වසර පහකට ආසන්න කාලයක සිට මෙරටට වාහන ආනයනය කිරීම විවිධ කොන්දේසි පනවමින් මන්දගාමී කර තිබුණද මේ වනවිට යළිත් වරක් ඒ පිළිබඳ අවසර දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව පෙනෙන්නට තිබේ. ඒ අතරම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ විධායක ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන්ටද තීරු බදු සහන යටතේ වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ සලකා බලමින් සිටින බවද වාර්තා වේ.
2025 වර්ෂය දක්වා කල් දමා තිබුණු වාහන ආනයනයට අවසර දීම සුවිශේෂ අවශ්‍යතා පිළිබඳව සලකා බලා ලබන ඔක්තෝබර් මාසයේ සිට පියවරෙන් පියවර ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව දැනගන්නට තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පසුගිය සතියේ අවධාරණය කළේ ඔක්තෝබර්වල සිට කාර්මික හා බර වාහන වලින් පටන්ගෙන ක්‍රමයෙන් මෙම අවසර දීම ආරම්භ කරන බවයි. දෙවැනි පියවර වශයෙන් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ආනයනයට අවසර දෙන අතර එන්ජින් ධාරිතාව අඩු කුඩා මෝටර් රථ සඳහා තෙවනුව අවසර දීමට තීරණය කර ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා පවසයි. සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී වාහන සඳහා අවසානයට ඉඩ දෙන අතර එය ලබන වසරේ දී පමණ සිදුවනවා ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ රජයේ ප්‍රතිපත්තිය විදුලි බලයෙන් ක්‍රියා කරන වාහනවලට ප්‍රමුඛත්වය දීම බවය. විදුලි වාහන ආනයනය කරන අයට සහන සලසන අතර ඔවුන්ට බදු සහන ලබා දීමටද අපේක්ෂා කෙරේ. ඉන්ධන සඳහා මුදල් වැය නොවන නිසා මෙම වාහන ප්‍රවර්ධනය කිරීම විදේශ විනිමය හිඟයටද පිටිවහලක් වනවා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් පරිදි විදේශ විනිමයට හානි නොවන පරිදි හැකි තරම් වාහන මේ වසරේ ආනයනය කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
පසුගිය සමයේ තීරු බදු සහන සහිතව වාහන ආනයනය කිරීමට පෞද්ගලික ආයතනවල ඇතුළු සේවකයන්ට බලපත්‍ර නිකුත් කළද අද පවතින තත්ත්වය අනුව ඔවුන්ට එම වරප්‍රසාදය නැත. මෙය සිදු කරන්නේ රජයට එයින් විශේෂ ආදායමක් අහිමිවන නිසාය. එසේම මෙවර ආනයනයට අවසර දෙන්නේ අලුත් වාහන හෝ අවුරුදු දෙකක් පමණක් පාවිච්චි කළ වාහන පමණි. පැරුණි වාහනවලින් සිදුවන ඉන්ධන අපතේ යාම රජයට අලාභ ගෙන දීම එයට ප්‍රධානතම හේතුව වෙයි. එසේම වාහන දුම් නිසා පරිසරයටද විශාල හානියක් සිදු වෙයි.
රජය මේ අතර ප්‍රමුඛත්වය දී කටයුතු කරනුයේ මෙරටදී කොටස් එකලස් කර වාහන නිෂ්පාදනය කිරිමේ ව්‍යාපාර සඳහාය. රජය එම ව්‍යාපාරිකයන් සඳහා විශාල වශයෙන් සහන සලසයි. මෙම ව්‍යාපාරය නිසා රජයට වැඩි වශයෙන් විදේශ විනිමය ඉතිරි කරගත හැකි වේ. ඔවුන් ගෙන්වන ඇතැම් වාහන කොටස්වලට සියයට 45 දක්වා තීරු බදු සහන සලසයි. රාජ්‍ය ඇමැතිවරයා මේ වනවිට එවැනි සමාගම් 20ක් සමඟ සාකච්ඡා කර ඇති අතර ඒ අය වැඩි දෙනා ඉල්ලා සිටින්නේ වාහන ආනයනයට අවසර නොදෙන ලෙසයි. එයට අවසර දුනහොත් තම ව්‍යාපාරවලට අහිතකර බව ඔවුන් පෙන්වා දී ඇත. පසුගිය වසරේ වාහන 6000 කට වඩා මෙලෙස මෙරට එකලස් කර ඇති අතර මෝටර් සයිකල් 36000 ක්ද එකලස් කර තිබේ. කුඩා වාහනවලට මෙහිදී ප්‍රමුඛත්වය ලැබී ඇත. මෙරට එකලස් කරන වාහනවල මිලද ආනයනය කරන ඒවාට සාපේක්ෂව අඩුවන අතර එය ජනතාවටද සහන සැලසෙන නිසා රජය මෙම ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානයක් දක්වා තිබේ.
වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරන්චිගේ රජයෙන් ඉල්ලා සිටිනුයේ වසර 5-10 පමණ පැරණි වාහනද ආනයනය කිරීමට අවසර දෙන ලෙසයි. අලුත්ම වාහනවලට වඩා ඒවායේ මිල පහළ මට්ටමක ඇති නිසා සාධාරණ මිලකට වාහනයක් හිමිකර ගැනීමට මධ්‍යම ආදායම්ලාභී ජනතාවට අවස්ථාවක් ලැබෙන බව ඔහු කියයි. එසේම ඒවා හොඳ ධාවන තත්ත්වයේ පවතින නිසා දැනට පාවිච්චි කරන අවුරුදු 15-20 පැරණි වාහනවලට තරම් අලුත්වැඩියා කිරීම් අවශ්‍ය නොවන බවද ඔහු කියයි. ආනයනයට පෙර ඒ පිළිබඳ තත්ත්ව සහතිකද ලබා ගැනීම සුදුසු වේ.
එසේම තීරු බදු සහන සහිත වාහන ආනයනය කිරීමට අවසර ඉල්ලා ආණ්ඩුව සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 116 දෙනකු කතානායකවරයාට බාර දී ඇති ලිපිය ගිය සතියේ ජනාධිපතිවරයාට කතානායක විසින් යොමු කරනු ලැබ ඇත. ඒ සඳහා ජනාධිපතිගේ ප්‍රතිචාරය මෙතෙක් ලැබී නැත. මෙම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේද අනුමැතිය ලැබී තිබේ.
මේ පිළිබඳ විරෝධය පළ කර ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතිද්දී තමන් ඇතුළු විපක්ෂ කණ්ඩායම මෙයට ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ බවයි. මෙම ඉල්ලීම පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදීද සාකච්ඡා කෙරුණු අතර එහිදීද ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක්ද මෙයට දැඩි ලෙස විරෝධය පා ඇති බවද දැනගන්නට ඇත. මේ පිළිබඳ තීරණයක් ඉදිරි සතියේදී ගැනීමට නියමිතය.
කෙසේ වුවද මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයන්ටද එම සහනය ලැබිය යුතු වෙයි. ඔවුන් බලා සිටිනුයේ දේශපාලනඥයන්ට වාහන බලපත්‍ර දෙන්නේ නම් තමන්ටද එම සහනය හිමිවනු ඇත කියාය. තවමත් රජය මේ පිළිබඳ අනුමැතිය ලබා දී නොමැති අතර නුදුරු දිනවල තීරණයක් ගන්නවා ඇත.
වාහන ආනයනය යළි ආරම්භ කිරීම නිසා රටේ ආර්ථිකයට සිදුවන යහපත් හා අයහපත් ප්‍රතිඵල පිළිබඳ විග්‍රහයක යෙදෙන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මෙසේ පවසයි.
2018 වසරේ අන්තිම වරට වාහන ආනයනය කරන විට ඒ සඳහා වැය වූ මුළු වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1570 ක්. ඒ ඇමෙරිකානු ඩොලරය රුපියල් 140 මට්ටමේ තියෙන විටයි. එහෙත් අද පවතින අගය අනුව වාහන ආනයනය කරනවා නම් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක් පමණ වැය වේ යැයි සිතිය හැකියි. ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංස්ථා ඩොලර් බිලියන 5 ක් පමණ තියෙනවා යැයි පැවසුවද එයින් බිලියන 1.4 ක් අපට වැය කරන්න බැරි මුදල්. එය වැය කළ හැක්කේ අන්තර් භාණ්ඩ හුවමාරුවකදී පමණයි. සියල්ලට තියෙන්නේ ඉතිරිය පමණයි.
අද රටේ ආර්ථික තත්ත්වය අනුව මෙම මුදල වැය කර වාහන ආනයනය කළොත් එයින් ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවෙනවා. අද ආනයනකරුවන් බලාගෙන ඉන්නේ අඩු මුදලට පාවිච්චි කළ වාහන ගෙන්වන්නයි. වසර 4-5 වාහන ආනයනය නොකළ නිසා විශාල හිඟයක් ඇතිවෙලා තියෙනවා. එය ආවරණය කරන්න විශාල වශයෙන් ගෙන්වාවි. මේ නිසා ඉන්ධනවලට තවත් බිලියන 4 ½ ක් පමණ වැය වෙනවා ඇති. ඒ නිසා හයිබ්‍රිඩ් වාහන ආනයනය කිරීම තමා සුදුසු. ආනයන වාහනවලට ඩොලර් බිලියන 1.5 ක් වැය වෙනවා නම් එයින් රජයට සියයට 200-300 බදු ආදායමක් හිමි වෙනවා. රජයට ඩොලර් බිලියන 3 කට වඩා ආදායමක් ලැබිය හැකියි.
මෙහිදී රජයට වාසි සහ අවාසි යන දෙකම සිදු වෙනවා. ලැබෙන බදු ආදායම සහ රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය හා සැලකූ විට මෙයින් සිදුවන ප්‍රතිඵලය සලකා බැලිය යුතුයි. මගේ අදහස නම් අපට ලැබෙන රුපියල් ආදායමට වඩා ඩොලර් ප්‍රමාණය රුක ගැනීම වැදගත් බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනය කළ යුතු බවටයි. රට ලෝකයෙන් හුදෙකලා කර තිබීම අනුමත කරන්නේ නැහැ. ඒ උපදෙස් අනුව තමයි පසුගිය දිනවල පනවා තිබූ ආනයන සීමා ලිහිල් කළේ. දැන් වාහන ආනයන සීමාද ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා.
අනික් ප්‍රශ්නය වන අපේ ළඟම මිතුරා වන ඉන්දියාවේ ඉල්ලීම ඉටු කිරීමට සිදුව තිබෙනවා. ආනයන තහනම ඉන්දියානු ආනයනවලට තදින් බලපානවා. වසරකට ඉන්දියාවෙන් ත්‍රීරෝද රථ 80,000 ක් පමණ ගේනවා. ඉතින් ඒ තත්ත්වය මත යළිත් ඉන්දියාවේ අභිලාෂය ඉටු කළ යුතු වෙනවා. පසුව චීනය, ජපානය වැනි රටවල්ද ආනයන ආරම්භ කරනවා නම් කැමැතියි. වාහන ආනයනය කිරීම පිළිබඳ අංශ තුනක කරුණු බලපානවා. ඒවා නම් ආර්ථික කරුණු, දේශපාලන කරුණු සහ ජාත්‍යන්තර කැරුණුයි. මේ තුනම ගැන සමාලෝචනයක යෙදිය යුතු අවස්ථාව එළැඹ තිබෙනවා. එයින් ලැබෙන ප්‍රතිඵල එකිනෙකට වෙනස් වුවත් සියල්ල එකට සලකා බැලිය යුතුයි.
කොහොම වුණත් වාහන ආනයනයට ඉඩ දෙනවා නම් එය පියවරෙන් පියවර කළ යුතුයි. ලැබෙන ප්‍රතිඵල අනුව ඉදිරියට යා හැකියි. එහෙම නැතුව අවුරුදු පහක් වසා දමා තිබුණු වාහන ආනයනය එකවරම විවෘත කළ යුතු නැහැ. එසේම විදුලි වාහන ආනයනය කිරීම සාර්ථක වේ යැයි කියන්න බැහැ. ඒවා අතරමග දී චාර්ජ් කිරීමට තවමත් අවශ්‍ය පහසුකම් සකස් කර නැහැ. එසේම චාර්ජ් කිරීමට පැය භාගයක්වත් රඳවාගත යුතු වෙනවා. එලෙස ප්‍රමාද වන්නට සිදුවීමෙන් මෝටර් රථයකින් බලාපොරොත්තු වන සේවය ඉටුවෙන්නේ නැහැ. එසේම අප බලශක්ති අර්බුදයකින් ඉන්නේ. ඒ නිසා විදුලි වාහන අපේ රටේ ප්‍රවර්ධනය කිරීමට තවම කල් වැඩිය යන්නයි මගේ අදහස.
ඊළඟට රාජ්‍ය සේවකයන්ට බදු රහිත වාහන ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමට යාමද වාසි සහ අවාසි දෙකම සිදුවන්නක්. මෙම බලපත්‍රයක උපරිම වටිනාකම ලක්ෂ 36 ක්. එක් වාහනයකින් ලක්ෂ 36 ක බදු ආදායමක් රජයට අහිමි වෙනවා. බොහෝ අවස්ථාවල පර්මිට් නොලැබේ නම් රාජ්‍ය සේවකයන් වාහන ගෙන්වීමට උනන්දු වන්නේ නැහැ. රාජ්‍ය සේවකයන් අලුත් වාහන පාවිච්චි කරනවා නම් කාර්යක්ෂමතාව වැඩි වෙනවා. අලුත්වැඩියා කිරීමට සිදුවන පරණ වාහනයකින් ගමන් කරනවා නම් අවශ්‍ය රාජකාරිවලට යාම ප්‍රමාද විය හැකියි. අනිත් අතට අලුත් වාහනයක් නිසා කෙනකුගේ අභිමානය ඉහළ යනවා. සමාජය බොහෝ විට පුද්ගලයා දෙස බලන්නේ ඔහු පාවිච්චි කරන වාහනය අනුවයි.
එහෙත් එම තත්ත්වය වෙනස් කළ යුතුයි. අපේ අසල්වැසි මිතුරා වන ඉන්දියාවේ වගේ කුඩා වාහනවලට පුරුදු වීම අවශ්‍යයි.
සමාජ තත්ත්වය මැනීමට වාහනය පදනම් කරගත යුතු නැහැ. බොහෝ අය වටිනා වාහන ගන්න පෙළඹෙන්නේ නම් මේ පිළිගැනීම නිසයි. මැති ඇමැතිවරුන්ට වාහන බලපත්‍ර දීමේදී විශාල ලෙස ඉන්ධන වැය වන අධි සුඛෝපභෝගී වාහන ලබා නොදිය යුතුයි. එයින් බදු අයකර නොගැනීමෙන් රටට ලැබුණු පාඩුවට වඩා වැඩි හානියක් ඉන්ධන නාස්තිය නිසා සිදුවෙනවා.
• යසවර්ධන රුද්රිගූ