2024 ජුනි 08 වන සෙනසුරාදා

මඩුගල්ලේ වලව්ව බලධාරින්ට අමතක වෙලා විහාරයත් අබලන්

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 176

මහනුවර සිට මහියංගන පාරේ කි.මී. 45 ක් දුරින් මහියංගන පාරේ පිහිටි උඩදුම්බර නගරයෙන් දකුණුපසට ඇති නාම පුවරුවක මඩුගල්ලට දුර කි.මී. 13ක් බව සඳහන්ය. උඩරට රාජධානි සමයේ දී එම පිටිසර ගම්මානයේ ඉපදී වාසය කළ ශ්‍රී වික්‍රම රාජසිංහගේ උඩගබඩා නිලමේ මඩුගල්ලේ නිසා ගම අදටත් ප්‍රකටය. ඉංග්‍රිසින් විසින් රජු අල්ලාගෙන ඔවුන්ගේ පාලනය පිහිට වූ පසුව ඒ අදමිටු පාලනයට එරෙහිව ඌවේ සටන්කරුවන් ආරම්භ කළ 1818 විමුක්ති අරගලයට හිටපු සත් කෝරළේ දිසාව පිළිමතලව්වේ, හිටපු අදිකාරම් ඇල්ලේපොළ සමඟ හිටපු උඩගබඩා නිලමේ මඩුගල්ලේ ද එකතු වීම නිසා අරගලය වඩාත් ශක්තිමත්ව ශීඝ්‍රයෙන් පැතිර යාම ආරම්භ විය. ඉංග්‍රීසින් ප්‍රකාශ කර ඇත්තේ කැරුල්ලේ තෙවැනි ප්‍රධාන නායකයා මඩුගල්ලේ නිලමේ බවය.  

මේ දේශප්‍රේමී නිලමේවරයාගේ ජන්ම භූමියට අප පසුගියදා ගියේ ඔහුගේ මතක සටහන් සොයා බැලීමටය. උඩදුම්බර සිට මඩුගල්ල හරහා කළුගලට බස් ධාවනය සිදුවුණත් ඒ නමට පමණි. අප ගිය දිනයේ ද පෞද්ගලික බස්රථ ගමන් වාර රාශියක් අවලංගු කර තිබුණි. පාර දෙපස කැලෑ වැවී ඇති නිසා බස් ධාවනය කළ නොහැකි බව රියැදුරෝ අප සමඟ පැවසූහ. කාපට් දැමූ පටු මාර්ගය ඇදී යන්නේ කඳුකරය මැදිකරගත් නිම්නයකය. ඈතින් ජේ.ආර්. කන්දත් හුන්නස්ගිරි කන්දත් කැපී පෙනේ. තවත් පැත්තකින් දුම්බර කඳුකරයේ ලකේගල ඇතුළු කඳුපන්ති පිහිටා තිබෙන්නේ අලංකාර දසුනක් අප හමුවේ මවමිනි. සීතල දේශගුණය යටතේ පහළ නිම්නයේ තැනින් තැන ගෝවා, නෝකෝල්, බඩඉරිඟු වැනි වගාවන්ය. එතරම් ජනාවාස පැතිරී නැති අදටත් දුෂ්කර ගම්මානයක් සේ සැලකිය හැකි මඩුගල්ලේ නිසංසල පෙදෙසකි. මේ ගමේ අදත් මඩුගල්ලේ පරම්පරාවේ කිහිප දෙනෙක්ම වාසය කරති. මඩුගල්ලේ නිලමේගේ මීමුණුපුරකු වන විජේරත්න බණ්ඩාර මඩුගල්ල අපට මඟපෙන්වීමට පැමිණියේය. 

මඩුගල්ලේ නිලමේගේ සම්පූර්ණ නම කරුණාතිලක ජයසුන්දර වික්‍රමසේකර රාජපක්ෂ වාසල නායක නිසි මුදියන්සේ යි. ඔහුගේ පියා වන්නකු නිලමේ වන අතර, මව පේරාදෙණිය වලව්වේ ආලත්තියේ මුප්පු නිලමේ මහත්මයෝ නම් වූවාය. මඩුගල්ලේ විවාහ වුණේ නුවර කලාවිය දිසාවේ වුණු හලංගොඩ නිලමේගේ දියණියක සමඟයි. ඔහුට දරුවන් සිව් දෙනෙක් සිටියහ. අදත් කොටසක් ඉතුරු වී පවතින මඩුගල්ලේගේ ගමේ වලව්ව මහා මන්දිරයක් නොවේ. එයට හේතුව ඔහු එතරම් ධනවත් රදළයෙක් නොවීමයි. ඔහු මහනුවර වාසය කළේත් කුඩා නිවසක වන අතර අද එතැන ව්‍යාපාරික ස්ථානයක් ඉදිකර තිබේ. මඩුගල්ලේ මහ වලව්ව ඔහුගේ මෑණියන්ට අයත්ව තිබුණි. උඩිස්පත්තුවේ ඔහු තැනූ වලව්වේ සිය සොහොයුරිය වූ ඩිංගිරි මැණිකා වාසය කළාය. 

“ඉංග්‍රීසින්ට එරෙහිව සටනකට යා යුතු බව පළමුවෙන්ම සිතන්නේ මඩුගල්ලේ උඩගබඩා නිලමෙයි. ඉංග්‍රිසින් 1815 දී රටේම බලයට පැමිණෙනවා. දළදාව ආරක්ෂා කර පුද සත්කාර කිරීමට පොරොන්දු වෙනවා. අවුරුදු එකහමාරක් යද්දී මඩුගල්ලේ නිලමේට අවබෝධ වෙනවා, ඉංග්‍රීසින් දළදාවට අවශ්‍ය පුද සත්කාර නොකරන බව. ඒ නිසා මල්වත්තේ නායක හාමුදුරුවෝ හම්බවෙලා කියනවා, දැන් දළදාව මාලිගයෙන් පිටමං කරන්න කාලේ හරි කියලා". විජේරත්න මඩුගල්ලේ අප සමඟ කීවේය. 
ඒ සමඟම ඔහු කතරගම සහ මහියංගන දේවාලවලට බාරවන්නේ ඉංග්‍රීසි ආණ්ඩුව විනාශ වී යන ලෙසත්, සිංහල රජකු පහළවන ලෙසත් ප්‍රාර්ථනා කරමිනි. මෙය ඉංග්‍රීසි පාලකයන්ට එළිදරව් වීමට වැඩි කලක් ගත නොවීය. ඒ ගැන ඔත්තුව ඉංග්‍රීසින්ට දෙන්නේ එක්නැලිගොඩ නිලමේය. ඒ 1816 ජූලි මාසයේ දී ය. මෙහිදී ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම ගැන ඉංග්‍රීසි පාලකයෝ මඩුගල්ලේ නිලමේ වරදකරු කර ඔහුගේ සියලු දේපල රාජසන්තක කර දෙවසරක සිර දඬුවමක් පැමිණවූහ. යාපනය සිරගෙදර රඳවා තැබීමට නියම කෙරුණි. 1816 සැප්තැම්බර් මාසයේ සිට 1817 අගෝස්තු මාසය දක්වා යාපනයේ සිරගෙදර සිරදඬුවම් විඳි ඔහුට 1817 අගෝස්තු මාසේ මැද දී නිදහස ලැබුණි.

අතීත මතක හාරා අවුස්සමින් මඩුගල්ලේ වලව්ව බිමට අපි පියමං කරමින් සිටියෙමු. මේ පෙදෙස මඩුගල්ල දකුණ ග්‍රාම නිලධාරි වසමට අයත්ය. එය ඉදිරිපිටින් ගලායන  දියපහරකි. වලව් බිමේ තිබූ පැරණි ගල් බැමි කඩා වැටෙමින් පවතින බව අපට දැකගැනීමට ලැබුණි.

වලව්වට පිවිසීමට ගල් අතුරා සාදා තිබූ අඩි පාර මෙයට වසර කිහිපයකට පෙර දී කොන්ක්‍රීට් යොදා පිළිසකර  තිබේ. ගල් අතුරා තිබූ අඩි පාර වසර 200කටත් වඩා පැරණි බව මඩුගල්ලේ පරම්පරාවේ ඥාතිහු පවසති. ලෝළිඳ නමින් ප්‍රසිද්ධියට පත්ව තිබූ වලව්වට අයත්  පැරණි ළිඳ ස්වභාවිකව ගලින් සෑදී තිබුණු අතර එයත් සිමෙන්ති බිත්ති බැඳ නවීකරණය කර තිබෙන්නේ අතීත මතක මකා දමමිනි. වලව්ව පිහිටා තිබූ සම්පූර්ණ බිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්නට පියවර ගෙන නොමැති වුවත් එහි ස්වරූපය වෙනස් නොකරන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙහි වර්තමානයේ පදිංචිව සිටින්නේ ෂර්ලින් මහින්ද බණ්ඩාර මඩුගල්ලයි. 

1800 අගභාගය වන්නට වලව්ව දිරාපත් වෙමින් පැවති නිසාත් ඉඩකඩ මදිවීම නිසාත් මේ බිමේ තරමක් ඉහළින් තවත් වලව්වක් ඉදිකර තිබෙන්නේ මඩුගල්ලේ පරම්පරාවේ පසුකාලීන සාමාජිකයන් විසිනි. එය උඩහ වලව්ව නමින් හැඳින්වේ. එයට සෙවිලි කර තිබූ උළු කැටයක සඳහන් වර්ෂය අනුව එය ඉදිකර අවසන් වී ඇත්තේ 1888 දී ය. පසුව ගරාවැටී ඇති අතර අද එහි දැකගත හැක්කේ කැලෑවට යටවුණු කළුගලින් බැඳි බිත්ති කිහිපයක් පමණි. උස්බිමක පිහිටි වලව්ව අතීත මතක ගොනුකරගෙන නිහඬ වතක සිටී. සක්කගල් බැමිවලින් ඒ ඉදිරිපස සකසා තිබේ. මිදුලට ඇතුළුවන ස්ථානයේ පඩිපෙළකි.

වලව්වේ අද ඉතිරිව පවතින්නේ සාලය සහ කාමර තුනක් පමණි. මැද මිදුල් සහ අනෙක් කොටස් ගරාවැටී ගොසිනි. මේ වලව්ව‍ට මුලින්ම කාමර 13ක් තිබුණු බව පැවසේ. සිංහල උළු සෙවිලි කර තිබූ ගොඩනැගිල්ලේ පියස්ස දිරාපත්වීම නිසා මෑතකදී තහඩු සෙවිලි කර තිබේ. ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ කළුගලින් කළ පදනමක් මතය. එහි බිත්තිද කළුගලින් කළ සක්ක බැම්මෙන් ඉදිකර ඇත. මෙහි තිබූ පැරණි භාණ්ඩ අතරින් වැඩි ප්‍රමාණයක් අද දැකගැනීමට නැත. 

මඩුගල්ලේ නිලමේ 1817 දී නිදහස් වී පැමිණ වැඩි කාලයක් ගෙදර කල්ගත කිරීමට ඉඩක් ලැබුණේ නැත. ඉංග්‍රීසි පාලනය ගැන කලකිරී සිටි වෙල්ලස්ස සහ උඩරට ජනතාව කැරුල්ලකට කල්යල් බලමින් සිටියේය. 1818 අවුරුද්දේ මුල් මාස කිහිපය තුළ එය ඌව සහ උඩරට ප්‍රදේශය පුරා දළුදමමින් පැතිර ගියේය. මඩුගල්ලේ උඩගබඩා නිලමේ ද කැරුලිකරුවන් සමඟ එකතුව ඔවුන්ට සහයෝගය දක්වන්නට විය.

මාස කිහිපයක් යනවිට කැරුල්ල වඩාත් ප්‍රබලව පැතිරෙන්නට වූ අතර මඩුගල්ලේ නිලමේ අල්ලා දෙන කෙනකුට තාරකා පගෝදි 1000ක තෑග්ගක් දෙන බවට ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් 1818 මාර්තුවලදී විශේෂ නිවේදනයක් නිකුත් කළේය. අනෙක් කැරලි නායකයන්ට ද තෑගි පිරිනමන බවට නිවේදනය කෙරුණි. ටික කලක් ගතවන විට කැරුල්ල ක්‍රමයෙන් අඩපණ වන්නට විය. 

1818 ඔක්තෝබර්වල දී මාතලේ උඩුගොඩ කෝරළේ නික්වැල්ලේ දී ලුතිතන් කර්නල් රෙනොල්ඩ්ට ලැබුණු ඔත්තුවක් අනුව ඔත්තුකරුවන් ද සමඟ ගොස් අළහැරට සැතපුම් බාගයක් නුදුරුව පිහිටි පර්වතයක් අසල සැඟවී සිටි මඩුගල්ලේ නිලමේ ඇතුළු කැරුලිකරුවන් කිහිප දෙනෙක් තුවක්කු දෙකකුත් සමඟ අත්අඩංගුවට ගනු ලැබීය. එදිනම ගැමියන්ගෙන් ලැබුණු තවත් ඔත්තුවකට අනුව කැලෑවක සැඟවී සිටි භික්ෂුවක් අත්අඩංගුවට ගැනුණි. ඒ භික්ෂුව වාරියපොළ සුමංගල හිමි වූ අතර සිවුරු පොට්ටනිය තුළ දන්ත ධාතුන් වහන්සේ සහිත කරඬුව සොයාගනු ලැබුණි.  

මහනුවර යුද්ධාධිකරණයේදී මඩුගල්ලේ ඇතුළු කැරලි නායකයන්ට එරෙහිව නඩු ඇසූ අතර 1818 නොවැම්බර් 16 දා තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ හිස ගසා මරා දැමීමට නියෝග කරමිනි. ඒ අනුව 1818 නොවැම්බර් 26 දා මොනරවිල කැප්පෙටිපොළ නිලමේ සමඟ මඩුගල්ලේ නිලමේ ගේ ද හිස ගසා මරා දැම්මේ මහනුවර බෝගම්බර වධක භූමියේදීය. මඩුගල්ලේගේ මරණ දඬුවමෙන් පසුව ඔහුගේ බිරිය සහ දරුවන් සිව්දෙනා කළුතරට පිටුවහල් කෙරුණි. මව සහ සොයුරිය කොළඹ රඳවා තැබූහ. ගෙවල් දොරවල් වතුපිටි රාජසන්තක කළේය. ඒ අතරම නිලමේ අල්ලාගැනීමට උපකාර කළ මිනිසුන්ට පවුම් 600ක් වටිනා ත්‍යාග පිරිනැමුණි. 

මඩුගල්ලේ විහාරය

වලව්වට නුදුරින් කෙත්යායක අද්දර උස්බිමක විහාර බිම පිහිටියේය. එය මල්වතු පාර්ශ්වයට අයත් පුදබිමකි. එහි සංඝාවාසය, සහ දාගැබ මෑතකදී ඉදිකර තිබුණ ද විහාර මන්දිරය උඩරට කාලයේ තැනූවකි. අඩි 12ක් දිගකින් යුත් අඩි 10ක් පමණ පළල කුඩා විහාරයේ පියස්ස දිරාපත්ව යමින් තිබේ. වර්තමාන විහාරාධිපති වන්නේ ලැමසූරියගම සුමේධ හිමියෝ වෙති. 

"පුරාවිද්‍යා ස්මාරකයක් නිසා පියස්ස අලුතින් හදන්න අපට අවසර නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදන්නෙත් නෑ. ඒ නිසා පිළිමගෙයි වටේට කොන්ක්‍රීට් කණු සිටුවලා ඉහළින් වහලයක් හදන්න තමයි දැන් කටයුතු කරන්නේ. ඒකටත් සියලු මුදල් දැරීමට දායක ගම්වලට අමාරුයි." විහාරාධිකාරී හිමියෝ අප සමඟ කීහ. 

විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ඉදිකළ බව පැවසේ. විහාර ගෙය කිහිප වරක්ම අලුත්වැඩියාවට ලක්ව ඇති අතර පුරාණයේ දී මැදගෙදර විපස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි නරම්පනාවේ රතනපාල හිමි මූලික වී සම්පූර්ණ අලුත්වැඩියාවක් කර තිබෙන බව සඳහන්ය. පිළිම ගෙයි හිඳි බුදු පිළිම දෙක සහ සිතුවම් නවීකරණය කර තිබුණත් පිට මාලය වටා යන දාරුමය කුලුනු 16 පෞරාණික බව සිහිපත් කරවයි. දිරාපත් වෙමින් තිබූ දැව කුලුනු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබේ. සිව්රුස් හැඩය ගන්නා කුලුනු අලංකාර පේකඩ සහිතව නිමවා තිබේ. කුලුනු මුහුණතේ කැටයම් අතර බෝපත්, නාරිලතා, ඇතා, හංසයා, සිංහයා, නෙළුම්මල්, කුන්දිරක්කන්, ආචාර කිරීම, ගල්බින්දුව, ලණුදඟය ආදී මෝස්තර රටා දැකගත හැකිය.

සිතුවම්වල සූවිසි විවරණය නිරූපිත අතර වියනේ නෙළුම් මල් රටා සහ පලාපෙති මෝස්තර සහිතය. මෙහි සිතුවම් නැවත ඇඳීමට දායකත්වය දක්වා ඇති සියලුම දෙනා මඩුගල්ලේ පරම්පරාවට අයත් වූවන් බව එහි සඳහන් කර ඇති නම්වලින් පැහැදිලි වේ. විහාරය ආරුක්කු හැඩයේ දොරටුවකින් යුක්තය. දෙපියන් දොර මහනුවර චිත්‍ර සම්ප්‍රදායට අයත් මල් සිතුවමින් අලංකෘතය. 
මඟපෙන්වීම සිදුකළ ප්‍රාදේශීය මාධ්‍යවේදී හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේට අපගේ ස්තුතිය

සටහන සේයාරූ : කුසුම්සිරි විජයවර්ධන

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00