2024 ජුනි 15 වන සෙනසුරාදා

වීදි සතුන්ට කෑම දෙන අම්පාරේ එස්.අයි. මහත්තයා

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 14

ඔහු නමින් සරත් විජේසිංහය. මේ වන විට අම්පාර කොට්ඨාස රණවිරු සුබසාධක අංශයේ ස්ථානාධිපති ලෙසින් කටයුතු කරන උප පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ වසර ගණනාවක් තිස්සේ අම්පාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරයි. 1987 අවුරුද්දේ ජනවාරි මාසයේ සිට පොලිසියට එක්වූ ඔහු ගලහ, පේරාදෙණිය, ගම්පොළ, මහනුවර, මහියංගණය, බදුල්ල ආදී ප්‍රදේශවල සේවය කොට අවසානයේදී අම්පාර පොලිසියට එක්විය.

උප පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ සෑම දිනකම ප්‍රදේශයේ ජීවත්වෙන වීදි සතුන් වෙනුවෙන් ආහාර වේලක් ලබාදෙන සංවේදී පුද්ගලයෙකි. තම සේවා කාලය අවසාන කොට නිවෙස බලා යන සරත් විජේසිංහට අනේක වාරයක් මෙම අසරණ වීදි සතුන් නෙත ගැටී තිබිණි. ඒ නිසාම ඒ අසරණ සතුන්ගේ කුස පුරවාලන්නට මේ උප පොලිස් පරීක්ෂකවරයාට අදහසක් ඇතිවිය. ඔහු වීදිවල අසරණව තුවාල වී සිටින සතුන් පශු වෛද්‍යවරුන්ට පෙන්වා අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය. ඒ අතරේ අනතුරුවලට ලක්වූ වීදි සතුන් කිහිප දෙනකුටම සැත්කම් කර තිබුණි. ඔහු ප්‍රදේශයේ සිටින පශු වෛද්‍යවරුන් දැනුවත් කොට සතුන්ට අවශ්‍ය ජල භීතිකා එන්නත් ලබා දුන්නේය. එවැනි සතුන් වෙනුවෙන් එලෙස කටයුතු සිදු කරද්දී මේ අසරණ සතුන්ගේ කුස පුරවාලන්නට ද සරත් විජේසිංහ අමතක කළේ නැත. නිවෙස්වල සුඛෝපභෝගී ජීවිත ගත කරන නිවෙස් සතුන් තුන්වේලටම කා සුරසැප විඳිද්දී වීදි සතුන්ගේ කුස එක වේලකට හෝ පුරවන්නට සරත් සිතුවේය.

උප පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ විවාහකයෙකි. ඔහුගේ බිරිඳ හා පුතු ද සරත් විජේසිංහගේ සංවේදී හිත හඳුනාගෙන සිටියහ. සරත් විජේසිංහගේ බිරිඳ අම්පාර මහජන බැංකුවේද, පුතා අම්පාර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේද සේවය කරති. විජේසිංහ ජීවත් වන්නේ නිවෙසක් සහිත කුඩා ඉඩමකය. එහි සතුන්ට ආහාරපාන පිසින්නට නිසි ඉඩක් තිබුණේ නැත. ඒ නිසාම ඔහු ගමේ විහාරයේ නායක හාමුදුරුවන්ගේ අවසරය ඇතිව විහාරයේ විශ්‍රාම ශාලාවේ ඇති මුළුතැන්ගෙයි කොටසක් මෙම ආහාර පිසීමට වෙන්කර ගත්තේය. මේ සඳහා අම්පාර ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙන්වාසී කිරිඳිවැල ශ්‍රී සෝමරතන නායක හාමුදුරුවන්ගේ අවසරය හා ආශිර්වාදය සරත් විජේසිංහට ලැබුණි.

එතැන් සිට සෑම සවසකම තම පොලිස් රාජකාරිය අවසන් කරන සරත් විජේසිංහ, වීදි සතුන් සඳහා ආහාර පිසීමේ කටයුත්තේ නිරත වෙයි. මේ වන විට එක් දිනක එක් වේලක් සඳහා හාල් කිලෝ දහයක බතක් සතුන් වෙනුවෙන් පිසීම සිදුවෙයි. මේ ආහාර පිසීම වෙනුවෙන්ම අවශ්‍ය භාජන රුපියල් හතළිස් අට දහසක් වැය කොට ඔහු තම මුදලින් මිලදී ගත්තේය. මීට අවුරුදු ගණනාවකට පෙර වීදි සතුන් දහතුන් දෙනකුගෙන් ඇරුඹුණු මෙම සත් ක්‍රියාව, අද වන විට වීදි සතුන් එකසිය පනස් දෙනකු දක්වා පැතිරී පවතී. තමන් විසින් පිසගත් ආහාර සරත් විජේසිංහ තම මෝටර් බයිසිකලයෙන් අම්පාර වීදියක් වීදියක් ගාණේ පදවාගෙන යමින් සතුන්ගේ කුස පිරවීමට කටයුතු කරයි. අද වන විට සෑම සවසකම වීදි සත්තු විජේසිංහගේ මෝටර් බයිසිකලය එනතුරු  බලාගෙන සිටිති.

වීදි සතුන්ගේ බතට pet food, මස්, හෝ මාළු හෝ සැමන් එක් කිරීමට සරත් විජේසිංහ අමතක නොකරයි. එකල රුපියල් සිය‍යකට මිලදී ගත් සැමන් ටින් එකක් අද වන විට රුපියල් 450 - 500 දක්වා මිල ඉහළ ගොස් තිබේ. බතට අමතරව සුප් කැට දෙකක් එක් කළ මස් හෝ මාළු හෝ සැමන් හොද්දක් ඔහු වෙනමම පිසිනු ලබයි. එහි ලුණු බැලීමද සරත් විජේසිංහම සිදු කරයි. ඒ තරමට පිරිසුදුව, පිළිවෙළට, රසට සතුන්ට ආහාර වේල ලබාදෙන්නට ඔහු අමතක නොකරයි. පිසින ලද ආහාර සතුන්ට ලබාදීම වෙනුවෙන්ම ඔහු ප්ලාස්ටික් පිඟන්ද මිලදීගෙන ඇත. ඊට අමතරව ඔහු පත්තර පිටුවලට දමන ආහාර වීදි සුනඛයන් කා අවසන් වනතුරු බලා හිඳ ඒ පත්තර පිටු සියල්ල නැවත රුගෙන එයි. ඒ කිසිවකගෙන් පරිසරය අපිරිසිදු නොකරන්නට ඔහු වග බලාගනී. මේ සියල්ල සරත් විජේසිංහ සිදු කරන්නේ තනිවමය. ඒ අතරතුරේ ඒ සතුන්ගේ තුවාල ඇත්නම් ඒවා ගැන ද ඔහු සොයා බලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි. මේ කෑම පිසින්නේ දර ලිපේය. අවශ්‍ය දර හා හනසු ඔහු විසින්ම අහළ පහළින් සොයා ගනී. ඊට අමතරව ඔහු ඇතැම් දිනවලදී රුපියල් පනහේ දර මිටිද මිලදී ගනී. විශේෂයෙන් වැහි කාලයේදී දර සොයා ගැනීම එතරම් පහසු නොවේ. නමුත් ඒ කිසිවකින් මේ සතුන්ගේ කුස පිරවීම නතර නොවේ. යම් රාජකාරියකදී හෝ වෙනත් කටයුත්තකදී ඒ වේලාවට ඔහුට එම කටයුත්ත සිදුකළ නොහැකි වුවහොත් සරත් විජේසිංහ මුදල් හා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙමින් ඒ කටයුත්ත වෙනුවෙන් ගමේ වෙනත් කෙනකු ඒ සඳහා යෙදවීම සිදු කරයි. කිසිම හේතුවකින් ඒ අසරණ සතුන්ට කුසගින්නේ සිටීමට විජේසිංහගේ හිත ඉඩ දෙන්නේ නැත. 

මේ සඳහා ගමේ කිහිප දෙනෙක් වරින් වර උප පොලිස් පරීක්ෂක සරත් විජේසිංහට උදව් කිරීමට ඉදිරිපත් වෙති. නමුත් අන් සෑම දිනකම ඔහු ආහාර පිසින්නේ තම මාසික වැටුප වියදම් කරමිනි. එය ලෙහෙසි පහසු දෙයක් නොවේ. සතුන්ගේ ආහාර වෙනුවෙන් මේ වෙද්දි මසකට රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය වේ. කිසිම දවසක ඔහු කිසිම රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් ණයක් ගෙන නැත. ආර්ථික අමාරුකම් තිබුණද සරත් විජේසිංහ මේ සතුන්ගේ කුස පිරවීම නතර කරන්නේද නැත. පිරිවෙනේ දානය ඉතුරු වුවහොත් ඒවාද නායක හාමුදුරුවෝ මේ අසරණ සතුන්ගේ බතට එක් කරති.

අම්පාර ප්‍රදේශයේ අයාලේ යන ගවයන්ට අනතුරු සිදු වූ විට ගම්වැසියන්ට මුලින්ම මතකයට එන්නේ උප පොලිස් පරීක්ෂක සරත් විජේසිංහය. පහුගියදා පශු වෛද්‍යවරුන් පවා ජීවිතය විශ්වාස නොකළ වසු පැටවකුට අවශ්‍ය බෙහෙත් ඉතා විශාල මුදලක් වැය කොට මිලදී ගෙන ලබා දී වසු පැටියා බේරා ගැනීමට ඔහු කටයුතු කළේය. අද වන විට එම වසුපැටියා ඉතා සුවෙනි. කකුලක් කැපීමට තීරණය කළ ගවයකුට අවශ්‍ය ඖෂධ රු. 25000ක් ගෙවා මිලදී ගෙන වෛද්‍යවරුන්ට ලබා දීමෙන් මේ වන විට ඒ ගවයාද සුවයෙන් පසුවෙයි. එවැනි මරණය පෙනි පෙනී ජීවිතයත් මරණයත් අතර සිටි ගවයන් හතර දෙනකු සරත් විජේසිංහ විසින් බේරාගෙන ඇත. ඒ රෝගී ගවයන්ට අවශ්‍ය තණකොළ කපා, පොළවල්වලින් කොස්කටු රුගෙනවිත් ලබා දුන්නේද ඔහුමය. මරණයට කැපවූ ගවයන් දහයකට වැඩි ප්‍රමාණයක් ඔහු මරණයෙන් බේරා ගත්තේය.

“සතුන් විතරක් නෙමෙයි, මගීන් විසිදෙනකුට වැඩි පිරිසක් සිටි බස් රථයක් ගින්නට හසුවූ වේලාවේ ඒ ගින්නෙන් බේරාගන්න මට පුළුවන් වුණා. මමයි බිරිඳයි මාවනැල්ල ගිහින් එද්දි අපේ වාහනයට ඉස්සරහින් ගිය සි.ටී.බී බස් එක පිටිපස්සේ දුමත් එක්ක පොඩි ගින්නක් ඇතිවෙලා තියෙනවා මම දැක්කා. ඒ බස් එක නතර කරලයි තිබුණේ. මගේ බිරිඳ එපා කියද්දි මම වාහනෙන් බැහැලා ඒ බස් එක ළඟට ගිහින් ඒ මිනිස්සුන්ව ඉක්මනට එළියට අරගෙන අහළ පහළ අයගේ උදව්වෙන් ඒ ගින්න නැවැත්තුවා. ඒ වෙනුවෙන් බිබිල ඩිපෝවෙන් මට ස්තූති ලියුමක් පවා පහු කාලේ එවල තිබුණා." යැයි උප පොලිස්  පරීක්ෂක සරත් විජේසිංහ මහතා දේශයට පැවසීය.
විශේෂ ස්තුතිය.

අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

•  ජේ.එච්.එම්. ජයපද්ම මහතාට

•  දිශානි ජයමාලි කරුණාරත්න