''රත්ගම මුහුදේ නාන්න ගොස් අනතුරට පත්වීමට ගිය විදේශිකයා බේරාගනී''
''වත්තල මුහුදේ නාන්න ගොස් දියවැලකට අසුවේ''
ඉහත ආකාරයේ ශිර්ෂ පාඨ අපට පුවත්පත්වල ඉඳහිට හමුවේ. එම වෙරළ තීර නිල් ධජ වෙරළ වූවා නම් එසේ අනතුරට පත්වීම් සිදුවන්නේ නැත. එයට හේතුව ලොව රටවල් රාශියක ක්‍රියාත්මක නිල් ධජ වෙරළ ස්නානයට පිහිනීමට සුරක්ෂිත ස්ථාන බවට පත්ව ඇති හෙයිනි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට විශාල අවධානයක් යොමුකර ඇති අප රටට ද මේ සංකල්පය වැදගත් වේ.
දැන් දෙස් විදෙස් සංචාරකයන් මුහුදේ නාන්න යන විට මෝසම් සුළං නැති කාලවකවානු තෝරාගත යුතු වේ. නමුත් වැඩි දෙනකුට ඒ ගැන අවබෝධයක් නැත. දකුණු මුහුදේ නම් නොවැම්බර් සිට මාර්තු දක්වා නෑමට ඉතාම සුදුසු අතර මුහුද ප්‍රචණ්ඩ වන්නේ මැයි, ජූනි, ජූලි කාලවලය. ඒ වගේම සෑම විවෘත වෙරළ තීරයකම දියවැල් ද පවතී. දියවැල දවසේ වෙලාව, මුහුදේ රළ අනුව වෙනස් වේ. එවැනි අනාරක්ෂිත වෙරළ තීර දියුණු සංචාරක කර්මාන්තයක් සඳහා බාධාවකි. මෙවන් පසුබිමක් යටතේ සංචාරක ආකර්ශනය දිනාගත් මෙරට වෙරළ තීර 28 ක් නිල්ධජ වෙරළ තීර 28 ක් බවට පත් කිරීමට අවධනය යොමුව ඇති බව පසුගිය දා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කර සිටියේය.
ජාත්‍යන්තර සහතිකයක් වන නිල් ධජය පිරිනමන ලද වෙරළ තීරයක් යනු එය පාරිසරික කළමනාකරණයේ ප්‍රමිතීන් සපුරාලන තැනක් බවයි. මෙම ප්‍රමිතීන්වලට ජලයේ ගුණාත්මකභාවය, සංචාරක ආරක්ෂාව සහ පොදු පාරිසරික අධ්‍යාපනයට මුල් තැනක් දීම ආදිය ද ඇතුළත්ය.
මුල් අදියර යටතේ උණවටුන, බෙන්තොට, පාසිකුඩා හා ආරගම්බේ යන වෙරළ තීරවල නිල්ධජ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය සඳහන් කර සිටී. සංචාරක අමාත්‍යංශයේ උපදෙස් මත වැඩිම සංචාරක ආකර්ශනයක් සහිත එම වෙරළ තීරයන් තෝරාගෙන තිබේ.
සංචාරක අමාත්‍යාංශය විසින් මේ වන විටත් රපියල් මිලියන 32 ක මුදලක් ආරගම්බේ හා පාසිකුඩා නිල්ධජ වෙරළ තීර වැඩසටහන වෙනුවෙන් වෙන් කර තිබේ. එම මුදල් දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරන් වෙත මුදාහැර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටී. මෙහි මුල්ම වෙරළ තීරය ලෙස පාසිකුඩා වෙරළ නියාමන ව්‍යාපෘතියක් ලෙස මෙම වසර අවසාන වන විට නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි රජය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ තෝරාගත් වෙරළ කලාප තුළ නිල්ධජ වෙරළ තීර නිර්ණායක සපුරාලීමෙන් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට හැකිවන අතර එමගින් එම කලාපවල පරිසරය ආරක්ෂා කර සංචාරකයන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයීමත් සංචාරක කර්මාන්තයේ දියුණුවත් බලාපොරොත්තු වේ. ඒ සමඟම අදාළ කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද හැකියාව ලැබේ.
වෙරළේ පහස විඳීමට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රමුඛ වැඩසටහනක් වන නිල්ධජ වෙරළ සහතික කිරීමේ වැඩසටහන ලෝකයේ සංචාරකයන් අතර ප්‍රචලිත පරිසර හිතකාමී සන්නාමයකි. නිල්ධජ සහතිකය වෙරළකට ලබාගැනීමට නම් ජලයේ ගුණාත්මකභාවය, පරිසර කළමනාකරණය, පරිසර අධ්‍යාපන තොරතුර හා ජනතාවගේ ආරක්ෂාව යන ප්‍රධාන අංග 04 යටතේ වූ නිර්ණායක 32 ක් සපුරාලීම අවශ්‍ය වේ. වෙරළ හා සාගර පරිසරය ආරක්ෂා කරමින් දූෂණයෙන් තොරව පවත්වා ගැනීම මගින් සංචාරක හා ධීවර වැනි කර්මාන්තවල තිරසර බව ආරක්ෂා කිරීමත් නිල්ධජ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
මේ එහිදී වෙරළ තීරයෙන් සැපයෙන සේවා සම්බන්ධ නිර්ණායක කිහිපයකි,
ලොව පුරා රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක නිල් ධජ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වන අතර එම සහතික නිකුත් කරනුයේ ඩෙන්මාර්ක් පරිසර අධ්‍යයන පදනමයි. නිල්ධජ වෙරළක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා පදනමෙහි සාමාජිකත්වය සහිත ආයතනයක් මෙරට ස්ථාපනය කළ යුතුය. හොඳම වෙරළ තීරවලට නිල් ධජ සම්මාන ලබාදීම ද සිදුවේ.
ඒ අනුව ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට එම පදනමේ සාමාජිකත්වය ලබාගැනීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමිවිය. අදාළ කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසිනි. එමගින් වසර දෙකකට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ඩෙන්මාර්ක් පරිසර පදනමේ සාමාජිකත්වය ලබා ගැනීමට අනුමැතිය හිමිව තිබේ.
අසල්වැසි ඉන්දියාව 2017 පටන් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ලෙස නිල්ධජ වෙරළ තීර සංකල්පය ප්‍රකට මුහුදු වෙරළවල ක්‍රියාත්මක කර තිබේ. ඔවුන් එම වෙරළ තීරවල සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ද අරඹා ඇත. මේ වනවිට ඉන්දියාවේ වෙරළ 12ක් එම සහතිකය ලබාගෙන ඇත. ඒ අතරින් කිහිපයක් වන්නේ ඔඩිෂාවල ගෝල්ඩන් වෙරළ, ගුජරාටයේ සිව්රාජ්පූර් වෙරළ, කේරළයේ කප්පාඩ් වෙරළ, ඩියුහි ගෝග්ලා වෙරළ, අන්දමන් සහ නිකොබාර් දූපත්වල රධනගාර් වෙරළ, කර්නාටකවල කසාර්කොඩ් වෙරළ සහ පඩුබිඩ්රි වෙරළ, ආන්ද්‍ර ප්‍රදේශ් හි රෂිකොන්ඩා වෙරළ ය.
මුලින්ම නිල් කොඩිය ලෙළ දෙන පාසිකුඩා දේශීය මෙන්ම විදෙස් සංචාරකයන් ද ප්‍රිය කරන මුහුදු තීරයකි. විශාල සංචාරකයෝ පිරිසක් සති අන්තයේ ඒ වෙත ඇදී එති. කොළඹ සිට කි.මී. 300ක් දුරින් පිහිටි මේ වෙරළ මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරක් දක්වා පැතිරණු ස්වභාවික දිය තටාකයක් ලෙසද හැඳින්විය හැකිය. පාසිකුඩා මුහුදු බොක්කට මුහුණලා පිහිටි මුහුදු වෙරළේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ශක්තිමත් කොරල්පර වැටියකි. මේ කොරල් වැටිය නිසා මහ මුහුදේ සිට එන විශාල දිය රුළිවලින් පාසිකුඩා මුහුදු තීරය ආරක්ෂා වේ. ඒ නිසා සංචාරකයන්ට අවදානමකින් තොරව මහ මුහුදේ විනෝද වීමට පුළුවන. මේ ශක්තිමත් කොරල් වැටිය පාසිකුඩා මුහුදු වෙරළේ සිට බලන විට පෙනෙන නොපෙනෙන දුරින් පිහිටා ඇත. සංචාරක ආකර්ශනය වැඩි කරවන අලංකාර කොරල්පරවලින් ද පාසිකුඩා මුහුදු තීරය පොහොසත්ය. කොරල්පර බලන්නට යන සංචාරකයන්ට ඒ සඳහා පහසුකම් ද ඒ ස්ථානයේම සපයා ඇත. බෝට්ටු චාරිකාවලින් කලපුවේ ගමන් කිරීම ද සංචාරකයන් ප්‍රිය කරන විශේෂාංගයකි.
කොරල්පර නැරඹීම සඳහා වීදුර පතුල සහිත බෝට්ටු පාසිකුඩා වෙරළේ දී දැකගත හැකිය. සංචාරකයන්ට කිලෝමීටර තුනක් පමණ දුර ගෙවා ගොස් ඒ සීමාවේ ඇති සුන්දර කොරල්පර නැරුඹීමට පුළුවන. කිමිදෙමින් කොරල්පර නැරඹීමට ද සංචාරකයන්ට මෙහිදී අවස්ථාව උදා වී තිබේ. මුහුදු ක්‍රීඩා සඳහා ද මෙම වෙරළ තීරය ප්‍රකටය. සර්ෆිං සහ සුළං ඔර ඒ ක්‍රීඩා ඉසව් දෙකකි.
නිල් ධජය සවි කරන තවත් වෙරළක් වන ආරගම්බේට කොළඹ සිට දුර කිලෝමීටර 320කි. එය නැගෙනහිර වෙරළේ පොතුවිල් නගරයට කිලෝමීටර් 4ක් දකුණු දිගින් පිහිටා ඇති සුන්දර වෙරළ තීරයකි. ලෝකයේ රළ ක්‍රීඩා හෙවත් සර්ෆිංවලට ඉතාම සුදුසු වෙරළ තීරයන් 10 අතර ආරගම්බේ වෙරළ තීරයත් අඩංගු වේ. මේ නිසා ජාත්‍යන්තර සර්ෆිං තරගාවලි පවා මේ වෙරළ තීරයේ පවත්වා තිබේ. සර්ෆිංවලට ඇති ජනප්‍රියතාවය නිසාම යුරෝපීය රටවල් ද ඇතුළු රටවල් රාශියක විදේශීය සංචාරකයෝ ආරගම්බේ වෙරළට ඇදී එති. මේ නිසාම මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට අවශ්‍ය පහසුකම් දියුණු වී පවතී. පිහිනීම ඇතුළු අනෙකුත් ජල ක්‍රීඩා කරමින් විනෝද වීමට මෙහි ඇති නොගැඹුර මුහුද ඉතාම සුදුසුය. හවස් කාලයේ හිර බැස යන විට වෙරළේ ඇති අමුතුම චමත්කාරය සංචාරකයකුට අමතක නොවන අත්දැකීමකි.
ඒ අනුව නිල් කොඩිය සුළඟට වැනෙන වෙරළක බියකින් තොරව මුහුදේ ස්නානය කිරීමට අපටත් ළඟදීම හැකියාව ලැබෙනු ඇත.
• සේයාරූ - අන්තර්ජාලයේනි
• කුසුම්සිරි විජයවර්ධන