2024 ජුනි 15 වන සෙනසුරාදා

කොතලාවල වෛද්‍ය උපාධිය තාමත් අතුරේ යන ගමනක්ද?

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 13

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා දේශීය සිසුන් ගෙවීමේ පදනම මත ඇතුළත් කර ගැනීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය. එම යෝජනාව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණකි. එම යෝජනාවට අනුව මේ වසරේ සිට එම වෛද්‍ය උපාධි වැඩසටහන සඳහා ගෙවීමේ පදනමින් සහ උසස් පෙළ z score අගය හා අනෙකුත් සුදුසුකම් මත පදනම්ව සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කෙරිණි.

නමුත් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය කළමනාකරණ මණ්ඩලය විසින් අනුමත කළ පරිදි, වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී (MBBS) උපාධි  පාඨමාලාව සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් සහභාගී නොවූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබුණි. අපක්ෂපාතී සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය සඳහා විශ්වවිද්‍යාලීය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් මෙන්ම නිරීක්‍ෂකයන් ලෙස විශ්වවිද්‍යාල   ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන්ගෙන් සමන්විත වූ පිරිසක් අයත්ව තිබුණි. 

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයට බඳවා ගැනීම් සම්බන්ධයෙන් නොයෙකුත් මතභේදාත්මක තත්ත්වයන් පසුගිය කාලයේ පැවැතියද මෑතකදී ගත්  කැබිනට් තීන්දුව කිසියම් සමාප්තිමය එකඟතාවකට පැමිණීමට හේතු විය. වෛද්‍ය සභාව සිය ස්ථාවරය වෙනස් කර ඇත්තේ මෙවන් වාතාවරණයකයි. මෙම වෛද්‍ය පීඨය ඇරුඹූ දා සිටම මහත් ආන්දෝලනයන්ට හේතු වූ නමුදු රටට විශාල සම්පතක් උදා කර දීමට සමත් ස්ථානයකි.

ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨය 2009 වර්ෂයේ දී ආරම්භ කරන ලදුව ඒ වනවිට ත්‍රිවිධ හමුදාවන්හි පැවැති වෛද්‍ය නිලධාරීන්ගේ ඌණතාවය සම්පූර්ණ කිරීමේ අරමුණ ඇතිව 2009 වර්ෂයේදීම වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව ආරම්භ කර තිබේ.

ත්‍රිවිධ හමුදාවන්හි පැවති වෛද්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාවය ක්‍රම ක්‍රමයෙන් සම්පූර්ණ වීමත් සමඟ, රටට අවශ්‍ය විදේශ විනිමය ජනනය කිරීමේ අරමුණ ඇතිව විදේශ පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දරුවන් එම උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීම 2013 වර්ෂයේ දී ආරම්භ කරන ලදී.

තවද, දකුණු ආසියානු තාක්‍ෂණික සහ වෛද්‍ය විද්‍යා ආයතනයෙහි (SAITM) වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ සිවිල් සිසුන් 864 දෙනකු ‌2017 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය වෙත අන්තර්ග්‍රහණය කරන ලදී. එමෙන්ම ජාතික විශ්වවිද්‍යාලයන්ට සිසුන් බඳවා ගැනීමේ නිර්ණායක ප්‍රතිසංශෝධනය කිරීම හේතුවෙන් උද්ගත වූ ගැටලුව විසඳීම සඳහා 2022 වර්ෂයේදී සිවිල් සිසුන් 87 දෙනකු ‌ජෙනරාල් ශ්‍රීමත් ‌ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යොමු කර ඇත.

ඒ අනුව ‌වර්තමානය වන විට ජෙනරාල් ශ්‍රීමත් ‌ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් සිසුන් 1337 දෙනකු බඳවාගෙන ඇති අතර, 2018 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා සිසුන් 828 දෙනකු වෙත එම උපාධිය ප්‍රදානය කර තිබේ.

ත්‍රිවිධ හමුදා සඳහා වාර්ෂිකව අවශ්‍ය වන වෛද්‍ය කෙඩෙට් නිලධාරී ප්‍රමාණය බඳවා ගැනීමෙන් පසුව, ‌ජෙනරාල් ශ්‍රීමත් ‌ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ඉතිරිව පවතින අවස්ථා සහ සම්පත් ඵලදායී ලෙස යොදා නොගතහොත්, වෛද්‍ය පීඨයේ සහ විශ්වවිද්‍යාලීය රෝහලේ මූල්‍ය ආයෝජන, යටිතල පහසුකම් සහ මානව සම්පත් වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි හිඟයකට මෙරට මුහුණපා සිටින අවස්ථාවක අපතේ යැවීමකි.

ඒ අනුව  2024 අප්‍රේල් මස 08 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදී සහ ශල්‍ය  වෛද්‍යවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණය ගනු ලැබිණි.

ඒ අනුව දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග සුදුසුකම් සහිත අයැදුම්කරුවන් 216 ක් සහ විදේශීය විභාග සුදුසුකම් සහිත අයැදුම්කරුවන් 26ක් කෙටි ලේඛනගත කර අභියෝගතා පරීක්‍ෂණය සඳහා කැඳවනු ලැබුණි.
එම අභියෝගතා පරීක්‍ෂණය සඳහා, මුළු අපේක්ෂකයන් 203 ක් දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග සුදුසුකම් සහිත අපේක්ෂකයන් 183 ක් සහ විදේශ විභාග සුදුසුකම් සහිත අපේක්ෂකයන් 20 ක් වශයෙන් සම්පූර්ණ අපේක්ෂකයන් 203 ක් ඉදිරිපත් වූහ.

එම අපේක්ෂකයන් 2024 මැයි මස 20, 21 සහ 22 යන දිනවල පැවති සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවන ලදුව දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග සුදුසුකම් සහිත අපේක්ෂකයන් 158ක් සහ විදේශ විභාග සුදුසුකම් සහිත අපේක්ෂකයන් 20 ක් එම සම්මුඛ පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් වූහ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි කළමනාකරණ මණ්ඩලය විසින් අනුමත කරන ලද සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය සඳහා විශ්වවිද්‍යාලීය     අභ්‍යන්තර කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි සහ ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ නියෝජිතයන් නිරීක්‍ෂකයන් ලෙස   සහභාගි විය යුතුව තිබුණි. නමුත් එය එසේ නොවිණි.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද විවේචනාත්මකව  කරුණු දක්වා තිබුණි. එහි සභාපති හරිත අලුත්ගේ අත්සනින් නිකුත් කර තිබූ  නිවේදනයක ඔවුන්ගේ විරෝධය මෙසේ දක්වා තිබුණි. “පසුගියදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව කොතලාවල වෛද්‍ය පීඨයට මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධිය ලබා ගැනීමට ප්‍රථම වරට දේශීය සිසුන්ට අවස්ථාව ලබාදීමේ තීරණය පිළිබඳව බරපතළ ගැටලු ගණනාවක් උද්ගත වී ඇත.

මීට පෙර ශ්‍රී ලංකාව තුළ කිසිදු අවස්ථාවක දේශීය සිසුන්ට මුදලට වෛද්‍ය උපාධිය ලබා දී නොමැත. එබැවින් මෙය මෙරට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අතිශය බැරූරුම් ව්‍යුහාත්මක වෙනසකි. වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකිරීමේදී ඊට අදාළ සියලු පාර්ශ්වයන්හි අදහස් සහ එකඟතාවය ලබාගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හේතු සහිතව දිගින් දිගටම පෙන්වා දී තිබුණද, එසේ නොකර ඉදිරියට එන මෙවන් අත්තනෝමතික තීරණ හරහා යළිත් තහවුරු වන්නේ පාලකයන් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා බවයි.

වෛද්‍ය පීඨ ද ඇතුළුව මෙරට විශ්වවිද්‍යාල සියල්ලටම සිසුන් බඳවා ගනු ලබන්නේ උසස් පෙළ ප්‍රතිඵලයේ Z ලකුණු අගය (Z Score) පදනම් කර ගනිමිනි. ඒ හරහා සියලු දෙනාටම සාධාරණ අවස්ථා උදා කර දී තිබේ.
එහෙත් මෙම කැබිනට් පත්‍රිකාවට අනුව කොතලාවල වෛද්‍ය පීඨයෙන් මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමට සිසුන් තෝරාගනු ලැබීමට නියමිතව ඇත්තේ උසස් පෙළ Z ලකුණු අගය (Z Score) සහ ‘වෙනත් සුදුසුකම්’ මත පදනම්වය.
මෙම වෙනත් සුදුසුකම් මොනවාද හෝ සිසුන් තෝරා ගැනීමේදී භාවිත කරන නිර්ණායක පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් ඉදිරිපත් කර නැති අතර ඒ හරහා මෙම තෝරාගැනීමේ ක්‍රමවේදයේ සාධාරණ බව සහ පාරදෘශ්‍ය බව පිළිබඳව දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇත.

කොතලාවල වෛද්‍ය පීඨයට ත්‍රිවිධ හමුදාවට අයත් නොවන දේශීය සිසුන් බඳවාගෙන ඔවුන්ට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ තීරණය හරහා 1981 අංක 68 දරන කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ පනත මෙන්ම මෙම ආයතනය පිහිටුවීමට මූලික වූ ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල මහතාගේ අවසාන කැමැත්ත ද උල්ලංඝනය වී ඇත.

• සුගත් පී. කුලතුංගආරච්චි