2024 ජුනි 15 වන සෙනසුරාදා

මහනුවර රෝහලේ බයිපාස් රෝගීන් අමාරුවේ

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 70

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හදවත් රෝගීන් 100 ක් පමණ පිරිසක් තම බයිපාස් හදවත් සැත්කම් කර ගැනීමට නොහැකිව දැඩි ලෙස අසරණ වී සිටින බවත් ඇතැම් බයිපාස් සැත්කම් රෝගීන් තම සැත්කම් කර ගැනීමට මාස ගණන් කල් බලාගෙන සිට බැරිම තැන රෝහලෙන් පිටව ගොස් ඇති බවත් එම රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීහු පැවසූහ.

බයිපාස් සැත්කම් අපේක්ෂාවෙන් මහනුවර ජාතික රෝහලේ හදවත් රෝගී වාට්ටුවල (71, 72) ප්‍රතිකාර ලබමින් සිට තම සැත්කම් ප්‍රමාද වීම නිසා රෝහලෙන් ටිකට් කපාගෙන ගෙදර ගිය හෘද රෝගීන් කිහිප දෙනෙක් තම දුෂ්කරතා හැඬූ කඳුළෙන් පැවසූහ.

බයිපාස් හදවත් සැත්කම් කර ගැනීම සඳහා දින ලබාදෙන තෙක් තමන් පොරොත්තු ලේඛනයේ තමන් සිටින බවද රෝගීහු පැවසූහ. එමෙන්ම චැනල් කර වාට්ටුවට ඇතුළු වන හෘද රෝගීන්ට විශේෂ සැලකිලි ලැබෙන බව බයිපාස් හදවත් සැත්කම් අපේක්ෂාවෙන් සිටින ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

මහනුවර හෘද රෝග වාට්ටු අංක 71 ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු පැවසුවේ තමන් තම බයිපාස් සැත්කම කර ගැනීමේ අපේක්ෂාවෙන්  මාස තුනක් පමණ රෝහලේ නැවතී සිටියදි සැත්කම පමාවීම නිසා තම කැමැත්තෙන්ම ටිකට් කපාගෙන නිවෙසට පැමිණි බවයි.

මහනුවර ජාතික රෝහලේ බයිපාස් හදවත් සැත්කම් කර ගැනීමේ අපේක්ෂාවෙන් මාස තුන හතර කාලයක් හෘද රෝගීන් පොරොත්තු ලේඛනයේ සිටින බව රෝගීහු පවසති. මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරයකු පැවසුවේ  බයිපාස් හදවත් සැත්කම් සිදුකිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

මහනුවර ජාතික රෝහලේ නම සඳහන් කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු හෘද රෝග සැත්කම් ප්‍රමාදය ගැන අදහස් දක්වමින් මෙසේ කීය.

&මහනුවර රෝහලේ වෛද්‍යවරයකු වූ මටත් මගේ මෑණියන්ගේ බයිපාස් හදවත් සැත්කම කරගන්න අපේක්ෂාවෙන් මහනුවර හෘද රෝග අංශයට මව යොමු කළත් ඇතිවූ පමාව නිසා පෞද්ගලික රෝහලකින් රුපියල් ලක්ෂ 12 ක මුදලක් වැය කර ශල්‍යකර්මය කරගැනීමට සිදු වුණා. හෘද රෝග ශල්‍ය වෛද්‍ය විශේෂඥවරු ඉන්නේ මහනුවර රෝහලටම තුන්දෙනයි. මේ තිදෙනා  බයිපාස් සැත්කම් සිදු කරනවා. ඒත් මේ සැත්කම් සඳහා පරීක්ෂණ රුසක් කිරීමට තිබෙනවා. ඒවා නිසි අයුරින් කළ යුතුයි. සමහර අවස්ථාවල ප්‍රමාදයන් ඇතිවන්නේ ඒ පරීක්ෂණ හරියාකාරව සිදු කිරීම ප්‍රමාද වුණාමයි.

මහනුවර රෝහලේ අවශ්‍ය ශල්‍යාගාර පහසුකම් තිබෙනවා. ඒත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු ප්‍රමාණවත් පරිදි නැතිකම නිසා හෘද රෝගීන්ගේ බයිපාස් සැත්කම් ප්‍රමාද වීමක් සිදුවෙනවා. බයිපාස් හෘද සැත්කම් සිදුකිරීම සඳහා ඒ වෙනුවෙන්ම විශේෂඥ දැනුම තිබෙන හෘද ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබෙනවා. 

මේ සඳහා විශේෂඥ දැනුම තියෙන හෘද ශල්‍ය වෛද්‍යවරු රජයේ සේවයට එන්නේ නැහැ. බොහෝ අය විදේශ රටවලට යනවා. සමහර වෛද්‍යවරු පෞද්ගලික රෝහල්වල සේවයට යනවා. එහෙම ගියාම ඒ වෛද්‍යවරුන්ට ලක්ෂ 12, 15 ක් විතර ලැබෙනවා. 

මහනුවර ජාතික රෝහලට සෑම අංශයකින්ම පහසුකම් වැඩි කළ යුතුයි. රසායනාගාර අංශ මීට වඩා පහසුකම් සහිත තත්ත්වයක තිබිය යුතුයි. සමහර හෘද රෝගීන් තමන්ගේ බයිපාස් සැත්කම් කරගන්න මාස ගණනාවක් බලාගෙන ඉඳල බැරිවුණාම තමන්ගේ ඉඩකඩම් හරි විකුණල පෞද්ගලික රෝහල්වලට විශාල මුදලක් ගෙවල බයිපාස් සැත්කම කර ගන්නවා.

•  ජේ.ඒ.එල්. ජයසිංහ