2024 ජුනි 15 වන සෙනසුරාදා

වැඩවර්ජනවලින් කා දමන මිනිස් ශ්‍රමය

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

ශ්‍රී ලංකාවට වැඩවර්ජනවලින් අඩුවක් නැත. අවශ්‍ය දේටත් අනවශ්‍ය දේටත් හැම දෙයකටම වැඩවර්ජනය. ඊට හොඳම උදාහරණය මේ සතියේ අවසන් වූ දුම්රිය ලොකොමෝටිව් රියැදුරන්ගේ වර්ජනයයි. ඔවුන් වර්ජනය කළේ රියැදුරන් මදි බව කියමින්ය. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ඒ වන විටත් දුම්රිය රියැදුරන් 70 ගණනක් සඳහා ලිපි නිකුත් කර ඇති බවටය. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවේ හිඟ වැටුප ලබා දීමට පියවර නොගන්නේ නම් ඒ සඳහා ගුරු විදුහල්පතිවරුන් ජූනි 26 දා අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවටය. වතු සේවකයන්ට ලබා දීමට ආණ්ඩුව නිර්දේශ කළ රුපියල් 1700 ක වැටුප ලබා නොදුනහොත් වතු සේවකයෝද වැඩවර්ජනයකට යාමට සූදානමින් සිටිති.
පසුගිය සමයේ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද බොහෝ වෘත්තීය සමිති වැඩවර්ජනවල නිරත වූහ. කිසියම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවිය යුත්තේ වෙනත් කිසිදු විකල්පයක් මගින් අදාළ ගැටලුවට විසඳුමක් නොලැබෙන විටකය. එහෙත් මෙරට නම් වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්, ගුරුවරුන්, දුම්රිය සේවකයන් වෛද්‍ය සුළු සේවකයන් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් කෙලින්ම වැඩවර්ජනවල නිරත වනු දැකිය හැකි විය. මෙම වැඩවර්ජන බොහෝ විට ආරම්භ වන්නේ ක්ෂණිකව ගන්නා තීන්දු තීරණ මතය. මේ වනවිට තැපෑල වර්ජනයක් ආරම්භ කර තිබේ.

වැඩවර්ජන ක්‍රියාවට නැංවෙන්නේ පාලකයන්ගෙන් තම ඉල්ලීම් දිනා ගැනීමේ අපේක්ෂාවෙනි. වැඩවර්ජන හේතුවෙන් පාලකයන්ද යම් පමණක අපහසුතාවලට මුහුණ දෙන අතර වර්ජන මඟහරවා ගැනීම සඳහා විවිධ පොරොන්දු ලබා දීමට ඔවුහු පසුබට නොවෙති. ඉන් සිදුවන්නේ විශාල අවාසියකි. මෙම පොරොන්දුවලට කිසිදු සැලසුමක් නොමැත. ඔවුන් බලයට පැමිණීමෙන් පසු එම පොරොන්දු ඉටු කළ නොහැකි වූ විට නැවතත් වැඩවර්ජනවලට මුහුණ දීමට ඔවුනට සිදුවේ. පසුගිය කාලයේ පැවති වැඩවර්ජන ඇතැම් ඒවා සාධාරණ ඉල්ලීම් මතද ඇතැම් ඒවා අසාධාරණ ඉල්ලීම් මතද  ක්‍රියාවට නැංවුණු බව පැහැදිලිය.

ඇතැම් වෘත්තීය සමිති ඉල්ලීම් කරනුයේ එම ඉල්ලීම්වලට විසඳුම් පසු දිනම තමන්ට ලැබිය යුතුය යන අරමුණිනි. එහෙයින් සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමෙන් තොරව තම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් පසු දින සිට වැඩවර්ජනය කරන බව පවසා වර්ජන ආරම්භ කිරීමට පෙළඹී සිටිති. පාලකයන් හා පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් ඔවුන්ගේ ඊළඟ පියවර වන්නේ වැඩවර්ජනයයි. මේ සියලු අර්බුදවලට පසුබිම නිර්මාණය වී ඇත්තේ සියල්ල දේශපාලනීකරණය වී ඇති බැවිනි.
මේ සම්බන්ධයෙන් හිටපු වෘත්තීය සමිති නායකයකු, ඇමැතිවරයකු හා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක ඩිව් ගුණසේකර මහතා කියා සිටියේ වත්මන් දේශපාලන සංස්කෘතිය මෙන්ම වෘත්තීය සමිති සංස්කෘතියද බිඳ වැටී ඇති බවටය. එදා පැවති වෘත්තීය සමිති සම්ප්‍රදාය වර්තමානයේ දැකිය නොහැකි බවද ඔහු පවසයි. 

“ඒ කාලයේ එක් ආයතනයක තිබුණේ එක වෘත්තීය සමිතියයි. අද එක් ආයතනයක විවිධ ශ්‍රේණි මත පදනම් වූ වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ ශ්‍රේණි අතරත් තරගයක් තියෙනවා. එක් ශ්‍රේණියක ඉල්ලීම් ලබාදුන් විට වෙනත් ශ්‍රේණියක් වෙනත් ඉල්ලීම් කරමින් වැඩවර්ජනවලට යනවා. මේ තත්ත්වයට වගකිව යුත්තේ පරිපාලනයයි. අද පවතින වෘත්තිය සමිති කම්කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව මැදිහත් වීමට වඩා වෙනත් අරමුණු සඳහා පිහිටුවා ගත් ඒවා. 1980 වැඩවර්ජනයට පෙර මෙවැනි වාතාවරණයක් ලංකාවේ පැවතුණේ නැහැ. මේ නරක ප්‍රතිඵලය ආරම්භ වූයේ 1980න් පසුවයි. අද වන විට ලංකාවේ වෘත්තීය සමිතිවලට අනුබද්ධ සාමාජිකයන් සිටින්නේ එක්ලක්ෂ පනස්දාහක පමණ පිරිසක්. එහෙත් මින් වසර විසිපහකට තිහකට පෙර ලක්ෂ තුනහමාරක පමණ පිරිසක් සිටියා. බොහෝ දෙනෙක් වෘත්තීය සමිති කෙරෙහි කලකිරිලා. ඉස්සර කිසියම් ආයතනයක වෘත්තීය සමිතියක් ආරම්භ කරනවා නම් එම ආයතනයේ සේවක සංඛ්‍යාවෙන් 40% එහි සාමාජිකයන් විය යුතුයි. වෘත්තීය සමිතියක සාමාජිකයන් සංඛ්‍යාව අවමය 7 දෙනෙක් බවට පත් කිරීම 1956 ඉලංගරත්න මහත්මයා කළ විශාල වැරුද්දක්. එසේ වුවත් 1980 වන තෙක් එම වෘත්තීය සමිති වගකිවයුතු ආකාරයෙන් කටයුතු කළා. සියල්ල වෙනස් වූයේ 1980න් පසුවයි. වර්තමානයේ වෘත්තීය සමිති ව්‍යාපාරය බින්දුවට වැටිලා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

වැඩවර්ජන රටකට ඉතා අහිතකර ලෙස බලපාන කරුණකි. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ පැවති වැඩවර්ජන පිළිබඳ සලකා බැලීමේදී බොහෝ වෘත්තීය සමිති අවසානයට ගත යුතු පියවර ප්‍රථමයෙන් ක්‍රියාවට නැංවූ ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබේ. සාමාන්‍යයෙන් වෘත්තීය සමිති ක්‍රියා පටිපාටියේදී තම ඉල්ලීම් දිනාගැනීම සඳහා ජනතාව පීඩාවට පත් නොවෙන පරිදි විරෝධය දක්වන වෙනත් ක්‍රමවේද පවතී. එහෙත් ශ්‍රී ලංකාවේ පවතින වෘත්තීය සමිති මුලින්ම පහර දීමට යොදා ගන්නේ අවසාන ආයුධය හෙවත් වැඩවර්ජනයයි. මෙම වැඩවර්ජන සම්බන්ධයෙන් ආණ්ඩුද වගකිව යුතු බව පැහැදිලි කරුණකි. කිසියම් වෘත්තිය සමිතියක් හෝ සමිති ගණනක් තම ඉල්ලීම් ලබා දෙන ලෙසට ඉල්ලා සිටි විට ඒවා ලබා දිය නොහැකි යැයි පවසන ආණ්ඩු ඔවුන් වැඩවර්ජනයක නිරත වීමෙන් පසු එම ඉල්ලීම් ලබා දීමට කටයුතු කරනු දැකිය හැකිය. වැඩවර්ජනයක නිරත වීමෙන් පසු ඒවා ලබා දිය හැකි නම් ඉන් පැහැදිලි වන්නේ වැඩවර්ජනය කිරීමට පෙර ඒවා ලබාදීමේ හැකියාවක් පැවති බවය. කිසියම් ඉල්ලීමක් ලබා දිය නොහැකි නම් වැඩවර්ජනය කළ පසුවද එම ඉල්ලීම් ලබා දිය නොහැකිය. 

වැඩවර්ජන නිසා මිනිස් ශ්‍රමය විශාල ලෙස රටට අහිමි වෙයි. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවකට අනුව වැඩවර්ජන සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය සහ රටේ සමාජ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ.
2019 වසරේ මෙරට පැවැති රජයේ සහ පෞද්ගලික අංශයේ වැඩවර්ජන හේතුවෙන් මෙරට ආර්ථිකයට විශාල අලාබයක් සිදුව ඇතැයි 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කරයි. 2019 පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ වැඩවර්ජන 18ක් සිදු කර ඇති අතර එයට සම්බන්ධ වූ සමස්ත සේවක සංඛ්‍යාව 6952 කි. ඉන් 28.1% ක් වතු අංශයේද, 71.9% ක් අර්ධ රාජ්‍ය හා වෙනත් පෞද්ගලික ආයතනවල සේවකයන්ය. එමගින් අහිමි වූ මිනිස් දින ගණන 54,919 කි. ඉන් 51.4% වතු අංශයේ හා 48.6% ක් අර්ධ රාජ්‍ය හා වෙනත් පෞද්ගලික ආයතනවලින් අහිමි වූ මිනිස් ශ්‍රමයයි. 

2022 වසරේ වැඩවර්ජන 22ක් වාර්තා වී ඇති අතර ඊට සේවකයන් 5558 දෙනකු සහභාගී වී තිබිණි. අහිමි වූ මිනිස් දින ප්‍රමාණය 170,95 කි. (2023 වසරේ සංඛ්‍යාලේඛන ලබා ගැනීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අංශයට ඇමතුමක් ලබාගත්තද එම නිලධාරීන් ළමුන් පිළිබඳව කෙරෙන සමීක්ෂණ කාර්යයක් සඳහා මේ දිනවල බැහැරට ගොස් ඇති බැවින් තොරතුරු ලබා දීම අපහසු යැයි එහි සේවක මහතෙක් අපට ප්‍රකාශ කළේය.)
වැඩවර්ජනවල අහිතකර තත්ත්වය පැහැදිලි කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් සඳහන් කළේ වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ලබා දීමට ඔවුන් වැඩවර්ජනය කොට ජනතාව පීඩාවට කරන තෙක් බලා සිටින්නේ නම් එයට එම ආයතනවල පාලකයන්ද වගකිව යුතු බවටය. 

“යම් යම් තීන්දු තීරණ ගැනීමේදී රජය පාර්ශ්වයෙන් ඒ සම්බන්ධයෙන් සිදුවිය යුතු විශ්ලේෂණවල අඩුවක් පෙනෙනවා. වැඩවර්ජනයක් තුළින් ඔවුන් අසාධාරණ ඉල්ලීම් කරනවා නම් ඒ සම්බන්ධයෙන් ජනතා විරෝධයක් ගොඩනැ‍ගෙනවා. වැඩවර්ජනවල අවාසනාවන්ත තත්ත්වය තමයි දේශපාලනික වැඩවර්ජන. ඇතැම් දේශපාලන පක්ෂ තමන් කැමති නායකයා බලයට පත් කර ගැනීමේ අරමුණින් වැඩවර්ජන ක්‍රියාවලියේ නිරත වෙනවා. යම් යම් කාලවල විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති ආණ්ඩුව විසින් ගනු ලබන ජනතා හිතවාදී ක්‍රියාවලට පවා එරෙහි වන බවක් පෙනුණා. බොහෝ වෘත්තිකයන්ගේ වැඩවර්ජන මෙන්ම අනෙකුත් සේවකයන්ගේ වැඩවර්ජන තුළද ජනතාවාදී නොවන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පසුගිය සමයේ අපට දැකගත හැකි වුණා. ඇතැම් වෘත්තීය සමිති වැටුප් දීමනා ඉල්ලා සිටියේ වෙනත් රටවල වැටුප් තල හා සංසන්දනය කරමින් විනා රටේ ආර්ථිකයේ දායකත්වය අනුව නොවෙයි. වැඩවර්ජන මෙහෙයවූ බොහෝ වෘත්තීය සමිති නායකයන් අවසානයේ අලුතින් බිහිවන රජයන්හි තනතුරු ලබා ගන්නවා. මොවුන් දේශපාලන අරමුණකින් විනා ජනතා ඉල්ලීම් වෙනුවෙන් කැපවූ වෘත්තීය සමිති නායකයන් බව ඉන් පැහැදිලියි. පසුගිය සමයේ පැවති දුම්රිය වැඩවර්ජනය ගනිමු. එවැනි දේ ජනතාවට ඍජුවම දැනෙන දේවල්. මෙවැනි දේ තුළින් ජනතාවට මෙන්ම රටේ ආර්ථිකයටත් ඇති කෙරෙන බලපෑම සුළුපටු නැහැ. මෙම වැඩවර්ජන නිසා රටට අහිමි කෙරෙන මිනිස් දින ගණන විශාලයි. විශාල පිරිසක් වැඩවර්ජනවලට එක්වීම නිසා රටේ ආර්ථිකයට බලපෑමක් ඇති කරනවා. යම් වෘත්තීය සමිතියක් වැඩවර්ජනයක නිරත වනවා නම් ඒ සම්බන්ධයෙන් කලින් දැනුම් දිය යුතුයි. පසුගිය සමයේ පැවැති දුම්රිය වැඩවර්ජනවලදී උදේ වැඩට පැමිණි පුද්ගලයන්ට සවසට නිවෙස් කරා යා නොහැකි වන පරිදි ඔවුන් වැඩවර්ජනය කළා. වැඩවර්ජනයක් සදාචාර සම්පන්න ලෙස සිදු කරනවා නම් එවැනි තත්ත්වයක් ඇති වන්නේ නැහැ. ඔවුන් ජනතාව පීඩාවට පත්වන ලෙස වැඩවර්ජනය කිරීම නිසා ජනතා කෝපය එල්ල වූ අවස්ථාද දැකගත හැකි වුණා. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. වැඩවර්ජනයේ නිරත බොහෝ ආයතන ඔවුන්ගෙන් සිදුවිය යුතු කාර්යභාරය පිළිබඳ සැලකිලිමත් නැහැ. ඔවුන්ගෙන් ජනතාවට ලැබිය යුතු සේවය ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ ඔවුන් තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් කටයුතු කරනවා. ඔවුන් තම ඉල්ලීම් දිනාගත යුත්තේ තමන්ගේ ප්‍රශස්ත සේවය ජනතාවට ලබා දෙමිනුයි. බොහෝ වැඩවර්ජන ප්‍රජාපීඩක වැඩවර්ජන. වැඩවර්ජනයක නිරත වී තම ඉල්ලීම් දිනා ගැනීමෙන් පසුව ඔවුන්ගෙන් මහජනතාවට ලැබිය යුතු සේවය ලැබෙනවාද? එවැන්නක් සිදුවන්නේ නැහැ. ඔවුන්ගේ එදිනෙදා සේවයත් ප්‍රජා පීඩකයි. වැඩවර්ජනයත් අමානුෂිකයි. එබැවින් වැඩවර්ජනයක නිරත වීමට පෙර ඔවුන් සිතා බැලිය යුතු කරුණු රාශියක් තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා