2024 ජුනි 08 වන සෙනසුරාදා

මෛත්‍රීට පාරාවළල්ලක් වූ ජූඩ් ශ්‍රමන්තට දුන් ජනපති සමාව

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 142

2005 ජූලි 1 රටම කැළඹූ සිදුවීමක් කොළඹ රාජගිරිය රෝයල් පාර්ක් නැමැති සුවිසල් තට්ටු නිවාසයෙන් ආරංචි විය. ඒ එම තට්ටු නිවාසයේ පඩි පෙළක තිබී ස්වීඩන් ජාතික ඉවෝන් ඇනට් ජොන්සන් නැමති 19 හැවිරිදි තරුණියගේ මළසිරුර හමුවීමත් සමඟය. බරපතළ ප්‍රහාරයකට ලක්වීම නිසා මුහුණ සම්පූර්ණයෙන් විකෘති වූ මෙම රෑමත් විදේශීය තරුණියගේ ඝාතනය රට පුරා ලැව් ගින්නක් සේ පැතිරී ගියේය. ඇයගේ මරණ පරීක්ෂණය සිදුකළ මොහොතේ අනාවරණය වූයේ හිසට බරපතළ ප්‍රහාර 64ක් එල්ල වී ඇති බවය. ඒ අනුව රහස් පොලීසිය සිය පරීක්ෂණ ආරම්භ කළේය. එවකට රහස් පොලීසියේ සිටි ශානි අබේසේකර විසින් අදාළ පරීක්ෂණය සිදුකළ අතර එහිදී අනාවරණය වූයේ ඉවෝන්ගේ සොහොයුරියගේ ප්‍රේමවන්තයා වූ ජූඩ් ශ්‍රමන්ත ඇන්තනී ජයමහ විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. ඊට සාක්ෂි සැපයුවේ ජූඩ්ගේ ඇඟිල්ලක තිබූ හතරුස් කොටු මුද්දක ප්‍රහාරය එලෙසින්ම ඉවෝන්ගේ මුහුණේ තිබීමත් සමඟය.

ඒ අනුව ඝාතන චෝදනා මත ජූඩ් හට මහාධිකරණයේ නඩු ගොනු විය. වසර හතක් පුරාවට ඇදී ගිය නඩුවේ තීන්දුව 2012 වසරේදී ප්‍රකාශයට පත් කෙරිණි. එහිදී වසර 12ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ තුනක දඩයක් නියම විය. කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා දෙකක් අභියාචනාධිකරණය හමුවේ ගොනු විය. මෙහිදී ජූඩ්ගේ මව්පියන් හරහා එක් නඩුවක් ගොනු වී තිබිණි. ඒ ඔහුට ලැබුණු එම දඬුවම ඉවත් කරන ලෙසය. දෙවැනි අභියාචනාව ඉදිරිපත් වූයේ නීතිපතිවරයා මගිනි. ඒ ජූඩ්ට ලැබුණු දඬුවම ප්‍රමාණවත් නොවන බව පවසමිනි. එහෙත් අවසානයේ ජූඩ්ට වැරදී ගියේය. එනම් අවසානයේදී ඔහුට ඝාතන චෝදනා මත මරණ දඬුවම නියම විය.

මෙම සිදුවීම ඓතිහාසික නඩු තීන්දුවකට පාර කැපීමක් විය. එනම් විත්තියේ පාර්ශ්වයෙන් තර්කයක් ගොඩනැගුවේ අභියාචනාධිකරණයට මරණ දඬුවම ලබා දිය නොහැකි බව දන්වමිනි. ඒ සඳහා ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියහ. එහෙත් අධිකරණ ඉතිහාසයේ ඓතිහාසික තීන්දුවක් ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටියේ මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයටද මරණ දඬුවම ලබාදීමේ හැකියාවක් පවතින බවය. ඒ අනුව ජූඩ්ට මරණ දඬුවම සහතික විය.

ජූඩ්ගේ එළියට ඒමේ කතාව පටන් ගන්නේ ඊට පසුවය. 

ජනාධිපතිවරයකු සතුව කිසිදු විටෙක ඍජුව ජීවිත නිදහස ලබාදීමේ හැකියාවක් නැත. ඒ සඳහා අදාළ ක්‍රමවේදයක් පවතී. කෙසේ වෙතත් විශේෂ ජනපති සමාවක් හරහා මරණ දණ්ඩනය ජීවිතාන්තය දක්වා අඩුකිරීමට හැකියාව පවතී. එපමණක් නොව ජනාධිපතිවරයා නිදහස ලබා දෙනවා නම් අදාළ නඩු තීන්දුව ලබාදුන් විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් ලබාගෙන, ඒ වාර්තාව නීතිපතිවරයාට යොමුකර නිර්දේශ ලබාගත යුතුව ඇත. ඊටත් අමතරව අධිකරණ අමාත්‍යවරයා හරහා ද නිර්දේශ ලබාගත යුතුව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය හරහා එම බලතල ජනාධිපතිවරයාට 78 ව්‍යවස්ථාව මගින් ලබා දී ඇත. මීට පෙර මෙම බලය රුජනටත්, ආණ්ඩුකාරවරයාටත් හිමිවී තිබුණි.

ඒ අනුව 2016 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජූඩ් ශ්‍රමන්තගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා ලිහිල් කෙරිණි. එම තීරණයෙන් පසුව 2019 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූර කාලය අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදී ජූඩ්ට ජනපති සමාව ලබා දුන්නේය. මෙය ජනපති සමාව සම්බන්ධයෙන් මහා සංවාදයක් මතු වූ අවස්ථාවක් විය. රටම කළඹවන අමානුෂික ඝාතනයක් සිදුකළ අයකුට මෙලෙස ජනපති සමාවක් ලබා දෙන්නේ කෙසේද යන්න බොහෝ අයට ප්‍රශ්නයක් විය. එහෙත් මෛත්‍රීපාල සුපුරුදු ගැලවීමේ න්‍යාය යොදාගනිමින් මේ සම්බන්ධයෙන් එක්තරා අවස්ථාවකදී සිය අදහස මාධ්‍ය ඉදිරියේ කීවේය. එනම් ඒ දරුවගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් පැමිණි බවත්, ඔහු සිරගෙදර යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කළ අතර ඔහු හොඳින් අධ්‍යාපනය හදාරන බැවින් එම නිදහස සම්බන්ධයෙන් සලකා බැලූ බවත් සිරිසේන මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම නිදහස සම්බන්ධයෙන් විශාල සමාජ කතිකාවතක් සමාජය පුරා ඇතිවූ අතර මෙය මුදලට සිදුකළ නිදහස් කිරීමක් බව ඇතැම් අවස්ථාවලදී චෝදනා එල්ල විය. එහෙත් ඒ සියල්ල මෛත්‍රීපාල මහතා ප්‍රතික්ෂේප කළේය. මේ අතර නැවතත් කතාවක් මතු වුණේ ජූඩ් ශ්‍රමන්ත නිදහස් කිරීම සඳහා අත යට ගනුදෙනුවක් සිදුවූ බවටය. එය තහවුරු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එක්තරා රෑපවාහිනී වැඩසටහනකදී කීවේ තවත් පාර්ශ්වයක් මේ සඳහා මුදල් ගත් බව දැනගන්නට හැකිවූ බවත් එය බුද්ධි අංශ හරහා සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වුණු බවත්ය. කෙසේ වෙතත් ජූඩ්ව නිදහස් කරන ලෙස ඉල්ලීම් සිදු කළේ අතුරලියේ රතන හිමියන් බවද ඔහු එහිදී කීවේය. මෙහිදී ඍජුව ප්‍රකාශ නොකළත් මෛත්‍රීපාල චෝදනාව එල්ල කළේ අතුරලියේ හිමියන්ටය.

අවසානයේදී අතුරලියේ රතන හිමියන් මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ අනුව 2022 අගෝස්තු 22 දා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැය 3 ක ප්‍රකාශයක් රහස් පොලීසිය විසින් ලබාගෙන තිබිණි. ඒ මෙම අල්ලස් ගැනීම සම්බන්ධයෙනි.

මේ අතර අදාළ සමාව දීම සම්පූර්ණයෙන් ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රමවේදයෙන් තොරව සිදුවූවක් බවට දන්වමින් කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ට සඳහා පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අදාළ නඩුව විභාග වෙමින් තිබුණු අතර ඔවුන් එල්ල කළ චෝදනාව වූයේ මරණ දණ්ඩනය හිමිවූ අයකුට ජනාධිපති සමාව ලබාදීමේදී සිදු කරන ක්‍රමවේදය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුගමනය කර නොමැති බවය.

ඒ අනුව අදාළ පෙත්සමේ තීන්දුව පසුගිය බ්‍රහස්පතින්දා (06) ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කෙරිණි. එනම් ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනුව ජනාධිපති සමාව ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය කර නොමැති බවත්, ඒ අනුව හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් වහාම ජූඩ් ශ්‍රමන්තට ලබාදුන් සමාව බල රහිත කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය. එසේම උදර්පණ නීතිය යටතේ ජූඩ්ව මෙරටට ගෙන්වා බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය දැනුම් දෙනු ලැබීය.

මෙම නඩුවේදී ජූඩ් ශ්‍රමන්තට ලබාදුන් ජනපති සමා දෙකක් නිශ්‍ප්‍රභ කෙරිණි. පළමුවැන්න නම් 2016 මැයි 26 දා මරණ දණ්ඩනයේ සිට ජීවිතාන්තය දක්වා දඬුවම ලිහිල් කිරීමේ තීරණයයි. එහිදී සිරකරුවන් 69 දෙනකු සඳහා එම නිදහස හිමිවිය. එහෙත් අධිකරණය දන්වා සිටියේ මෙම තීන්දුව එම සිරකරුවන්ට අදාළ නොවන බවයි. දෙවැනි තීරණය වූයේ 2019 ඔක්තෝබර් 30 දා ලබාදුන් නිදහස් කිරීමේ තීරණය වළක්වාලීමයි. මෙම අවස්ථා දෙකේදීම නිසි ක්‍රමවේද අනුගමනය නොකළ බව තීන්දුවේ සඳහන් විය.

පිටු 306 කින් යුත් මෙම නඩු තීන්දුව සභාපති එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ විභාග විය. මේ අතර අදාළ නඩු තීන්දුවට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ලක්ෂ 10ක්ද, ඉවෝන් ජොන්සන්ගේ දෙමාපියන් වෙනුවෙන් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20ක්ද, නඩු ගාස්තු සඳහා රුපියල් 100ක්ද වශයෙන් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. සැබැවින්ම මෙය ඓතිහාසික නඩු තීන්දුවක් බව කිව යුතුය.

කෙසේ වෙතත් දැනට ජූඩ් ශ්‍රමන්ත සිංගප්පූරුවේ ජීවත් වන බවට තොරතුරු ලැබී ඇති අතර නීතිපතිවරයා විසින් උදර්පණ නීතිය යටතේ කොළඹ මහාධිකරණයට නඩුවක් ගොනුකර නියෝග ලබාගෙන ඔහුව නැවත මෙරටට ගෙන ආ යුතුය. එය එසේ සිදුවේද? නැතහොත් ජූඩ් ශ්‍රමන්ත අතුරුදන් වේද? යන්න අනාගතය තීරණය කරනු ඇත.

I ගයාන් ගාල්ලගේ