2024 ජුනි 08 වන සෙනසුරාදා

සාජන් මහත්තයාගේ බස් පොළේ පුස්තකාලය

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 278

බුලත්කොහුපිටිය නේව්ස්මියර් පහළ කනිෂ්ඨ විද්‍යාලය යනු කඳු ශිඛරයකින් වටවූ සුන්දර පාසලකි. දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ යටියන්තොට කොට්ඨාසයේ පිහිටි මෙම පාසලේ පුස්තකාලයක් ඉදිකිරීමට ඉඩකඩ නොමැති වූ හෙයින් ඔවුන් ඒ සඳහා යොදාගත්තේ ලංගම පැරුණි බස් රථයකි. අතහැර දමා තිබූ ලදරන් බස් රථයක් පාසල් භූමියට ලබාගෙන එම බස් රථය සුන්දර පුස්තකාලයක් බවට පත් කර සිසු දරුවන්ට තිළිණ කරන්නට පාසලේ බලධාරීහු කටයුතු කළහ. මෙය කියැවීමේ පුරුද්ද ඇතිකරලීම වෙනුවෙන් එදා අපේ රටේ පාසලක් ගත් ප්‍රශංසනීය උත්සාහයකි. ඒ වගේම තවත් අවස්ථාවක අපේ රටේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙක් ඔහුගේ රාජකාරි නිල රථය ජංගම පුස්තකාලයක් බවට පත් කළේය. 

මේ කියන්නට යන්නේත් එවැනිම කතාවකි. රට පුරා ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා පුස්තකාල ගණනාවක් දැකිය හැකි වුවද බස් නැවතුම්පොළක පිහිටි අරුම පුදුම පුස්තකාලයක් හමුවූයේ මුල්වරටය. ඒ ලේඛිකා නිලක්ෂි බණ්ඩාර සොහොයුරිය මුහුණුපොතේ දැමූ කෙටි සටහනකිනි. ඒ වෙන කොහේවත් නොව රත්නපුර බස් නැවතුම්පොළය. 2023 ඔක්තෝබර් මාසයේදී ඇරඹුණු මෙම පුස්තකාලයේ විශේෂත්වය වනුයේ පොලිස් නිලධාරියකු විසින් පවත්වාගෙන යනු ලබන ලංකාවේ එකම පුස්තකාලය මෙය වීමයි. ඔහු පොලිස් සැරයන් මොහොමඩ් ෆාරුක් මහතාය. ඔහුගේ රාජකාරි ස්ථානය වනුයේ රත්නපුර බස් නැවතුම්පොළේ පොලිස් මුරපොළය. පොලිස් මුරපොළේ කොටසක් වෙන් කරවාගෙන එහි පොත් රාක්ක ගසා සකස් කරගෙන ඇත. පුස්තකාලය අරඹන අවස්ථාවේ පුස්තකාලයටම තිබී ඇත්තේ පොත් 6 ක් පමණකි. එහෙත් මේ වනවිට විවිධ විෂය යටතේ පොත් 1000 කට අධික ප්‍රමාණයක් එහි දැකිය හැකිය. බෞද්ධ පොත්පත්, සාහිත්‍ය පොත්පත්, නවකතා, කෙටිකතා, කවි පොත් ආදී පොත් ගණනාවක් මෙහි සුරක්ෂිතව තිබේ. රත්නපුර බස් නැවතුම්පොළට පැමිණෙන ජනතාවට, පාසල් සිසුන්ට මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට බසයක් එනතුරු බොහෝ අවස්ථාවල පැයක් දෙකක් රුඳී සිටීමට සිදුවෙයි. එවැනි අවස්ථාවලදී මෙම පුස්තකාලයෙන් පොතක් ගෙන බස්පොළේ බංකුවක හිඳගෙන පොත් කියැවීමට ඔවුනට හැකියාව ඇත. මෙම පුස්තකාලයෙන් පොත් කියැවීම මේ වනවිට පාසල් සිසුන්ගේ වගේම බෙලිහුල්ඔය දක්වා යන සබරගමුව සරසවි සිසුන්ගේත් පුරුද්දක් වී තිබෙනු දැකිය හැකිය. 

“බස්පොළ කුඩු ජාවාරමුන්ගේත්, මත් ලෝලීන්ගේත්, වීථි කාන්තාවන්ගේත් රජදහනක් බවට පත්වෙලා තිබුණු කාලයක් තිබුණා. ඒ වගේම පාසල් සිසුන් ඇතුළු පිරිස බස්පොළේ රුඳී සිටින විවිධාකාර විෂමාචාර ක්‍රියාවලට යොමුවීමේ අවදානමක් තිබුණා. මගේ රාජකාරි සීමාවෙන් ඔබ්බට ගොස් මේ ගැටලුවට විසඳුමක් සොයන්න මම උත්සාහ කළා. මේ පුස්තකාලය බිහිවීමේ ප්‍රතිඵලය එයයි. ඇත්තටම කියන්න සතුටුයි, මේ වෙද්දී පුස්තකාලය පරිහරණය කරන පිරිස බොහොමයි. මේ නිසා පාසල් සිසුන් පවා වැරුදි දේවලට පෙළැඹෙන සම්භාවිතාවත් අවම වෙලා තියෙනවා. මම පොලිස් නිලධාරියකු හැටියට සතුටු වෙනවා මට රත්නපුරය ජනතාවට සේවාවක් කරන්න ලැබීම ගැන.” 

නගරයේ සහ බස්පොළේ රස්තියාදුවේ යන කොල්ලෝ කුරුට්ටන්ට දැන් ලැබී ඇති දඬුවම අපූරුය. එනම් නිකරුණේ කරක් ගහනවා නම් පොත් කියැවීමට සිදුවීමයි. පුස්තකාලයට පැමිණෙන පිරිස වැඩිපුරම පරිශීලනය කරන්නේ කුමන ග්‍රන්ථදැයි මම ඔහුගෙන් විමසුවෙමි. එහිදී ෆාරුක් මහතා පැවසූයේ බොහෝ දෙනකු නවකතා කියවන අයුරු තමා දකින බවයි.

1993 වසරේදී කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට බැඳුණු ෆාරුක් මහතා 2010 වසරේ සැරයන් නිලයට උසස්වීම් ලබා 2025 වසරේ පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටී. ඔහු වසර 15 ක් රත්නපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සේවය කර ඇති අතර ඉන්පසු මහාධිකරණ විනිසුරු පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 10 ක්ද, රත්නපුර, බලපිටිය, කෑගල්ල සහ කොළඹ මහාධිකරණ අංක 1 යන අධිකරණ ආරක්ෂක සේවයේ ද යෙදී ඇත. අනතුරුව මහාධිකරණ රාජකාරිවලට සමු දී 2019 වසරේ යළිත් කුරුවිට පොලිස් ස්ථානයට පැමිණ ඉන්පසු එවක රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක වත්මන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ කැඳවීමෙන් කොරෝනා සමයේ නගර ආරක්ෂක රාජකාරි වෙනුවෙන් කැප වී ඇති ෆාරුක් මහතා ප්‍රජා පොලිස් ඒකකයේ රාජකාරිවලින් පසු ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික මහතා ඔහුට විශේෂ රාජකාරියක් බාර දුන්නේය. ඒ රත්නපුර බස්පොළේ පොලිස් මුරපොළේ ස්ථානාධිපති වශයෙන් රාජකාරි කිරීමටය. ෆාරුක් මහතා එදා සිට මේ දක්වා එහි රාජකාරි කරමින් සිටී.‍ 

ෆාරුක් මහතා පැවසූයේ මෙම පුස්තකාලය ඇරඹීමෙන් පසු මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට රත්නපුර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න, කොට්ඨාස බාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර මෙන්ම වර්තමාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අබේසිරි යන මහත්වරු මේ වෙනුවෙන් කැපවූහ. ඒ වගේම ෆාරුක් මහතා පැවසූයේ විශේෂයෙන් සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා තම ක්‍රියාව ඉතා ඉහළින් අගය කළ බවත්ය. යහපත් වැඩට නායකත්වය දෙන ඒ නියමුවා සොයා අප සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ පැවසුවේය. 

“මා දකින්නේ පොලිස් සැරයන් මොහොමඩ් ෆාරුක් නිලධාරියා කර ඇති මේ ක්‍රියාව රත්නපුරයටම පමණක් නොව මුළු රටටම ආදර්ශයක්. ඔහු මීට පෙර පවිත්‍රතා වැඩසටහනක්ද සාර්ථකව කළ දක්ෂතා රුසකින් පිරි නිලධාරියෙක්. ඔහු සිය අධිෂ්ඨානයෙන් උනන්දුවෙන් කැපවීමෙන් සිය රාජකාරිය අකුරට කරන ගමන් මෙම පුස්තකාලය අරඹා තියෙනවා. ඒකෙන් රත්නපුර බස් නැවතුම්පොළට පැමිණෙන පාසල් සිසුන්ට, සරසවි විද්‍යාර්ථීන්ට පමණක් නොවෙයි ඕනෑම කෙනකුට කාලය මිඩංගු නොකර පුස්තකාලයට පැමිණ පොතක් කියවන්නට අවස්ථාව සැලසී තියෙනවා. මේ හේතුවෙන් නගරයේ සහ බස් නැවතුම්පොළේ පැවති වාතාවරණය වෙනස් වී මේ වනවිට සාමකාමී පරිසරයක් නිර්මාණය කරන්නටත් පොලිසිය කෙරෙහි යහපත් මහජන ආකල්පයක් ඇතිකරන්නත් මේ පොලිස් නිලධාරියාගේ ක්‍රියාව සමත්වෙලා තියෙනවා. ඒක සමස්ත පොලිසියටම ගෞරවයක් ලෙස මා දකිනවා.” 

පවතින තරගකාරීත්වය හමුවේ දුව දුව කියවන මිනිසුන් වෙනුවෙන් ෆාරුක් මහතා කර ඇත්තේ අගය කළ යුතු සමාජ මෙහෙවරකි. පොලිස් නිලධාරියකු ලෙස රාජකාරියෙන් ඔබ්බට ගොස් කරන සමාජ මෙහෙවර පැවසීමට වෙන කිසිවක් අවශ්‍ය නැත‍.  

I සසංක චලන ගිම්හාන

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00