතුවෙනි. පසුකාලීනව තොණ්ඩමන්ලාට එරෙහිව වතුකරයෙන් චන්ද්‍රසේකරන්, දිගම්බරන් වැනි පුද්ගලයන් මතු වුවද තොණ්ඩමන්ලාට දැඩි බලපෑමක් කිරීමට ඔවුන්ට නොහැකි විය. එහෙත් මේ වන විට තත්ත්වය වෙනස් වී තිබේ. එදා මෙන් නොව වතුකරයේ ජනතාව හොඳ අධ්‍යාපනයක් ලබා උසස් වෘත්තීන්වලද නිරත වෙති. කලකට ඉහත ලක්ෂ 12ක්ව පැවැති වතු කම්කරු ප්‍රජාව මේ වනවිට එක්ලක්ෂ හතළිස් තුන්දහක් දක්වා පහත වැටී තිබේ. එවන් වාතාවරණයක් තුළ ජීවන් තොණ්ඩමන්ට තම මුත්තා මෙන් වතුකරයේ අධිරාජයා වීම අපහසුය. ඔහුට අවශ්‍ය කෙසේ හෝ ජනතාව අතර කැපී පෙනීමට හා තම ඡන්ද පදනම තහවුරු කර ගැනීමටය. 

සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ අභාවයෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත්වූයේ ඔහුගේ මුණුබුරා වූ ආරුමුගම් තොණ්ඩමන්ය. සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ පුත්‍රයා වූ රාමනාදන් තොණ්ඩමන් දේශපාලනයට නැඹුරු වූවකු නොවීම මත සෞම්‍යමූර්ති තොණ්ඩමන් තම මුණුබුරා වූ ආරුමුගම් තොණ්ඩමන් දේශපාලනයට ගෙන ආවේය. ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයෙන් පසු ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් පක්ෂ නායකයා බවට පත් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය පියවර ගත්තේය. ජීවන් තොණ්ඩමන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අතර පසුව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම්  පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි.

ජිවන් තොණ්ඩමන් තවමත් සිතන්නේ වතුකරයේ සියලු දෙනා තමන් යටතේ සිටින බවටය. එහෙත් එය එසේ නොවේ. යම් පිරිසක් ඔහු වටා සිටියද බහුතරය තොණ්ඩමන්ලාගෙන් ඈත් වෙමින් සිටිති. එහෙයින් දෙමළ චිත්‍රපටවල වීරයා තම ගමේ ජනතාව වෙනුවෙන් මහ පාරේ සටන් කරන ආකාරයට පොලිසිය සමඟ, වතු අධිකාරිවරුන් සමඟ මුහුණට මුහුණ සටන් කොට තම ජනතාවගේ ඉල්ලීම් ලබා දෙන වීරයකු ලෙස පෙනී සිටින්නට ඔහුට අවශ්‍ය වී තිබේ. ඒ ඊළඟ වතාවේත් පාර්ලිමේන්තු යෑමටය. ජීවන් තොණ්ඩමන්ගේ වීදි සටන් දකුණු ඉන්දියානු සිනමා පටයකට දෙවැනි වන්නේ නැත. දේශපාලකයකු යනු ජනතාවගේ සේවකයකු මෙන්ම රටේ නීතියට අවනත පුද්ගලයකුය යන්න ඔහුට අමතක වී ඇත්තේ කුමන් වරදක් කළත් ඇස්කන් පියාගෙන සිටින නායකයන් තවමත් මේ රටේ සිටින නිසාය.

•   ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00