2024 ජුනි 15 වන සෙනසුරාදා

වසංගතය අතරේ වසන්තය සොයාගත් ප්‍රසන්න මාපටුනගමගේ

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

මේ කතාව ඇරඹෙන්නේ කොවිඩ් වසංගත සමයෙන්. වසංගතය පැමිණෙන තුරුම අද අප කතා නායකයා සේවය කරමින් සිටියේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්‍රය තුළ. එහෙත් 2020 වසරේ වසංගත සමය තුළ ඔහුට සිය රුකියාව අහිමි වෙනවා. 

ව්‍යවසායකත්වය පිළිබඳ මේ අපූරු කතාව ආරම්භ වෙන්නේ එම අහිමිවීමත් සමඟ. ඔහු නමින් Sobako Products පෞද්ගලික සමාගමේ නිර්මාතෘ ප්‍රසන්න මාපටුනගමගේ. මේ ඔහුගේ කතාව.

“කොවිඩ් වසංගතය ඔක්කොටම ගෙනාවේ අවාසනාව. ඒත් මට ගෙනාවෙ වාසනාව. මට මගේ රුකියාව නැතිවෙනවා. ඒ සඳහා වන්දියක් ලැබෙනවා. මාස හයක් ගෙදර ඉන්නත් ලැබෙනවා. මේ කාලේ නිතර නිතර මාධ්‍යවලට ආපු වෛද්‍යවරු කිව්වා දේශීය සහල් වර්ග ආහාරයට ගන්න, කැඳ බොන්න, ඒ තුළින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා කියලා. ඒ නිසාම මමයි මගේ බිරිඳයි මේ කාලය තුළ ස්වභාවික ආහාර රටාවකට හුරු වුණා."

ප්‍රසන්න මාපටුනගමගේ හට තමා වසංගත සමයේ දී ජීවන රටාවේ සිදු කළ වෙනස්කම ඉතා ඵලදායී එකක් බව වටහා ගැනීමට වැඩි කාලයක් ගත වුණේ නැහැ. ඒ නිසාම තමා සහ තම පවුල අභ්‍යන්තරයේ සිදුවූ පරිවර්තනයෙන් දැනුණු ඉතා සුව පහසු නිරෝගී සෞඛ්‍ය සම්පන්න හැගීම් ලොවට හඬ ගා කියන්නට ඔහුට ඕනෑ වුණා.

“සමාජ මාධ්‍ය වේදිකාවන් ඇතුළේ මේ පිළිබඳ ප්‍රවර්ධනය කරගෙන යනකොට මට දැනුණා බොහෝ දෙනා මේ ගැන හරි හැටි නොදන්නා බව. ඒ සමඟම මෙතැන තියෙන වෙළෙඳපොළ පිළිබඳ අවබෝධයක් මට ඇතිවුණාම, ඉතා දීර්ඝ කාලයක් පෞද්ගලික අංශය සහ බහුජාතික සමාගම් ඇසුරේ සිදු කරපු රුකියාවල අත්දැකීම මට ශක්තියක් වෙන්න පටන් ගත්තා. මෙතැනදී තමා Sobako කියන සන්නාමය අපි ගොඩනගන්නෙ."

මෙරට  කීර්තිමත් පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ කළමනාකරුවෙක් ලෙස සේවය කළ අත්දැකීම් ද උපයෝගී කරගනිමින් බිරිඳ සහ හිතවතුන්ගේ සහාය ද ඇතිව නව ව්‍යවසායක් මෙලෙස එළි දැක්වුණා.

“ව්‍යාපාරය පටන් අරගෙන අවුරුදු හතරකට ආසන්න කාලයක් වෙනවා. මේ වෙනකොට මට පුළුවන් වෙලා තියෙනවා ලෝකෙ රටවල් හයක වෙළෙඳසල් තුළ මගේ නිෂ්පාදන අලෙවිකරණ මට්ටමකට පැමිණෙන්න. අපි මේ වන විට බෙල්ලන්විල කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනවා. සේවකයන් සැලකිය යුතු සංඛ්‍යාවකුත් අපි යටතේ වැඩ කරනවා."

ගෙවී ගිය වසර තුනක කාලය තුළ සාර්ථක ව්‍යවසායකයෙක් ලෙස තමන්ගේ සන්නාමය දේශීය සහ විදේශීය වෙළෙඳපොළ වෙත රුගෙන යාමට ප්‍රසන්න මාපටුනගමගේ සමත්ව ඇති බව ඉතා පැහැදිලියි.

“මම Sobako කියන සන්නාමය පටන් ගත්තේ දේශීය හාල් වර්ගවලින්. පස්සේ අපි ඒ හාල් වර්ගවලින් දරුවන්ට, වැඩිහිටියන්ට ගැලපෙන සීරියල් වර්ග නිර්මාණය කළා. ඊළඟට මම ලෝකෙට ගැලපෙන්න පාස්ටා එකක් හැදුවා. සුවඳැල් හාල් අරගෙන ගිහිල්ලා සුද්දෝ බත් කන්නේ නැහැ. ඒ නිසා ඊට සුදුසු අගය එකතු කළ නිෂ්පාදනයක් අපි බිහි කළා. ඒ වගේම ලෝකේ සුපිරි ආහාරයක් ලෙස හඳුන්වන මුරුංගාවලිනුත් අපි පාස්ටා එකක් හැදුවා."

නව්‍ය සංකල්ප පදනම් කර ගනිමින් වෙළෙඳපොළ ජයගන්නා ව්‍යවසායක ඥානය මොනවට ප්‍රකට කරන චරිතයක් ලෙස ප්‍රසන්න මාපටුනගමගේ හඳුන්වා දෙන්න පුළුවන්.

ඕනෑම ව්‍යවසායකයකු ආරම්භයේ දී මුහුණ දෙන අභියෝග ඉතාම කර්කෂයි. ප්‍රසන්න මාපටුනගමගේත් එවන් අභියෝග රුසකට මුහුණ දුන්නා. එහෙත් ඔහු අභියෝග කියවා ගත්තේ වෙනස්ම දෘෂ්ටිකෝණයකින්.

“අපි වගේ රටක ව්‍යාපාරයක් කරනවා තබා ව්‍යාපාරයක් කරන්න සිතීම පවා අභියෝගයක්. ඒත් අභියෝග සහ ප්‍රශ්න සම්බන්ධයෙන්, මම ඉතාම කුඩා දෙයක්  මගේ ජීවිතය තුළ පුහුණ කරනවා. මට එන ප්‍රශ්න ඔක්කොම මම එක බාස්කට් එකකට දාලා වහනවා. මට වෙලා තියෙන අවස්ථාවල තමා ඒ ප්‍රශ්න මම එකිනෙක අරගෙන විසඳන්නෙ. ඒ වගේම මම ප්‍රශ්නයක් ප්‍රශ්නයක් විදිහට බාරගන්නේ නැහැ. ඒක අභියෝගයක් විදිහට බාරගෙන තමා විසඳුම් හොයන්න උත්සාහ කරන්නෙ."
ප්‍රසන්න මාපටුනගමගේ වෘත්තිකයකු වශයෙන් ව්‍යාපාරික ලෝකය තුළ ලද අත්දැකීම් මෙවන් අදහස් සහිත නව්‍ය ප්‍රවේශයකින් ව්‍යාපාරික ලෝකයට අවතීර්ණ වීමට හේතු වූ බව ඉතාම පැහැදිලි කරුණක්.

“දශක දෙකකට අධික කාලයක් මම වෘත්තිකයකු ලෙස වැඩ කරපු නිසා බැංකු සහ අදාළ ක්ෂේත්‍රවල අය මාව දැනගෙන හිටියා. ඒ වගේම බොහෝ දෙනා තුළ මට හොඳ ප්‍රතිරෑපයක් නිර්මාණය වෙලා තිබුණා. නැවත රුකියාවක් සඳහා යාම ඉතාම සුළු දෙයක් වුණේ. ඒත් මම මේ මාර්ගය තෝරගත්තා. ඒ වගේම මූල්‍ය සම්බන්ධ මගේ ඉතිහාසය ඉතාම සුපිරිසිදු එකක් වීමත් මේ ගමනට මට උපකාර වුණා."

විවිධ ආයතන සමඟ සමීපව කටයුතු කරමින් තමන්ගේ ව්‍යාපාරය පුළුල් ලෙස ඉදිරියට රුගෙන යාමට මාපටුනගමගේ ඉතා දක්ෂ ලෙස ක්‍රියා කර ඇති බව මෙහිදී හෙළිදරව් වෙනවා.

“කාර්මික සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත අමාත්‍යාංශය  වගේ ආයතනවලට අපි යා යුතුයි. ඇත්තෙන්ම ඔවුන්ගෙන් අපිට උපකාර ලැබෙනවා. රජයේ අය සමඟ වැඩ කරන්න අපහසුයි කියන අදහස නිසා මම මුලදී ඔවුන් ළඟට ගියේ නෑ. ඒත් මම මෑතක එම ආයතනවලට ගියාම ඒ හරහා අපිට කොතරම් උපකාර ලබාගන්න පුළුවන්ද? දැන් සිටින නිලධාරීන් කොතරම් උපකාරීද කියන කාරණාව අවබෝධ වුණා." 

ව්‍යවසායකයන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම බලධාරීන්ගේ වගකීමක් බව මේ සංවාදයේ දී මාපටුනගමගේ මතු කළ කාරණාවක්. එහෙත් ඔහු එහිදී සඳහන් කළේ සුදුසු පරිසරයක් නිර්මාණය වනතුරු බලා සිටීමට ව්‍යවසායකයන්ට නොහැකි බවයි. ඒ නිසාම අභියෝගය බාරගනිමින් ඉතා ඉක්මනින් තරුණයන් කරළියට පැමිණිය යුතු බව ඔහු පවසනවා.

“මම මේක කළේ අවුරුදු හතළිහෙන් පස්සේ. මට තරුණයන්ට කියන්න තියෙන්නේ එච්චර කල් ඉන්න එපා. මම ඉතාම පුංචි දෙයක් කරල තියෙන්නේ. ඊට වඩා ගොඩක් දේවල් කරන්න මේ රටේ අවස්ථාව තියෙනවා. අපේ තරුණ ළමයි කාගේවත් යටතේ ජීවත්වෙන එක නවත්තලා තමන්ගේම දෙයක් පටන් අරගෙන ඉදිරියට යන්න ඕනෑ. හැබැයි ඉගෙන ගන්න අවශ්‍යයි. දැනුම වර්ධනය කරන ගමන් මුදල් උපයා ගන්න ක්‍රමය දරුවන් ඉගෙන ගන්න ඕනෑ."

මේ ඔහුගේ කතාවේ අවසානය නොවේ. ආරම්භයේ කොටසකි. එහෙත් එම කොටසින් නව ව්‍යවසායකයන්ට උගත හැකි පාඩම් අපමණය.

• චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05