2024 ජුනි 15 වන සෙනසුරාදා

කෑම ඉතුරු කළොත් දඩ ගහන හැ‌ටි

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 284

ලෝකයේ ආහාර අපතේ යවන රටවල් අතරින් අපේ රටට ඇත්තේ ඉහළම ස්ථානයකි. ඒ වගේම චීනය ද එක් රටකි. මේ නිසා චීනයේ ආපන ශාලාවල කෑම ග්‍රෑම් සීයක් ඉතිරි කළහොත් යුවාන් සීයක දඩයක් ගෙවිය යුතු වෙයි. ආහාර අපතේ යාම වැළැක්වීම සඳහා චීනය ගෙන ඇති ක්‍රියාමාර්ග අතර හිස් පිඟන් ව්‍යාපාරය (Clean Plate Campaign) මුල් තැන ගනී. චීනයේ හිටපු ජනාධිපති ෂීජින්පින් විසින් 2020 වසරේදී ඇරඹූ මෙම සංග්‍රාමය හේතුවෙන් නව නීති මාලාවක් 2021 වසරේ සිට ක්‍රියාත්මකය. කෑම ඉතිරි කරන ඕනෑම ආගන්තුකයකුගෙන් අමතර ගාස්තුවක් අය කිරීමට ආපන ශාලාවලට අයිතිය ලබා දී ඇත. වැරදිකරුවන් වන ආපන ශාලාවලටත් යුවාන් දසදහසක දඩයක් ද ගෙවීමට සිදුවෙයි. දිගින් දිගටම සිදුවුවහොත් එම දඩ මුදලේ ප්‍රමාණය වැඩි වෙයි. 

චීනය ගැන කතා කළ ද අපේ රටේ තත්ත්වයත් මෙයට නොදෙවැනිය. දෙවැනි ලෝක යුද සමයේ දී ආහාර ආනයනය සීමා විය. එකල ආහාර අර්බුදයක් හටගත් අතර එකල අපේ රටේ මිනිස්සු වෙල් යායවල තිබූ බජිරි පවා කපාගෙන කෑවෝය. එහෙත් දොළොස්මහේ දන්සල් දෙන අපේ රටේ වෙනසකට ඇත්තේ කෑම නාස්තිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාදාමයක් නැතිකමය. නමුත් අප සැමවිටම පවසනුයේ රටක් සංවර්ධනය වීමට නම් ස්වයං ක්‍රියා කලාපය හේතුවෙන් ස්වයං විනය වැදගත් බවයි. මේ කියන්නට යන්නේත් එවැනි කතාවකි. පෙනුමෙන් පාරේ හමුවන ගමේ කෑම කඩයකි. කඩය ඇතුළට ගිය විට සෑම බිත්තියකම පාහේ දැන්වීම් ප්‍රදර්ශනය කර තිබෙනු දැකිය හැකිය. ඒ එක් දැන්වීම් පුවරුවක මෙසේ සඳහන්ය. 
“කෑම බෙදාගැනීමට පෙර කියවන්න. ඔබ බෙදාගන්නා කෑම පිඟාන ඉතිරි නොකරන්න. අවශ්‍ය ප්‍රමාණය පමණක් බෙදාගන්න. මදි නම් ආයෙත් බෙදාගන්න. අවශ්‍ය වෑංජන පමණක් බෙදාගන්න. ඔබ ඉතිරි කරන කෑම සතකුටවත් කෑමට නොහැකිය. අපතේ නොදමන්න. පිඟන්වල ඉතුරුවන කෑමවලට අමතරව අනිවාර්ය රුපියල් 100 ක මුදලක් අය කරනු ලැබේ.” මේක අරුම පුදුම කතාවකි. මේ කතාව ඇහෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. අපේ රටේ ඕනෑ තරම් කෑම කඩ දැකිය හැකිය. එහෙත් කඩයට එන පාරිභෝගිකයන්ගෙන් දඩ ගහන කඩයක් ඇතැයි පැවසුවහොත් කවුරුන් විශ්වාස කරයිද? එවන් පරිසරයක මෙම කෑම කඩය අපට හමුවූයේ රත්නපුර පතුල්පාන ප්‍රදේශයෙනි. හරියටම කියනවානම් මේ කෑම කඩය ඇත්තේ වැලිමළුව පාසල ඉදිරිපිටය.

“මුලින්ම මම තීරණය කළේ කඩේට එන පාරිභෝගික මහත්වරුන්ට හරියට කෑම ටික දෙන්න ඕනෑ කියලා. මුලින්ම වෑංජන ටික පිළිවෙළට හදාගත්තා. මම මුලින් මේ බෝඩ් ගැහුවේ නෑ. අනවශ්‍ය විදිහට බෙදාගෙන කෑම පිඟන්වල ඉතිරි කරනවා මම නිරීක්ෂණය කළා. ඊට පස්සේ පාරිභෝගික මහත්වරුන්ගෙන් මා ඇහුවා කෑම ඉතිරි කරන්නේ කෑමවල අඩුපාඩුවක් දොසක් තියෙනවාද කියලා. ඔවුන් කිව්වේ අපි බෙදාගත්තාට කන්න බෑ ඉතිරි වුණා කියලා. මට හිතුණා මේක අපරාධයක් නිසා කඩේට එන පාරිභෝගික මහත්වරුන් වෙනුවෙන් මෙහෙම නීති මාලාවක් සකස් කරන්න.” 

ගමේ කඩේ නමින් නම් කර ඇති මෙම ආපන ශාලාවේ කෑම ලබාගැනීමට ඇත්තේ තමන්ට බෙදාගැනීමට හැකි සේ බුෆේ ක්‍රමයටය. එලෙස මෙම කඩයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර ඇති දැන්වීමේ අවධානය යොමුවන වාක්‍ය 3 ක් මම නිරීක්ෂණය කළෙමි. ඉන් එකක් නම් අවශ්‍ය ප්‍රමාණයට බෙදාගන්න යන වදනය. මඟුල් ගෙදරක, දානෙ ගෙදරක වගේම දන්සලක වුණත් කෑම බෙදාගන්නා පිරිස් දුසිම් ගණනින් කෑම ඉතිරි කරන ආකාරය අපි දැක ඇත්තෙමු. දවසකට තුන්වේල සපයා ගැනීමට අපහසු පවුල් දහස් ගණනක් ජීවත් වන රටක මෙලෙස ආහාර අපතේ හැරීම කෙතරම් අපරාධයක්දැයි සිතා බැලිය යුතු වන්නේය. එසේම එහි සඳහන් දෙවැනි කරුණ වන්නේ ඔබ ඉතිරි කරන කෑම සතකුටවත් කෑමට නොහැකිය යන්නය. ධනවත් පවුල්වල ඇති කරන සතුන්ට මස් මාළු වෙනමම ගෙනැවිත් ලබා දීමට ඔවුනට හැකි වුවද මධ්‍යම පාන්තික නිවෙස්වල නිවෙසේ ඇති කරන සුරතලුන්ට පවා ලබාදෙන්නේ ආහාර ගෙන ඉතිරි කොටස බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මේ කෑම කඩේ මුදලාලි අපට කියා දෙන මනුස්සකමේ පාඩම වන්නේ කෑම අපතේ හැරීම තිරිසන් සතුන්ටත් අප කරන අසාධාරණයක් බවයි. ඒ වගේම තුන්වැන්න වන්නේ තමන් බෙදාගන්නා ආහාර ඉතිරි කළහොත් රුපියල් 100 ක දඩයක් අය කරන බවත් එම දැන්වීමේ සඳහන්ය. එය පාරිභෝගිකයන් ආකර්ෂණය කර නොගන්නා වැකියක් යැයි ඇතැමුන්ට තර්ක කිරීමට පුළුවන. ලංකාව වැනි රටක මෙවැනි ස්වයං විනයක් පවත්වා ගැනීමට මෙවැනි ග්‍රාමීය වෙළෙඳසල් හිමියකුට හැකිවීම පිළිබඳ අපි සතුටු විය යුතු වෙමු. රත්නපුර පතුල්පාන ගමේ කඩේ හිමිකරු වන ප්‍රසාද් කෝංගල මහතා සිය සංකල්පය පිළිබඳ මෙසේ අදහස් දැක්වූයේය.

“මුලින්ම තිබුණේ ලෑලි කඩයක්. ඒක පටන් ගත්තේ 2009 දී. ඒ දවස්වල විකුණුනේ 1 ක් 2 ක් වගේ තමයි. මේ කඩේ ගමේ තාලෙට පොල්අතු ගහල, මැටි ගහල, හට්ටි තියලා හදන්න ඕනෑ කියලා හිතුණා. ඊට පස්සෙ එහෙම හදලා ගමේ කඩේ කියල බෝඩ් එකක් දැම්මා. කෑම ටිකත් අපි මහන්සි වෙලා හදනවා. අලකොළ මාලුව, සලාදයක්, බැදුමක්, කිරට, මිරිසට වගේ වෙනස් මාළුපිණි 7 ක් වගේ අපි හදනවා. උදේ ඉඳන් හවස් වෙනකල් පරිප්පු හදන්නේ නෑ. කන මිනිස්සුන්ට වෙනසක් වෙන්න ඕනෑ නිසා පරිප්පු හදන්නේ එක වේලයි. එක එළවළුවක් එක පාරකට හදන්නෙ කිලෝ එකයි. කඩල, කවුපි, මුංඇට, දෙල්, ගස්ලබු මාලුවක්, පොළොස් මාලුවක්, කොස් මාලුවක් වගේ දේශීය දේවලුත් හදනවා‍. ඉස්සර නම් හාල් කිලෝ 40-50 වගේ කෑම දුන්නා. කොරෝනාවෙන් පස්සෙ බිස්නස් අඩු වුණා. මේ වෙද්දී කිලෝ 20-25 ක වගේ කෑම හදනවා. මේක කරගෙන යද්දී ටිකෙන් ටික කෑම කන්න කට්ටිය වැඩි වෙන්න ගත්තා. අපි රසකාරක කෑමවලට දාන්නේ නෑ. ඒත් කෑම ඉතුරු වෙනවා දකිද්දී ඒක මට ලොකු ප්‍රශ්නයක් වුණා.

 මම කල්පනා කළා මේ ඉතුරුවෙන එක අඩුකර ගන්න ඕනෑ එහෙම නොවුණොත් මේක කරගෙන යන්නත් අමාරු නිසා. හාල් කිලෝ 10 ක බත් ඉව්වොත් කිලෝ 3 ක් විතර ඉතුරු වුණාම ඒකෙනුත් 15 කට වගේ කන්න තියෙන අවස්ථාව තමයි නැති වෙන්නේ. මම පස්සේ සෑම මේසයකටම දැන්වීමක් ගැහුවා. බුෆේ එක තියෙන්නේ කඩේ ඇතුළේ නිසා ඒකට යන අයට මේ මේසවල ගහල තියෙන දැන්වීම දකිනවා. මේක කළාට පස්සේ කෑම ඉතුරු කරන එක සියයට අනූවක වගේ පාලනයක් වුණා. දවසට ලොකු කුණු බක්කි දෙකක් අයින් කරපු අපි මේ වෙද්දී සතියකට ලොකු කුණු බක්කියක් තරම්වත් පිරෙන්නේ නෑ. කෑම අපතේ යන එක අඩු වුණා. එන පාරිභෝගික මහත්වරුනුත් ඒක කල්පනා කරල බලල කරනවා. ඒක මට ලොකු ශක්තියක් වුණා. අපි කෑම එකක් රුපියල් තුන්සීයකට දුන්නාට හාල් අපි දෙන්නේ කීරි සම්බා. කෑම විසි කළාම ඒකෙන් යන්නෙත් සල්ලිනෙ. කෑම ඉතුරු කළොත් අදටත් මම සල්ලි අය නොකර ඉන්නේ නෑ. ඒක කරනවා. ඇත්තටම ඒ තත්ත්වය දැන් ගොඩක් අඩුයි. ඒක ගැන ගොඩක් සතුටුයි.”

පතුල්පාන ගමේ කඩේ මුදලාලි දේශයට පැවසූයේ එහෙමය. මෙවැනි කඩ හිමියකුගෙන් මෙවැනි ආදර්ශයක් රටටම ලැබුණු පළමු අවස්ථාව මෙය යැයි සිතමි. එහෙයින් ඔහු වැනි වෙළෙඳුන් අප රටේ තව තවත් බිහිවේවා යැයි පතමි.


• සසංක චලන ගිම්හාන