2024 ජුනි 15 වන සෙනසුරාදා

රටේ දියුණුව උදෙසා සම්ප්‍රදායෙන් බැහැර වෙමු

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 68

- පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ මෙම වසර අග භාගයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම මැතිවරණ ප්‍රතිඵල නිදහසින් පසු මෙරට ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ තමන් තීරණ ගන්නා ආකාරය ගැන ඡන්ද දායකයන් දැනුම්වත් කළ යුතුය. ඔවුන්ගේ දැක්ම පැහැදිලිව දක්වන ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින අයිතියක් ඡන්ද දායකයන්ට තිබේ. 

පවතින ආර්ථික හා දේශපාලන අර්බුදවලට විසඳුමක් ලබාගැනීම සඳහා ඉදිරි වසර දහය තුළ අවම වශයෙන් වසරකට සියයට හයක ආර්ථික වර්ධනයක් අවශ්‍ය වන අතර එම ප්‍රතිශතය මෙරට බලධාරීන් සහ ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් පුරෝකථනය කර තිබෙන සහ දැනට පවතින වර්ධනය මෙන් දෙගුණයකි.

 ප්‍රකාශිත වර්ධන අනුපාත සාක්ෂාත් කර ගැනීමේදී පවා නියමිත කාලසීමාව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ඉතා දුෂ්කර මාවතක ගමන් කිරීමට ද සිදුවනු ඇත. සමාජ අස්ථාවරත්වය අඛණ්ඩව පවතිනු ඇති අතර සමහර විට එය වඩාත් නරක අතට හැරෙන්නට ද ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් තුළ අපගේ තරුණ තරුණියන්ගේ අනාගතය අඳුරු සහ අවිනිශ්චිත විය හැකිය. අනාගත සැලසුම් ගැන අවබෝධයක් ලබාගෙන, වඩාත් සුදුසු ප්‍රතිපත්ති තෝරාගෙන සුදුසු අපේක්ෂකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණ ඇතිව අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂවලින් ඔවුන්ගේ ප්‍රතිපත්ති පැහැදිලිව දක්වන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලාංකේය පුරවැසියන්ට අයිතියක් ඇත.
රට තුළ පවතින දූෂණ හා වංචා ගැන උද්වේගයෙන් කතා කරන අතර, මේ සම්බන්ධයෙන් සැලකිය යුතු පැමිණිලි ප්‍රමාණයක් තිබේ. ආණ්ඩුවේ කටයුතු සහ දේශපාලනය එදිනෙදා ජීවිතයේ සෑම අංශයකම පැතිරී තිබීම දූෂණයට මූලික හේතුව බව සඳහන් කළ යුතුය. දූෂණයට එරෙහිව සටන් කිරීමේ දී මූලික වශයෙන් රජයේ විශාලභාවය පාලනය කළ යුතුය. කුඩා කරන පියවරකින් යහපාලනයක් ඇති වේ.

කුඩා රටකට කුඩා ආණ්ඩුවක් අවශ්‍ය ඇයි?

අර්බුදයක් සමඟ අලුත් අවස්ථා ඇති කරන බව පෙන්වා දිය යුතුය. සෑම කළු වළාකුලකම රිදී රේඛාවක් තිබේ. අප විසින් මෙතෙක් අනුගමනය කළ ඇතැම් අසාර්ථක ක්‍රම වෙනස් කළ යුතු මොහොත උදා වී තිබේ. අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා, රාමුවෙන් ඔබ්බට සිතන ක්‍රමවේදයක් අවශ්‍ය වන අතර පැරණි ආකෘති, යල් පැන ගිය ක්‍රම සහ මනෝභාවයන් වහාම අත්හැර දැමිය යුතුය. මෙය සිත්හි තබාගෙන, අලුත් සහ නැවුම් දිශාවකට ශ්‍රී ලංකාව යොමු කරනු සඳහා යෝජිත මූලික අවශ්‍යතා ගණනාවකි. ඒවා පිළිවෙළින් දැක්විය යුතු අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ස්වකීය ප්‍රතිපත්ති සකස් කරන අවස්ථාවේ දී මෙම කරුණු කෙරෙහි විශේෂයෙන් සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විධායක ජනාධිපති ක්‍රමය ගැන ඇතැම් පාර්ශ්ව අතර සැලකිය යුතු විවේචනයක් පවතී. ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන බව කියැවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නාමමාත්‍රික තත්ත්වයක් හෝ පාර්ලිමේන්තු ආකෘතියක් ආදේශ කරන්නට අවශ්‍යය. විශාල මුදලක් ඡන්දය සඳහා වියදම් කරන සහ මනාප ක්‍රමය මගින් ඇති කරන වියවුල තුරන් කිරීම සඳහා ආසන මට්ටමින් මහජන නියෝජිතයන් තෝරාගන්නා මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම අවශ්‍යය. මෙහිදී ආසන මට්ටමින් මගහැරෙන වෙනම අදහස් ඇති පක්ෂවලට ඉඩ දෙන සහ ජාතික ඒකාබද්ධතාවය, ප්‍රතිසන්ධානය, සමාජ සමානාත්මතාවය ඇති කරන අරමුණ ඇතිව සෙනෙට් සභාවක් ඇති කිරීම යෝජනා කෙරේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතර සම්පත් භාවිතය හා සංවර්ධන සැලසුම් සම්බන්ධ දුබලතා පවතී. මේවා හඳුනාගෙන අවශ්‍ය පරිදි වැඩිදියුණුව කෙරෙහි අවධානය යොමුකරන පියවර සෙනෙට් සභාවකට ගත හැක. 

පළාත් සභා අහෝසි හා ප්‍රාදේශීය සභා

දැනට වසර පහක පමණ කාලයක් තිස්සේ පළාත් සභා අක්‍රීයව පවතී. ඡන්දය පැවැත්වීමට බාධා පවතින අතර ජනතාවට ද පළාත් සභා ක්‍රමය නොතිබීම විශාල අවාසියක් ලෙස දැනෙන බවක් පෙනෙන්නේ නැත. 13 වැනි සංශෝධනයෙන් අරමුණු කරන ලද බලය බෙදාහැරීම සිදු නොවූ මෙම ක්‍රමය රටට අවශ්‍ය නැත. පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කර ප්‍රාදේශීය සභා සඳහා බලතල පුළුල් කිරීම කළ හැක. දැනට පවතින ප්‍රාදේශීය සභා සංඛ්‍යාව ද පරිපාලනයට බාධා නොවන පරිදි අඩු කළ යුතු අතර, දිස්ත්‍රික් මට්ටමින් පාර්ලිමේන්තු හා පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණය සඳහා ගැලපෙන යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය.
මෙයට අමතරව කලින් සකස් කරන සැලැස්මක් අනුව නිශ්චිත කාල රාමුවක් තුළ රජයේ ආයතන ප්‍රමාණය සහ ඒවායේ විෂය පථය අඩු කරන පියවර ගැනීම වැදගත් වේ. පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සහ ජන සමාජයේ වගකීම ඉහළ නැංවීමට පියවර ගැනීමෙන් මෙහි පරතරය පියැවිය හැකිය. 

ආර්ථික වර්ධනය හා ප්‍රතිසංස්කරණ - බදු, ශ්‍රම බලකාය හා යටිතල පහසුකම්

වාර්ෂිකව අවම වශයෙන් සියයට හයක වර්ධන මට්ටමක් ළඟා කර ගැනීම අරමුණු කරගෙන ආර්ථිකයෙහි නවීකරණයක් සහ ප්‍රතිසංස්කරණයක් වහාම අවශ්‍යය. 

තරගකාරිත්වය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට අවශ්‍ය සියලුම ප්‍රතිසංස්කරණ ඇතුළත් පුළුල් පෞද්ගලීකරණ ක්‍රියාදාමයක් මගින්, ආර්ථික වර්ධනයකට පහසුකම් සැලසීමට හැකි වේ. මෙය සඳහා අපනයනය මූලික කරගත් විදේශ ආයෝජන මගින් ජවය ලබාගත යුතු වේ. අපනයනය සඳහා තෝරාගත් අංශ ආවරණය වන සහ වෙළෙඳපොළ පදනම් කරගත් උපාය මාර්ග අනුගමනය කිරීමට සිදුවනු ඇත. මෙහිදී නවීන තාක්ෂණය භාවිත කිරීම සහ ශ්‍රම බලකාය සතු කුසලතා සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය වනු ඇත.

අධ්‍යාපනය, පුහුණු හා කුසලතා වර්ධනය තුළින් පැතිරී ඇති පරිබාහිර අවස්ථා දකින තරගකාරීව කටයුතු කළ හැකි ශ්‍රම බලකායක අවශ්‍යතාව සලකා බැලීම වැදගත්ය. 

ඉදිරි මැතිවරණවලට තරග කරන පක්ෂ හා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ලෝකයේ අධ්‍යාපන රටා ගවේෂණය කර තරුණ කුසලතා ඉදිරියට ගන්නා ක්‍රමවේද ප්‍රතිපත්ති ප්‍රකාශනවල යෝජනා කළ යුතු වේ. කලාපයේ පවතින තත්ත්ව සලකා බලා සමතුලිත ආර්ථික වර්ධනයක් අරමුණු කරගෙන නවීන කෘෂිකර්මාන්තය සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කෙරෙහි ද අවධානය වැදගත්ය. 

ආදායම් බදු ඉහළම ප්‍රතිශතය සියයට විස්සක්

පුද්ගලයන්ගෙන් හෝ ආයතනික මට්ටමින් රජය අය කරන ආදායම් බදු ඉහළම අනුපාතය සියයට විස්ස දක්වා පාලනය කිරීම අවශ්‍යය. අධික බදු ජනතාව පීඩාවට පත් කරන අතර උත්පාදනය ධෛර්යමත් කරන කරුණකි. වැට් බද්ද දහය දක්වා අඩු කළ යුතු අතර මෙම බදු සංශෝධන ක්‍රියාවට නැංවිය හැකි ස්ථිර කාල වකවානු මැතිවණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අඩංගු කළ යුතු වේ. දේපල, ධනය හෝ උරුමය මත තවත් අතිරේක බදු පැනවීම නතර කළ යුතුය. 
ආනයන පාලන ක්‍රම රටට ගැලපෙන්නේ නැත. ඒවා ඉවත් කළ යුතු අතර, ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් තරගකාරී ආර්ථිකයක් බවට පත් කිරීම අරමුණු කරගෙන දැනට පවතින  තීරු බදු අනුපාත තවත් අඩු කළ යුතුය. බදු අඩුවන විට වෙළෙඳාම පහසු වේ. අප්‍රමාදව රටවල් සමඟ සම්බන්ධ කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලයක් රටට ස්ථාපිත කිරීම ප්‍රතිපත්ති ප්‍රකාශනවල දැක්විය යුතුය.

මහා පරිමාණයෙන් යටිතල පහසුකම් දියුණුව

මහවැලි යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාවේ සිදුවූ බහු කාර්ය දැවැන්ත සංවර්ධන කටයුත්තකි. එය සමානව, විදේශ අරමුදල් සහිත මහා පරිමාණ, යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනක් වසර හතරක කාලයක් තුළ ක්‍රියාත්මක කරමින් අධිවේගී මාර්ග, දුම්රිය, විදුලිය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ග ඉදිකර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා දියුණු කිරීම අවශ්‍යය. මෙම පියවර පිළිබඳව ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම වගකීමකි. ඉන්දියාව සමඟ දැනට පවතින මුහුදු හා ගුවන් ගමන් සබඳතාව ද, තවත් වැඩිදියුණු කළ යුතුය. ඉන්දියන් සාගරයේ මැද ජාත්‍යන්තර තලයේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීම අරමුණු කරගෙන මෙරට පිහිටීම ඉදිරියේ රටවල් සමඟ තිබුණු පැරණි සබඳතා නැවත ප්‍රයෝජනයට ගත යුතුව තිබේ. ඉතිහාසය අමතක කර අලුත් යුගයකට ඇතුළු විය නොහැක. 

මෙයට අමතරව ශ්‍රී ලංකාවේ වයඹදිග වෙරළට ඔබ්බෙන් ඇති මහා පරිමාණ සුළං විදුලිය බල උත්පාදන හැකියාව ගැන පර් යේෂණ කෙරී ඇත. මේවා දේශපාලනයේ දී අවධානයට ගෙන නැත. වේගවත් සංවර්ධනයක් සඳහා මෙම සම්පත් ප්‍රමාදයකින් තොරව ප්‍රයෝජනයට ගත යුතුය. එම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව ඉදිරි දශකය තුළ විදුලි අපනයනකරුවකු බවට පත් කිරීමට හැකි වේ. හයිඩ්‍රජන් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව සතු හැකියාව ද මෙහිදී ප්‍රයෝජනයට ගත යුතුය. එයට අමතරව කලාපයේ  බලශක්ති හා ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානය ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කළ හැකි අතර ප්‍රතිපත්ති පෙන්වා දීම පක්ෂවල හා අපේක්ෂකයන්ගේ වගකීමකි. 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, බහුපාර්ශ්වික, ද්විපාර්ශ්වික සංවිධාන හෝ වාණිජ ණය හිමියන් සමඟ පවතින ගිවිසුම් සහ අවබෝධතා දේශපාලන පක්ෂවල අදහස් සලකා මෙම යෝජනා රාමුවට ගැලපෙන පරිදි අවශ්‍ය වෙනස්කම් වෙතොත් ඔවුන් සමඟ නැවත සාකච්ඡා කළ යුතුය.

ජාතික අනන්‍යතාව සහ පුද්ගල අභ්‍යන්තර සංවර්ධනය

අනන්‍යතාව ඉතාම වැදගත් අංශයකි. අපගේ ජාතිය, ආගම, පසුබිම සම්බන්ධ උරුමයට ගරු කළ යුතු වේ. සමාජය තුළ එකමුතුකම ඇති කරන අතර ජාතික අනන්‍යතාවය තහවුරු කරමින් එකට වාසය කිරීම සහ ජාතික අරමුණු පිළිබඳ හැඟීමක් ඇති කිරීම සඳහා, වයස අවුරුදු 18 සම්පූර්ණ, සියලුම තරුණ තරුණියන්ට වසරක ජාතික සේවා අනිවාර්ය වැඩසටහනකට සහභාගී විය යුතුය. රට එකමුතු කිරීම සඳහා මෙහි වැදගත්කම බලපාන බව සඳහන් කිරීම අවශ්‍යය. ත්‍රිවිධ හමුදාවලින් එකක හෝ ප්‍රජා සේවා වැඩසටහනක් තුළ නියම වූ කාලයක් අනිවාර්යයෙන් රටට සේවය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමේ අවස්ථාව මෙහිදී ඇති කළ යුතුය. ලෝකයේ රටවල් ගණනාවක මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. 
ආඩම්බර විය හැකි පැරණි ශිෂ්ටාචාරයක් අපට ඇත. ආත්ම විශ්වාසයකින් පොහොසත් විවිධත්වයෙන් යුතු වූ මෙම අතීතයෙන් අර්ථවත් හා නිර්මාණාත්මක පැති උකහාගත යුතුය. ලෝකයේ ඉහළ තැනකට පත්වීම සඳහා ඒවා උපයෝගී කරගත හැකි වේ. ශ්‍රී ලංකාවේ වෙසෙන අප සියලු දෙනා සතු එකිනෙකට වෙනස් විවිධත්වය ශක්තියක් මිස කිසිසේත්ම දුර්වලකමක් නොවේ. මෙම ආවරණය සහිත දර්ශනයක් රටට ඉදිරිපත් කරන නායකයන් කෙරෙහි බලාපොරොත්තු තබන්නට පුරවැසියන්ට හැකියාවක් තිබේ.

email@milinda.org ලිපිනයට මෙම ලිපිය ගැන ඔබගේ අදහස් ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න.